ගෝඨාභයගේ නඩු විභාගය ජූනි 19වනදා සිට - UPDATE | දිනමිණ

ගෝඨාභයගේ නඩු විභාගය ජූනි 19වනදා සිට - UPDATE

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා විදේශගත වීමට  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(23) අවසර දුන්නේය. 
 
විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය දුරකථන හා ෆැක්ස් මාර්ගයෙන් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා මෙන් ද  නියම කළේය.
 
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවේය.
 
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු විභාගය ජූනි මස 19 වනදා සිට ආරම්භ කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින සාක්ෂිකරුවන් 4 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.


ගෝඨාභයට එරෙහි නඩුව: ජුනි 19දා සිට දිනපතා විභාගයට

වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු රුපියල් තුන්කෝටි තිස්නවලක්ෂයක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7කට එරෙහි නඩුව ලබන ජුනි මස 19 සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන් සිව් දෙනකුට සාක්කිදීම සඳහා එදිනට ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද ඊයේ (23) නියෝග කෙරිණි.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේවින්ද ආටිගල, සරත් කුමාර ආබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය හා ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවන් ඊයේ (23) ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

අධි චෝදනා හතක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

2013 සැප්තැම්බර් 03 හා 2015 පෙබරවාරි 02 අතර කාලයේ දී ඉහත මුදල වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් එම මුදල සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු අධි චෝදනා හතක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇත.

ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපළ පනත යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා නඟා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.

පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙනී සිටි අතර සෙසු විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.

කුමුදු හෙට්ටිආරච්චි



නව අදහස දක්වන්න