ඉස්ලාම් භීතිකාව | දිනමිණ

ඉස්ලාම් භීතිකාව

රවී රත්නසබාපති

පාස්කු ඉරිදා එල්ල වූ අනර්ථකාමී ප්‍රහාරයෙන් මෙරට ජනතාව මහත් කම්පනයකට පත් වූහ. මුස්ලිම් ජනයාට එරෙහි හිස්ටීරියාව අවුළුවන්නට මේ ප්‍රහාරය හේතුවක් විණ. මුස්ලිම් ජනයාට විරුද්ධව නැඟී ඇති මේ හිස්ටීරියාව පාලනයෙන් තොරව ඉදිරියට ඇදෙමින් ඇති සේම එය භයානක තත්ත්වයක් කරා ද දැන් ගමන් කරමින් ඇත.

මේ නිසා ගැටලුව අවබෝධ කර ගැනීමට අවශ්‍ය සංවේදී හැඟීම්, ආකූලත්වයට පත්ව අවුල් ජාලාවක් වී තිබේ. මේ වන විට ඇති වී තිබෙන භීතිය හට ගැනෙන්නේ:

l මේ ප්‍රහාරය මුළුමනින්ම අනපේක්ෂිත ස්වභාවයක් දරන බැවිනි. (එයට පෙර කිසිම අවස්ථාවක මුස්ලිම් - ක්‍රිස්තියානි විරෝධයක් නොතිබිණි.)

l තර්ජනයේ ස්වභාවය නොදන්නා බැවිනි. අන්තරායකාරී ගෝලීය ත්‍රස්ත ජාලයකට දේශීය මුස්ලිම්වරු අර්ථ විරහිතව ඈඳී සිටිති. එවැනි තත්ත්වයක් මතුව තිබෙන්නේ මේ ප්‍රහාරවල අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් සම්බන්ධව ඇතැයි සැක මතු වී ඇති බැවිනි. එම ත්‍රස්තයන්ගේ අරමුණු මොනවාදැයි දේශීය මුස්ල්ම්වරුන් දන්නේ ද නැත. තවදුරටත් ප්‍රහාර ඇතිවිය හැකි යැයි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරේ. එසේ වුවත් එය ස්ථිරවම මැඩිය හැකි මඟක් හෝ විසඳුමක් හෝ සොයා ගත් බවක් ද පෙනෙන්නට නැත. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ අරමුණු හා ඉලක්ක අපට එකල පැහැදිලිව දැනගන්නට හැකි විය. එහෙත් දැනට මතුව ඇති තත්ත්වය එයට ඉඳුරාම වෙනස් ය. මේ තර්ජනයේ නොදන්නා පැති රාශියකි. ඒ නිසා වත්මන් තත්ත්වය සමඟ කටයුතු කළයුතු ආකාරය ගැන සාමාන්‍යය ජනයා තුළ අවබෝධයක් නැත.

ත්‍රස්තවාදියා සහ සාමාන්‍ය මුස්ලිම්වරයා අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දිගු රැවුලක් සහිත ඕනෑම කෙනෙකු හෝ හිස වසා ඇඳ සිටින ඕනෑම කෙනෙකු හෝ අන්තවාදියකු ලෙස සලකන බවක් දක්නට පුළුවන. දෙමළ ජනයා කෙරෙහිත් මේ අන්දමේ සැකයක් මතු වූ මුත් එය එතරම් දෘශ්‍යමාන නොවිණ. එසේ වුවත් සෑම වීදි කෙළවරකම සිටින වික්ෂිප්තභාවයට පත් මුස්ලිම්වරුන් ත්‍රස්තයන් ලෙස පෙනීම නම් අද මේ වනවිට සුලභ ය.

