දුර්ලභ ගණයේ බුදු පිළිමයක් කිරින්ද පන්සලේ ගසක් යටින් හමුවෙයි | දිනමිණ

දුර්ලභ ගණයේ බුදු පිළිමයක් කිරින්ද පන්සලේ ගසක් යටින් හමුවෙයි

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරින්ද ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථාන භූමියේ පිහිටි නුග රුකක් යට තිබී සම්බුදු තෙමඟුල නිරූපණය කරන කැටයම් සහිත ඉතා දුර්ලභ ගණයේ ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් හමුවූ බව එම විහාරාධිපති පූජ්‍ය මොරතිහ තිලකසිරි හිමියෝ පවසති.

තායි සම්ප්‍රදායට සමීප පෙණුමකින් යුක්ත වන අඟල් පහක පමණ උසින් යුතු ගරුඬ පාෂාණමය පිළිමයක් වන මෙම පිළිමයේ සිවුර අලංකාර කැටයම් ස්වභාවයකින් නිමවා ඇති අතර පිළිමයේ බඳෙහි ඉදිරිපසින් සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත්වූ අවස්ථාවද බඳෙහි පිටුපස සිදුහත් උපත සහ සම්බුද්ධ පරිනිර්වාණයද කැටයම් කොට තිබේ.

කිරින්ද ශ්‍රී නීග්‍රෝධාරාම විහාරාධිපති මොරතිහ තිලකසිරි හිමියන් පවසන්නේ විහාරස්ථානයේ දායක පිරිසක්ද සමඟ විහාර භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටි අවස්ථාවේ විහාරස්ථානයේ කැපකරු ඩබ්.එම්.තිලකරත්න මහතාට විහාර මිදුලේ පිහිටි නුග ගසේ මුල් අතර පසෙන් යටවී තිබූ මෙම පිළිමය හමුවූ බවයි. එය හමුවන විට පිළිමයේ සිරස කඳෙන් වෙන්ව වෙන වෙනම තිබූ බවත් තමන් වහන්සේ මෙවන් ලක්ෂණ සහිත බුද්ධ ප්‍රතිමාවක් දුටු පළමු අවස්ථාව මෙය වන අතර තමන් සංචාරය කළ විදෙස් රටවලදී හෝ මෙවන් පිළිමයක් දැක නැති බවත් උන් වහන්සේ පවසති.

වර්ෂ 1972 දී තමන් වහන්සේ කිරින්ද ගමට පැමිණෙන අවස්ථාවේ හෝ මෙවන් පිළිමයක් විහාරස්ථානයේ නොතිබූ බවත් පවසන විහාරාධිපති හිමියෝ, වර්ෂ 1942 දී පමණ මේ ගම්මානයේ විසූ අලුත්ගෙදර මුත්තා නම් අයෙක් මෙම ගම්මානයෙන් පළමු වතාවට දඹදිව වන්දනාවක ගොස් ඇති බවත් ඔහු විසින් මෙම පිළිමය රැගෙන එන්නට ඇති බවත් ගමේ පැරන්නන් පවසන අතර එය කිසියම් හේතුවකින් කැඩීගිය පසු මෙම ස්ථානයේ ගෙනවිත් තබන්නට ඇතැයි විශ්වාස කරන බවද පවසති.

එසේම මෙම අලංකාර දුර්ලභ ගණයේ ප්‍රතිමාව සම්බන්ධයෙන් පුරාවිද්‍යා අංශයන්ගෙන්ද විමසීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බව පූජ්‍ය මොරතිහ තිලකසිරි හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

සටහන හා සේයාරූ: හාලිඇල සමූහ- ආර්.එම්.විජේරත්න


නව අදහස දක්වන්න