ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමි වෙයි - UPDATE | දිනමිණ


 

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමි වෙයි - UPDATE

බන්ධනාගාරගතව සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ජනාධිපති සමාව හිමි විය.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය.

රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ ප්‍රධාන පිවිසුමෙන් නොව වෙනත් මාර්ගයකින් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට උන්වහන්සේ කෝට්ටේ ඉත්තෑපානේ මහනායක ස්වාමින් වහන්සේ බැහැ දැකීම සදහා කොට්ටාවේ රුක්මල්ගම විහාරස්ථානයට වැඩම කර ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය.


ඥානසාර හිමියෝ නිදහස්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා 4කට වරදකරු කරමින් අභියාචනාධිකරණය මඟින් වසර 19ක සිරදඬුවමක් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාව යටතේ නිදහස ලැබූහ.

උන්වහන්සේ‍ නිදහස ලබන බවට ලද තොරතුරු අනුව ඥානසාර හිමියන්ගේ මෑණියන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (23) දහවල සිට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අබියස සිටියද, නිදහස ලැබූ ඥානසාර හිමියන් රැගත් මෝටර් රථය සවස 5.45ට පමණ බොරැල්ල සර්පන්ටයින් පාර දෙසින් ඇති වැලිකඩ බන්ධනාගාරයේ පිටුපස ගේට්ටුවෙන් පිටව ගොස් තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් නිදහස ලැබූ ඥානසාර හිමියන්ව උන්වහන්සේගේ ගුරු හිමියන් වූ උලපනේ සුමංගල හිමියන්ට භාරදී තිබේ.ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම පිළිබඳ අදාළ ලියැකියවිලි සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීමෙන් පසු ඊයේ (23) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඔහුගේ අත්සන ඇතිව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබිණි.

රටේ පවතින තත්ත්වය හමුවේ උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස වෙනත් පිවිසුමකින් උන්වහන්සේට නිදහස ලබා පිටත්ව යෑමට කටයුතු සැලසූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිනමිණ’ට කීය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ 2018 අගෝස්තු 8දා බරපතළ වැඩ ඇතිව වසර 19ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කෙරුණු අතර එම සිර දඬුවම වසර 6කින් ගෙවීයන ලෙස අධිකරණය විසින් නියමකර තිබිණි.

පසුගිය වෙසක් පෝ දිනයේදී ජනාධිපතිතුමන් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේ ඥානසාර හිමියන් සමඟ සාකච්ඡා කර ඇති අතර සාකච්ඡාවලින් පසුව උන්වහන්සේට නිදහස ලබාදීමේ මූලික කටයුතු ආරම්භ විණි.

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න