ජාල තහංචිය | දිනමිණ

ජාල තහංචිය

ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

සමාජ මාධ්‍ය වාරණය කිරීම හෝ ඊට සීමා බාධක පැනවීම නව ලිබරල් දේශපාලන ක්‍රමෝපායන් මත කුමන ස්වරූපයක් ගත යුතු ද යන්න ගෙවී ගිය දසකය පුරා අන්තර්ජාතික ප්‍රජාව ඉස්මතු කළ දේශපාලනික මතවාදයකි. සංස්කෘතික වෙනසින් යුතු අනෙකාට එරෙහි වෛරී ප්‍රකාශන, සාවද්‍ය තොරතුරු මෙන්ම රාජ්‍ය ආරක්ෂාව මෙම සංවාදයේ අන්තර්ගත සාධකයන්ය. 2010 වසරේ රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ ගෝලීය ඩිජිටල් සබඳතා සඳහා ස්වාධීන සීමා පැනවීමේ අවශ්‍යතාව පිළිබදවය. රාජ්‍යයෙන් රාජ්‍යයට අන්තර්ජාලය සඳහා අන්තර්ජාතික ප්‍රමිති ආයතන ස්ථානගත කර ඇති රාජ්‍ය සංඛේත අංකය යටතේ අන්තර්ජාල ලිපින ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් යැයි රුසියාව අවධාරණය කළේය. වසර ගණනක සාකච්ඡාවලින් පසුව වුව එය ක්‍රියාත්මක වන බවක් දක්නට නොවීය. අන්තර්ජාලයට සීමා මායිම් ආලේපනය කිරීමෙන් රාජ්‍යයන්ට සිය රටවැසියා සෘජුව පාලනය කිරීමට ඩිජිටල් තාක්ෂණය මගින් අවස්ථාව උදා වෙයි. නව ලිබරල්වාදී දේශපාලන සංකල්පය මත තාක්ෂණය දේශපාලන දේශසීමාවෙන් තොරව නිදැල්ලේ ගලා යා යුතුය යන්න ගෝලීයකරණය සහ නිර්බාධිත වෙළෙඳ පොළ ලෝකයට ඉදිරිපත් කළ සංකල්පයකි.

අන්තර්ජාල ස්වාධිපත්‍යය

මාසයකට වරක් ග්‍රාහකයෝ බිලියන 2.2 ක් ෆේස්බුක් ජාලය භාවිත කරති. එය ලෝක ජනගහනයෙන් 1/3 කි. ෆේස්බුක් යනු රාජ්‍යයක් හෝ මහාද්වීපයක් නොවේ. අනෙක් සමාජ මාධ්‍ය රාජ්‍යයන් හා සැසඳුවහොත් WhatsApp හා YouTube වෙත ප්‍රවේශවන ග්‍රාහක ප්‍රමාණය චීන හා ඉන්දියානු ජනගහනය අබිභවයි. Facebook’s Messenger app මාසික භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉන්දියාව හා චීනයේ ජනගහනයට සමානය. එමෙන් ම චීනයේ WeChat සහ Weixin සමස්ත ජනගහනයෙන් 76% ක් ඉක්මවා පරිහරණය කරයි. Twitter, Reddit, Instagram, Sina Weibo QZone (චීනයේ Facebook ආදේශකය) Chinese messaging app QQ මාසික ව භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලොව තුන්වන අධික ජනගහනය එක්සත් ජනපදයේ සමස්ත ජනගහහය ඉක්මවයි.

ලොව බොහෝ රාජ්‍යයන් දේශපාලන හා ආර්ථික අර්බුද මත අවදානම් මාවතක ගමන් කරන අතර සමාජ මාධ්‍ය සංජාලා නවීකරණය කර ශික්ෂාකාමී මාවතකට ප්‍රවේශ කිරීම සඳහා සිය අවධානය යොමු කර ඇත. එය අන්තර්ජාල ස්වාධිපත්‍යය (internet sovereignty) ලෙස හැඳින්වෙයි.

යුරොපයේ තිස් අවුරුදු යුද්ධය රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍යය පිළිගනිමින් 1648 දී වෙස්ට්ෆාලියා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අවසන් විය. රාජ්‍යයන්ට සිය දේශ සීමාව හෙවත් අයත් භූමිය පාලනය කිරීමට ඇති අයිතිය ගෝලීය දේශපාලන ක්‍රමවේදයේ පදනම ලෙස පිළිගැනීමට ලක් විය. එය වර්තමානය දක්වා වෙනස් නොවූ සම්මතයකි.

