මධුමාධව අල්ලන්න පොලිස් කණ්ඩායමක් | දිනමිණ

මධුමාධව අල්ලන්න පොලිස් කණ්ඩායමක්

ගයාන් කුමාර වීරසිංහ

මිනුවන්ගොඩ වෙළෙඳ සැල් ගිනි තබමින් පසුගිය 13 වෙනිදා ඇතිවුණු කලහාකාරී සිදුවීම්වල සැකකරුවකු ලෙස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාව නම්කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කෙළේය.

කළබල සිදුවූ 13 වෙනිදා මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සැරිසැරූ අළු පැහැති ජිප් රථයක්ද කඩවත ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (21) රාත්‍රියේ සොයාගෙන තිබේ. එම ජිප් රථයේ හිමිකරු වන ව්‍යාපාරිකයා ද මේ වන විට සැගව සිටින බව පොලිසිය පවසයි. මධුමාධව අරවින්ද මහතා සමග ජිප් රථයේ හිමිකරු ඇතුළු කිහිප දෙනෙක් මිනුවන්ගොඩ නගරයට පැමිණ ගැටුම්වලට සම්බන්ධ වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

පොලිසියට කට්ටි පනිමින් සිටින මධුමාධව අරවින්ද ඇතුළු ඔහුට හිතවත් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. වැඩි දිනක් ඔවුන්ට සැගව සිටින්නට නොහැකි වනු ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඉකුත් 13දා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු සිව්දෙනෙකුට මිනුවන්ගොඩ අධිකරණය විසින් ඊයේ (22) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මිනුවන්ගොඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා එම විදෙස් ගමන් තහනම පනවා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

 


නව අදහස දක්වන්න