විප්ලවීය ගමන තවත් ශක්තිමත් කරන්න සුවසැරියට ඇප් එකක් | දිනමිණ

විප්ලවීය ගමන තවත් ශක්තිමත් කරන්න සුවසැරියට ඇප් එකක්

 පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කරමින් “1990 - සුවසැරිය“ ගිලන්රථ සේවාව නවතම ඇප් එකක් මහජනතාවට හඳුන්වාදීම පසුගිය දා සිදු කෙරිණි. මෙම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම නවතම ඇප් එක හඳුන්වාදීම සිදුකෙරිණි. ඕනෑම ස්මාර්ට් දුරකථනයකට මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර මෙම නවතම ඇප් සේවාව සමඟ එක්ව ජීවිතයක් බේරා ගන්නා මෙහෙයුමේ වටිනා කොටස්කරුවකු වීමට ඔබට ද දැන් අවස්ථාව උදා වී ඇත.

1990 සුවසැරිය ගිලන් රථ සේවාවට නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System –EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් සේවාව පසුගිය දා (8) හඳුන්වාදීම සිදුකෙරිණි.

නව පහසුකම් හඳුන්වාදීමත් සමඟ මෙම සේවාවේ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවේ. 1990 සුවසැරිය ඇප් සේවාව ඇන්ඩ්‍රොයිඩ් සහ IOS මෙහෙයුම් පද්ධති දෙක සඳහා යෝග්‍ය වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන අතර ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබෙන තැනැත්තෙකුට එක් බොත්තමක් එබීමෙන් පහසුවෙන් සහ වේගවත්ව මෙම සේවාව සමඟ සම්බන්ධවීමේ අවස්ථාව උදා වේ. මෙම ජංගම දුරකතන ඇප් සේවාව මඟින් දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා සිටින ස්ථානය වඩාත් නිවැරදිව සොයාගන්නා නිසා අදාළ ස්ථානයට ගිලන් රථය ඉතාමත් ඉක්මණින්ම පිටත් කර යැවීමේ හැකියාව පවතියි. මේ ආකාරයෙන් සේවාව පුළුල් කිරීම මඟින් 1990 සුවසැරිය අපේක්ෂා කරනුයේ නොමිලේ ලබාදෙන මෙම සේවාව වඩාත් විශ්වාසනීයභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමටය.

නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System –EDM) සහ 1990 ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වාදීම තුළින් දැනටත් වඩා වේගවත්ව රෝගීන් වෙත ගමන් කිරීමේ පහසුව ලැබෙන අතර මෙමගින් හෘද රෝගීන්ට වැඩි ප්‍රයෝජනයක් ලබාදෙයි.

සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබෙන්නේ රෝගීන් වෙත පැමිණීමේ වේගය මිනිත්තුවකින් වැඩිකර ගැනීමෙන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සියයට 10 කින් පමණ වැඩිකර ගත හැකි බවය. මේ වන විට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව බස්නාහිර පළාතේ රෝගියකු වෙත පැමිණීමට මිනිත්තු 8 කුත් තත්පර 23 ක සාමාන්‍ය කාලයක් ගන්නා අතර අනිකුත් පළාත්වල රෝගියකු වෙත පැමිණීමට මිනිත්තු 11 කුත් තත්පර 25 ක සාමාන්‍ය කාලයක් වැය කරයි. මෙම කාලය, බොහෝ දියුණු රටවල මෙවැනි සේවාවන් ලබාගන්නා කාලයට සමාන හෝ ඒවාටත් වඩා හොඳ මට්ටමක පැවතීම ප්‍රශංසනීය තත්ත්වයකි.

නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System –EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වාදීම මඟින් පෙන්නුම් කරනුයේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම තවදුරටත් සංවර්ධනය කිරීම කෙරෙහි මෙම සේවාව තුළ තිබෙන කැපවීම ය. පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව 2016 ජූලි මාසයේදී මෙරට ආරම්භ කළේය. මේ වන විට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව පළාත් 8ක ක්‍රියාත්මක වන අතර ගිලන් රථ 258 ක් මෙම පළාත්වල ජනතාව වෙනුවෙන් සේවයේ යොදවා තිබේ. නැඟෙනහිර පළාතේ මෙම සේවාව ඉදිරියේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එවිට මෙම සේවාවේ ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනු ඇත. දින 365 පුරාම දිවා රෑ කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ ලබාදෙන මෙම සේවාව මෙලෙස සමස්ත ශ්‍රී ලංකාවේම ව්‍යාප්ත කළ විට එහි ගිලන් රථ සංඛ්‍යාව 300 ක් දක්වා ඉහළ යාමට නියමිතය.

