විපතකින් සැපතක් උදාකළ ඉසුරුඋයන්පුර | දිනමිණ

විපතකින් සැපතක් උදාකළ ඉසුරුඋයන්පුර

පසුගිය දශකයකට ආසන්න කාලක් ශ්‍රී ලංකාව විවිධ වූ ස්වභාවික විපත් සඳහා නිරන්තරයෙන් මුහුණ දුන්නේය. සුනාමි විපතින් අනතුරුව මෙවන් වූ ස්වභාවික විපත් සම්බන්ධයෙන් ජනතා අවධානය වඩාත් යොමුවිය.

මෑත කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශ ආශ්‍රිත නායයෑම් වැනි දෑ පිළිබඳ නිරන්තර සිදුවීම් සඳහන්වේ. 2014 වසර දී තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ මෙවන් වූ නාය යෑමක් හේතුවෙන් විශාල පිරිසකට උන්හිටිතැන් අහිමිවිය.

අතීතයේ දී මෙවන් වූ ස්වභාවික විපතක් හේතුවෙන් අවතැන්වන ජනතාව සඳහා නව නිවාස හෝ නව ජනාවාස නිර්මාණය කරලීම පිළිබඳ විශේෂිත කාර්යභාරයක් හෝ ආයතනික ව්‍යුහයක් නොතිබිණි. සුනාමි විපතින් අනතුරුව මෙම විපත් කළමනාකරණ ක්‍රියාදාමයෙන් විශේෂ අවධානය යොමු වූයේ අවතැන් වූ ජනතාව සඳහා ජනාවාස නිර්මාණය කරලීමයි. මේ සඳහා විශේෂිත මූලධර්ම පදනම්කොට නව ජනාවාස නිර්මාණය කිරීම හා ගොඩනැගිලි නිර්මාණය කරලීම සඳහා ජාත්‍යන්තරය පිළිගත් අත්වැල් හා මඟපෙන්වීම් නිර්මාණයකොට ඇති අතර, ඒ සඳහා පු රෝගාමී වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන ආරම්භ කරීමෙන් අනතුරුව එම නිවාස වැඩපිළිවෙලේ ප්‍රමුඛතම වැඩපිළිවෙළක් වූ ආදර්ශ ගම්මාන ක්‍රියාවලිය සැබෑ නිවාස අවශ්‍යතාව පවත්නා ජනකොටස් හඳුනා ගනිමින් ඔවුන්ට නව නිවාස නිර්මාණය කරලමින් ඔවුනගේ නිවාස විසඳුම සඳහා තිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කෙරිණි.

මෙම ක්‍රියාදාමයේ විවිධ අවස්ථාවන්වල දී දිළිඳු ජන කොටස් මුහුණ පෑ විවිධ ස්වරූපයේ නිවාස ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සමත්ව ඇත.

මෙම ආදර්ශ ගම්මාන ක්‍රියාවලියෙන් උදා වූ නවතම ආදර්ශ ගම්මානය වනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි වූ , ඉසුරු උයන්පුර, ආදර්ශ ගම්මානයයි. නව නිවාස 27කින් සමන්විත මෙම ආදර්ශ ගම්මානයේ සියලු නිවාසලාභින් මෙයට වසර කිහිපයකට ප්‍රථම කඳු නායයෑම් වැනි ස්වභාවික විපතකින් සිය උන්හිටි තැන් අහිමි වූ ජන කොටස්ය.

එවන් වූ අවදානම් කලාපයක ජීවත් වූ මෙම පවුල් සමූහය ඉතාම කෙටි දැනුම්දීමකින් තම නිවහන්වලින් ඉවත් කීරීමෙන් අනතුරුව ඔවුන් තාවකාලික නිවාස, කුලී නිවාස හෝ වැඩිහිටියන් හා දෙමව්පියන්ගේ නිවහන්වල දිවි ගෙවමින් දහසකුත් එකක් ගැටලු වලට මුහුණදුනි. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මෙම අසරණ පවුල් සම්බන්ධයෙන් අවධානය යොමුකිරිමත් සමඟ ඔවුන් සඳහා නව නිවාස ඉදිකරලීම වෙනුවෙන් එදා අහස් පොකුණවත්ත නමින් නම් කෙරුණ පෞරාණික ගම්මානයක් තෝරාගනු ලැබීය. අහස් පොකුණ වත්ත කන්ද පාමුල, මනරම් කදු පන්තියකින් වටව පිහිටි මෙම ගම්පියස, පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි ගමකි. මෙම ප්‍රදේශයේ එදා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වාසය කළ බවට ජනප්‍රවාදයේ සඳහන්වේ. එදා රජතුමන්ගේ මාලිගාවේ සිටි රාජකීයයන් ස්නානය කිරීම සඳහා නිර්මාණය වූ පොකුණ අහස් පොකුණ ලෙසින් නම් කරීම හේතුවෙන් මෙම ගම් ප්‍රදේශය අහස් පොකුණ නමින් නම් වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

ලක්විජය සාගර පලන්සූරිය

 


නව අදහස දක්වන්න