ඩිජිටල් සීමා බාධකයක් නිර්මාණය කිරීමේ අදහස මත පිහිටා රුසියාව 2019 අප්‍රේල් මාසයේ පනත් දෙකක් ඉදිරිපත් කරමින් අන්තර්ජාලය නිදහසේ ගලායාම වළක්වාලමින් නීති රාමුවක් සැකසීය. බටහිර ආකෘතිය මත සැකසූ අන්තර්ජාලය රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍යයට බාධාවක් යැයි රුසියාව පවසයි. එමෙන්ම රාජ්‍යයට ප්‍රවේශ විය යුතු තොරතුරු පාලනයේ අධීක්ෂණයට නතු විය යුතුයැයි එමගින් අවධාරණය කරයි. විදේශ මැදිහත්වීම්, අන්තවාදය, ප්‍රකෝපකාරී සහ අසහනකාරී උත්තේජන ලබා දෙන තොරතුරු පාලනය කිරීම අන්තර්ජාල ස්වාධීනත්වයේ මුඛ්‍ය අරමුණයි. දේශපාලන වශයෙන් අස්ථාවර සහ සමාජ ගැටුම් සහිත බොහෝ රාජ්‍යයන් මෙම නව එළඹුම වෙත සිය අවධානය යොමු කර ඇත. එමෙන්ම රුසියාව සහ චීනය අන්තර්ජාල ස්වාධිපත්‍යය සඳහා අවශ්‍ය තාක්ෂණික සීමාවන් සංවර්ධනය කරමින් සිටී.

අන්තර්ජාල නිදහස 2016 වසරේ අභියෝගයට ලක් විය. සමාජ මාධ්‍ය අවභාවිතය යන ‍ෙචා්දනාව යටතේ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නීති මගින් දඬුවම් ලබාදුන්නේය. රාජ්‍යයන් 38 ක 27% ක අන්තර්ජාල භාවිත කරන්නන් සාවද්‍ය වෛරී ප්‍රකාශකිරීම සහ හුවමාරුව යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. ගෝලීය ජන සමාජයෙන් 24% නිදහසේ අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව ඇත. 29% ක් අර්ධ වශයෙන් ද 35% ක් සීමාබාධක සහ වාරණය යටතේ ද අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින අතර 12% කට ප්‍රවේශවීමේ පහසුකම් නොමැති වග 2016 සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. අන්තර්ජාල පණිවුඩ සේවය රාජ්‍ය ඔත්තු සේවාවන්ගේ ඉලක්කයට ලක්ව ඇති අතර WhatsApp සීමා බාධක මත ක්‍රියාත්මක වෙයි. රාජ්‍යයන් 12ක සමස්ත සේවාව සෘජුවම බිඳ දමා ඇත. ජනතන්ත්‍රවාදී democratic සහ ජනතන්ත්‍රවාදී නොවන බොහෝ රාජ්‍යයන් ජනයාගේ මාර්ගගත online තොරතුරු හුවමාරුව නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය නීති පමණක් නොව තාක්ෂණික ක්‍රමවේද ද අනුගමනය කරයි. අන්තවාදී ක්‍රියාකාරකම් සහ වෛරී ප්‍රකාශනවලින් ජනයා ආරක්ෂා කිරීම මෙහි අරමුණ යැයි ඔවූහු පෙනවා දෙති.

බටහිර සහ එක්සත් ජනපදයේ දේශපාලන, සංස්කෘතික බලපෑම බොහෝ රාජ්‍යයන් හි විවිධ සමාජ අසහන සහ ගැටුම් නිර්මාණය කරයි. මෙය ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර අනිවාර්යයෙන් නිර්මාණය වන ගැටුමකි. අතීතයේ සිට පැවැති සම්මතයන් අභියෝගයට ලක්වීම සහ වෙනසක් සොයා යාම වර්තමානයේ දක්නට ලැබෙන පොදු සාධකයකි.

අද සමාජ මාධ්‍ය තොරතුරු හුවමාරුවේ ප්‍රබල මෙවලමකි. එමගින් හොඳ නරක යන ප්‍රතිලාභ දෙකම ලබයි. උතුරු කොරියාව සමාජ මාධ්‍ය වාරණයේ පෙරටුගාමී රජ්‍යයයි. එහි පුරවැසියාට වෙබ් අඩවි 30 කට පමණක් ප්‍රවේශ විය හැක. රාජ්‍ය Facebook, YouTube, Twitter නිල වශයෙන් තහනම් කර ඇත. අප්‍රිකා එරිටි‍්‍රයාව මහාද්වීපයේ රහසිගත රාජ්‍යය ලෙස හැඳින්වේ. එහි වැසියාට අන්තර්ජාලයට පිවිසිය හැක්කේ ඉතා දුර්වලව ක්‍රියාකරන අංක ගත මොඩමයක් මගිනි.