දේශපාලන වාසි

දේශපාලන නායකත්වයේ ඇති අපොහොසත්කම් හේතුවෙන් රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීමකට ලක්ව තිබීම, එයට අමතරව දැකිය හැකිය. ප්‍රහාර වළක්වා ගැනීමට ගත හැකිව තිබූ ක්‍රියා මාර්ග වරද්දා ගැනීම සහ ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට අසමත්වීම යන කාරණාත් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. තත්ත්වය පාලනය කර ඇතැයි කියන ස්ථාවර සහ පැහැදිලි පණිවුඩය රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් නොවීම නිසා කටකතාවලට සහ තවත් පීඩාකාරී සිද්ධිවලට හොඳ පරිසරයක් නිර්මාණය විය.

බියට පත් කිරීම් කරමින් ද, එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් කටකතා පතුරුවමින් ද, පදනම් විරහිත චෝදනා මුස්ලිම්වරුන් වෙත එල්ල කරමින් ද, වෛරීය පණිවුඩ නිකුත් කරමින් ද ඇතැම් පාර්ශ්ව දේශපාලන වාසි ලබාගන්නට ඉතා දක්ෂ ලෙස ක්‍රියා කරමින් සිටී. කඩු සහ පිහි සොයා ගැනීම සම්බන්ධයෙන් කෙරෙන වගකීම් රහිත සහ උද්වේගකර මාධ්‍ය වාර්තාකරණ, මතු වී ඇති සැකය තව දුරටත් ශක්තිමත් කරන්නට හේතුවක් වී තිබේ. එවැනි ආයුධ ජන ඝාතන සඳහා තෝරාගෙන ඇතැයි ගණන් ගැනීම ද ගැටලු සහගත ය.

මේ ගැටලුවේ කේන්ද්‍රය විශ්වාසය පදනම් කරගත් එකකි. මුස්ලිම් ප්‍රජාව සාමූහික තර්ජනයක් සේ සලකා සෙසු සාමාන්‍ය ජනයා ඔවුන් විශ්වාස නොකරති. එපමණක් නොව, මේ තර්ජනයෙහිදී රජයෙන් ආරක්ෂාවක් නොලැබෙන්නේය කියාත් ඔවුහු විශ්වාස කරති. මේ භීතිකා මුළුමනින්ම පදනම් විරහිත ය. එසේම යථාර්ථය, ජනප්‍රිය මනඃකල්පිත තුළ ගිලී ගොස් ඇත.

එක හා සමාන සංකීර්ණ හැඟීම් සහිතව මුත් එකිනෙකට වෙනස් ආකාරවලින් ගනුදෙනු කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් පෙළඹිය යුතුව ඇත. මුස්ලිම් ප්‍රජාවේ අතිමහත් බහුතරය දැඩි කම්පනයකට ලක්ව සිටිති. එසේම අනෙක් සියලුදෙනා මෙන්ම එම ප්‍රජාවෙන් විශාල පිරිසක් ද බෝම්බ ප්‍රහාරයන් නිසා භීතියට පත්ව සිටිති. ත්‍රස්තවාදීන් තම ප්‍රජාවෙන්ම මතු වූයේය කියන වරදකාරී සහ ලජ්ජා සහගත හැඟීම ද බොහෝ දෙනකු තුළ ඇති වී තිබේ. තමන් සිදු නොකළ සහ තමන් කිසිවිටෙක සහය පළ නොකළ දෙයක් සම්බන්ධයෙන් වගකීමක් දරන්නට සිදුවීම අහිංසක මුස්ලිම්වරුන්ට බෙහෙවින්ම දුෂ්කර වී ඇත. තමන් සහ තමන්ගේ දේපළ ආදිය ආරක්ෂා කර දීමට රජය අපොහොසත්ය කියන විශ්වාසය මත ද ඔවූහු බියට පත්ව සිටිති.

මෙකී පරිමාණයේ ඛේදයක්, ව්‍යාකූලත්වය දෝර ගලා යන්නට හේතුවක් වීම ස්වභාවික ය. මේ සංකීර්ණ සහ ඝට්ටනකාරී චිත්තාවේග සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමටත්, සියලු පුරවැසියන් සතුරාට එරෙහිව පෙළගැස්විමටත් රජය ක්‍රියා කළයුතුව ඇත. අන්‍යෝන්‍ය අනවබෝධය සහ භීතිකාව නිසා ඇති වන්නේ බිය ජනක ප්‍රතිචාර පමණි. එමඟින් එකිනෙකා කෙරෙහි අවිශ්වාසය සහ වෛරය ඇති කෙරේ.

