වැල්ලම්පිටිය තඹ සේවකයන්ට 27දා යළි උසාවි එන්න නියෝග | දිනමිණ

වැල්ලම්පිටිය තඹ සේවකයන්ට 27දා යළි උසාවි එන්න නියෝග

බුද්ධි කරුණාරත්න, ශවිනි මධාරා

පාස්කු දින සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කරන ලද තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් අට දෙනාට මැයි 27 වැනිදා උසාවිය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

උසාවිය හමුවේ මෝසමක් ගොනු කළ වැල්ලම්පිටිය පොලීසිය මැයි 27 වැනිදාට පෙර මෙම සැකකරුවන් අධිකරණය හමුවට පැමිණ වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගත්තේය. මෙම සැකකරුවන්ගෙන් අට දෙනකු සිය ඇප කොන්දේසි සපුරා ඇති අතර එක් අයකු තම ඇප කොන්දේසි සැපිරීමට අසමත් වී ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

ෂැංග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ පිපිරීමට වගකිවයුතු මරාගෙන මැරෙන බෝම්බකරු වූ ‍ඉන්සාෆ් ඊබ්‍රහීම්ට මේ තඹ කම්හල අයත් බව වැල්ලම්පිටිය පොලීසිය උසාවියට දැනුම් දුන්නේය.


නව අදහස දක්වන්න