ලොව අන්තර්ජාල වාරණය අතින් චීනය පෙරමුණේ සිටී. එමෙන්ම චීනය ප්‍රබල නීති මගින් මෙහෙයවන සමාජ මාධ්‍යයට තහංචි පැනවූ විශාලතම රාජ්‍යයයි. ගෙවී ගිය දසකයේ දී චීනය Google, Facebook, Twitter, Instagram ප්‍රවේශවීමේ නිදහස නවතා දැමීය. චීනය 2009 වසරේ ක්ෂින්ජියාන් ක්‍රියාකාරකයන්ගේ උයිගූස් උද්ඝොෂණයත් සමඟ Facebook නවතා දැමීය. 2013 වසරේ ෂැන්ග්හයි නිදහස් වෙළෙඳ කලාපයේ විදේශිකයන්ට අන්තර් ජාලයට ප්‍රවේශවීම සඳහා වර්ග සැතපුම් 17 ක් පමණක් නිදහස් කර ඇත. 2019 මැයි මස 20 දින ගූගල් අන්තර්ජාල සේවාව හුවාවි ඇන්ෙඩ්‍රායිඩ් දුරකථන භාවිත කරන්නන්ට අවහිර වන සේ සිය සේවා ජාලය නවතා දැමීය. ඒ චීනය අමෙරිකා භූමියේ ඔත්තු බැලීය යන චෝදනාව යටතේය. එහෙත් චීනය සිය දේශසීමාව තුළ කිසිවිටක ගූගල් සේවාව භාවිත නොකරයි.

ආගමික විශ්වාසමත තහනම

සවුදි අරබියාව ආගමික විශ්වාස නිසා බොහෝ ග්‍රන්ථ, සඟරා, පුවත් පත්, සිනමා සහ ටෙලිවිෂන් නිර්මාණ වාරණයට ලක් කර ඇත. සමාජ මාධ්‍යයට තහංචි පනවා අඩ මිලියනයක වෙබ් අඩවි තහනම් කර ඇත. ස්වදේශ අමාත්‍යංශය මගින් සියලු අන්තර්ජාල සබඳතා නිරීක්ෂණය කරන ගූගල් භාෂා පරිවර්ථනය Google Translate, සහ විකිපීඩියා Wikipedia ප්‍රවේශයට බාධා පමුණුවා ඇත. Twitter, Facebook, YouTube සමාජ මාධ්‍ය සඳහා ප්‍රවේශ වීමට තහංචියක් නොමැතිවුව ද අන්තර්ගතය ගැන නිරතුරුව විමසිල්ලෙන් පසුවෙයි.

ඉරානය 2013 වසරේ සිට ඉතා ප්‍රබල වෙබ් අඩවි 500 ක් පමණ නතරකර දමා ඇත. අන්තර්ජාල සංවාද, විශේෂයෙන්ම YouTube, Facebook, Twitter, Google Plus සම්පූර්ණයෙන්ම අවහිර කර ඇත. 2015 වසරේ බංග්ලාදේශය Facebook සහ අනෙක් සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කළේය. එමෙන්ම වෙබ් අඩවි 18.000 ක් අසැබි අන්තර්ගතයන් සේ සලකා සම්පූර්ණයෙන්ම නවතා දැමීය. සිරියාව ද වසර ගණනක් සිවිල් යුද සහ විදේශ හමුදා මැදිහත්වීම මත ජනජීවිතය වියවුලට පත් රාජ්‍යයකි. එහි දේශපාලන මතවාද, මානව හිමිකම්, විදේශ කටයුතු සහ වෙනත් සංවේ දී මාතෘකා ඇතුළත් සමාජ මාධ්‍ය සහ බොහෝ වෙබ් අඩවි නවතා දමා ඒවාට ප්‍රවේශ වුවහොත් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාවන්ට බලය පවරණු ලැබීය. වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂය එරට ජනයාට Google, Yahoo, Microsoft’s MSN ප්‍රවේශවීමට අවසර ලබා දෙයි. නමුත් වියට්නාම රජය විවේචනය කරන වෙබ් අඩවි සහ මානව හිමිකම් සංවිධාන තොරතුරු අත්හිටුවා ඇත. මියන්මාරය මානව හිමිකම්, සුළු ජන කණ්ඩායම්වල අයිතීන්, රාජ්‍ය විවේචනය වන සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කර ඇත.

රාජ්‍ය පාලනයට යටත් කිරීම

සුළු ග්‍රාහකයන් පිරිසක් මහමද් නබිතුමාගේ රුව ඇඳි චිත්‍ර කීපයක් හුවමාරු කරගැනීම නිසා පකිස්තානය Facebook සමාජ මාධ්‍ය කළමනාකරණයට කථා කොට එවැනි දෑ ඉවත්කරන ලෙස බලපෑම් කළේය. එමෙන්ම ඉස්ලාම් ආගම විවේචනය කරන පෞද්ගලික වෙබ් අඩවි තහනම් කළේය. කියුබාව, ඊජිප්තුව, මුරුසියස්, ඉතියෝපියාව, උගන්ඩාව සහ ඇල්ජීරියාව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය වෙත දැඩි අධීක්ෂණයක් සහිතව ක්‍රියාකරති.