පශ්චාද් නිදහස් අවධිය

මෙරට පශ්චාද් නිදහස් අවධිය තුළ චක්‍රීය ප්‍රචණ්ඩත්වය උච්චාවචනය වෙමින් පවත්නා බව න්‍යායවාදීහු පෙන්වා දෙති.

"... ගැටුම් උත්සන්න වන නිශ්චිත ප්‍රවණතාවක් ඇත. එනම් වඩාත් දැඩි සහ වඩාත් සතුරු වූ තත්ත්වයට පත්වීමකි. ගැටුම් සම්බන්ධයෙන් එම පාර්ශ්වයන් පවසන්නේ කුමක්ද, එමඟින් තවත් ගැටලු ඇති වේ. ගැටුම් උත්සන්න වීම පාලනය කිරීම බොහෝ දුරට දුෂ්කර වේ. ගැටුම් දියුණු වීමේ ක්‍රියාවලිය භීතියෙන් ද ආරක්ෂාකාරීව ද පෝෂණය වනු ඇත. තර්ජන බොහෝවිට ප්‍රති-තර්ජන ඇතිවන තත්ත්වයක් කරා යොමු වේ. වරණීය සහ විකෘති සහිත අවබෝධයන් තරගකාරීත්වය සාධාරණීකරණය කරයි. විපරම් සහගත ප්‍රවේශයන් විශ්වාසයට සහ සහයෝගීතාවයට එරෙහිව ක්‍රියාත්මක වනු ඇත. .....තරගය, තරගකාරී වේ. .... සෑම පාර්ශ්වයක්ම අනෙකාගේ අනර්ථකාරී අභිප්‍රායන් සහ මතභේද විශ්වාස කරයි. අවිශ්වාසයට සහ තරගකාරීත්වයට සංඥා කරන්නා වූ පූර්ව ආරක්ෂණ පියවර ගන්නට පෙළඹීම් ඇති වේ. (Blake, Shepard & Mouton, 1964) එවිට අනෙක් පාර්ශ්ව ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගනිති. එමඟින් පූර්ව ආරක්ෂණ පියවර සාධාරණීකරණය කෙරේ. (Dr. Ronald Fisher) "

නීතිය හා සාමය

අත්අඩංගුවට ගැනීම් ක්ෂණිකව සිදු නොවුණහොත් ස්ථිර නායකත්වයක් ඇති වනු ඇත. එවිට නැවතත් චක්‍රයක් ආරම්භ කිරීමට අප සූදානම් වනවා විය හැකි ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට ගතයුතු පළමු පියවර වන්නේ මහජනතාව සැක සංකාවලින් හා භීතියෙන් මුදාගැනීම සහ නීතිය හා සාමය ප්‍රකෘතිමත් කිරීම ය.

ආරක්ෂක අංශ විසින් අයි.එස්. ජාලයේ මෙරට පුරුක් ගලවන ලද බවට ස්වාධින විශේෂඥයෝ විශ්වාස කරති. එසේ වුව එය සිදු කළ බවට රජය පැහැදිලි පණිවුඩයක් දිය යුතු ය. රජයේ, ආරක්ෂක අංශවල සහ ස්වාධින විශේෂඥයන් එකට ඒකාබද්ධව එය සිදු කළ යුතුව ඇත. ක්ෂණික තර්ජනයක් තව දුරටත් නොමැති බව ජනතාවට සහතික විය යුතු ය. එමඟින් දැනට වී තිබෙන අවිනිශ්චිත සහ කලබලකාරී තත්ත්වය පහව යනු නිසැක ය.