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් යළි නොගෙවිය යුතු මූල්‍ය ප්‍රදානයක් භාවිතා කරමින් මෙම සේවාව මෙරට ආරම්භ කෙරිණි. මෙරට ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා ඉන්දීය ජනතාව සිදු කළ මෙම කාරුණික පරිත්‍යාගය මුදලින් මැනිය නොහැක. මෙම සේවාව රට පුරා ව්‍යාප්ත කිරීමට ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබා දී තිබේ. 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කරමින් සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පැවරිණි. ශ්‍රී ලංකා රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස මෙම සේවාව ක්‍රියාත්මක වේ. සම්පූර්ණයෙන්ම රජයට අයත් සුවසැරිය පදනම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරයි. සුවසැරිය පදනම සඳහා සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන අතර මේ වන විට මෙරට තරුණ දරුවන් 1,428 ක් සුවසැරිය පදනම යටතේ රැකියා අවස්ථා හිමි කරගෙන තිබේ.

නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීමත් සමඟ ලෝකයේ මෙවැනි පද්ධති භාවිතා කරන රටවලට නොදෙවෙනි තත්ත්වයට මෙරට සුවසැරිය සේවාව පත් වීම රටට අභිමානයකි. මෙම පහසුකම ගොඩනැඟීමට වැය වන සැබෑ පිරිවැයට වඩා අඩු මුදලක් අය කරමින් මෙරට මෘදුකාංග සමාගම් විසින් මෙම තාක්ෂණය සංවර්ධනය කිරීම විශේෂත්වයකි. 2019 මැයි 03 වැනිදා වන විට මෙම සේවාව දුරකතන ඇමතුම් 1,057,571 ක් සඳහා පිළිතුරු ලබාදී ඇත. මෙම දුරකතන ඇමතුම්වලට අදාළව හදිසි අවස්ථාවන් සඳහා ගිලන් රථ 199,997 ක් පිටත් කර යවා තිබෙන අතර රෝහල්ගත කිරීම් 174,555 ක් සිදු කර තිබේ.

රෝගීන් වෙත පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා සුවසැරිය කාර්ය මණ්ඩලයට ඉතාමත් ඉහළ පුහුණුවක් ලබා දී තිබේ. හදිසි ප්‍රතිකාරවේදියෙක් (EMT) රෝගියකු වෙත පැමිණි පසු අදාළ රෝගියා රෝහලක් වෙත රැගෙන යන තෙක් පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ද ලබාගනියි. කොළඹ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේ පැය 24 පුරාම වෛද්‍යවරයෙකු සිටින අතර අදාළ වෛද්‍යවරයා නිරතුරුවම මෙම හදිසි ප්‍රතිකාරවේදීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරයි. රෝගියාගේ තත්ත්වය අනුව කුමන රෝහලකට රෝගියා ඇතුළත් කරනවාද යන්න තීරණය කරනුයේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයාගේ තීරණයට අනුව ය. රෝගියාගේ පවුලේ සාමාජිකයෙකු විසින් අදාළ රෝගියා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරන්නැයි ඉල්ලා සිටින අවස්ථාවකදී එම පෞද්ගලික රෝහල අදාළ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබේ නම් එම ඉල්ලීම 1990 සුවසැරිය මඟින් ඉටු කරන අතර ඒ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කරයි.

කොළඹ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සේවය කරනුයේ Sri Lanka Society of Critical Care and Emergency Medicine හි වෛද්‍යවරුන් ය. රට පුරා ව්‍යාප්ත පොලිස් ස්ථාන මෙම සේවාව සමඟ සෘජුවම සම්බන්ධ වී තිබේ.

සටහන-සන්ධ්‍යා කරුණාරත්න
ඡායාරූප-හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න