අන්තර්ජාලය සෘජු පාලනයකට යටත්කිරීම අද ඇතැම් රාජ්‍යයන් හි දක්නට ලැබෙන ප්‍රවනතාවකි. එය ආධිපත්‍යධාරී පීඩනයක් යැයි බටහිර මාධ්‍ය පෙන්වා දෙයි. ඊශ්‍රායලය අන්තර්ජාලය විවෘත මෙන්ම ආධිපත්‍යධාරී යටහත් කිරීමට හොඳ උදාහරණයකි. පසුගිය වසර හතරක කාලයේ ඊශ්‍රායලය, සිංගප්පූරුව, බ්‍රසීලය, යුක්රේනය සහ ඉන්දියාව ඩිජිටල් තාක්ෂණයේ ස්වාධිපත්‍ය රාජ්‍ය පාලනයට නතු කළේය. විවිධ දේශපාලනික තත්ත්වයන් මත මෙම තත්ත්වය උද්ගත වූව ද සමානාත්මතා ද දක්නට ලැබෙයි. ඊශ්‍රායලය, යුක්රේනය සහ දකුණු කොරියාව දේශපාලන නොසන්සුන්තා මෙන්ම දේශ සීමා ගැටුම් සහිත රාජ්‍යයෝය. පාලකයන්ගේ දැක්මට අනුව අන්තර්ජාලය විශේෂයෙන්ම සමාජ මාධ්‍ය, රාජ්‍යයේ යහපැවැත්මට බාධා පමුණුවයි.

දකුණු කොරියාව සිය රාජ්‍යයට එරෙහි මාර්ගගත නිත්‍යානුකූල නොවන මතවාද සහ තොරතුරු ප්‍රචාරණයට සීමා බාධා පමුණුවයි. එය චීනයේ සහ රුසියාවේ ආදර්ශය අනුව ගත් ඩිජිටල් තීරණයකි. මෙම ක්‍රමවේදය කුඩා රාජ්‍යයනට අනුගමනය කිරීමට අපහසුය. රුසියාව පවා තවමත් සමස්ත රාජ්‍ය භූමිය පුරා ඩිජිටල් ආධිපත්‍ය digital hegemony පැතිරවීමේ තාක්ෂණය අත්පත් කර ගෙන නොමැත. බ්‍රසීලය සහ ඉන්දියාව දිගු කලක් අන්තර්ජාල පාලනය වෙත අවධානය යොමු කළ ද සමාජ අගයන් හි විවෘතභාවය පැවතිය යුතුයැයි අවධාරණය කරයි. 2017 වසරේ අන්තර්ජාලයට සීමා බාධක පැනවීමේ නව තාක්ෂණික උපායමාර්ගයක් තමන් සතු වග රුසියාව ප්‍රචාරණය කළේය. එමෙන්ම අන්තර්ජාල සීමා බාධක යෙදවීම කෙරෙහි අවධානය යොමු කළ ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු කොරියාව රුසියාව සමඟ පෙළ ගැසී ඇත. චීනය විසින් ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව භූමිය මත විහිද වූ විශාල සහසම්බන්ධතා සංජාලයක් මගින් එකිනෙකට යා කිරීම 21 සියවසේ නව සේද මාවත “21st Century silk road” ලෙස හැඳින්වෙයි. නාවික මාර්ග සහ විදුලි සංදේශ යටිතල පහසුකම් මගින් තජිකිස්තානය, ජිබූති, සිම්බාබ්වේ නව සේද මාවතට යාවෙයි. වර්තමානයේ චීනය නව විදුලි සන්නිවේදන ව්‍යාපෘති 80 ක් ලොවට හඳුන්වා දී මෙහෙයවීමට අවතීර්ණ වී සිටී. අනෙක් රාජ්‍යයන් සඳහා සාගරයේ ඇතිරූ රැහැන් මගින් සහසබඳතා ගොඩනගයි. වසර 40 කට පසු ගෝලීයකරණය නමැති සංකල්පයේ ජීවය හීනවී ඇත. ලෝකය නැවත බලකඳවුරු මත ‍ෙබදී යාම අර්බුදයට විසඳුමක් නොවූව ද වෙනත් සමාජ පිම්මක් ගැනීමට නව දාර්ශනික මතවාදයක් අවශ්‍යය. එය 21 සියවසේ ගෝලීය සමාජ අපේක්ෂාවයි.


නව අදහස දක්වන්න