ත්‍රස්තවාදී ක්‍රියා කිසිවක් නොකළ සහ එවැනි ක්‍රියාවල නිරත වීමට අවශ්‍ය නොවන්නේ යැයි කියන මිලියන ගණනක් ජනතාව අතරේ ත්‍රස්තවාදීන් සිටින්නේ සිය ගණනක් පමණක් බව මහජනතාවට ඒත්තු ගැන්වීම කළයුත්තකි. එය දෙවන පියවරයි.

තම ප්‍රජාව තුළ සිටින අපරාධ කල්ලි හඳුනා ගැනීමට සහ ඒවා හුදකලා කිරීමට මුස්ලිම් ප්‍රජාව, රජය සහ ආරක්ෂක අංශ සමඟ එකට එක්වීම අවශ්‍යම දෙයකි. මුස්ලිම් ප්‍රජා නායකයන් ඒ සඳහා දැනටමත් සහයෝගිව කටයුතු කරනු පෙනේ. එසේ වුවත් ඔවුන් දරන උත්සාහය මෙයට වඩා දෘශ්‍යමාන විය යුතු ය. එමෙන්ම ස්ථාවර විය යුතු ය. මූලධර්මවාදී කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කිරීම සියලු ප්‍රජාවන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයක් බැව් තහවුරු කිරීම ඉතා වැදගත් ය. ත්‍රස්තවාදයට එරෙහිව පුරවැසියන් කරන සටනක් මිස මුස්ලිම් ජනයාට එදිරිව සිංහලයන් ගෙන යන සටනක් පැවතිය යුතු නැත.

ප්‍රජා නායකයන්

ඉස්ලාමීය ආකෘතිය තදින් අනුගමනය කරන මුස්ලිම්වරුන් සහ ඉවැන්ජලිස්ත කිතුණුවන් අතර වෙනසක් නැති බව සියලුදෙනා අවබෝධ කර ගත යුතු කාරණයකි. මේ දෙපිරිසේම අය තමන්ගේ පූජා විධිවලට වඩා තමන්ගේ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ කෙරෙහි මහත් වූ අවධානයක් යොමු කරති. එහෙත් ඔවුහූ භයානක අය නොවෙති. සෙසු ජනයා අතර මුස්ලිම්වරුන් පහසුවෙන් හඳුනා ගත හැකි වන්නේ ඔවුන්ගේ සුවිශේෂී ඇඳුම් විලාසිතාව නිසාය. මූලධර්මවාදී පල්ලි, ප්‍රචණ්ඩත්වයට හසුව ඇති බව සැබෑවකි. එසේ වුවත් ඔවුන්ගේ අනුගාමිකයන් සෙසු ජනයාගෙන් වෙන් වී සිටින බවක් දැකිය නොහැකි ය. මූලධර්මවාදීන් යනු ආගමේ මුල් ස්වරූපය අනුවම කටයුතු කරන්නෝය. නමුත් ඔවුන් ත්‍රස්තවාදීන් හෝ භයානක පිරිසක් යැයි සැලකිය නොහැකිය.

මේ ස්වරූපයේ ඉස්ලාම් දහම මෙරට ව්‍යාප්තව ශතවර්ෂ කිහියක්ම ඉක්ම ගොස් ඇත. එදා මෙදා තුර කාලයේදී අපට ප්‍රහාර එල්ල වූයේ වරක් පමණි. එය එල්ල කළේ ද විදේශගතව රැඩිකල් අදහස්වලට නැඹුරු වුණු අතළොස්සක් වූ ඉස්ලාමිකයන් පිරිසකි.

පැහැදිලි පණිවුඩයක් ලබාදීමට මුස්ලිම් ප්‍රජාව උත්සාහ ගත යුතු ය. ප්‍රජා නායකයන් එකට එක්වීමත් විශ්වාසය යළි ගොඩනැඟීමේ ප්‍රායෝගික වැඩසටහනක් සැකසීමත් අවශ්‍යව ඇත. ප්‍රචණ්ඩකාරී සිදුවීම් ප්‍රදේශ කිහිපයක් තුළ කඩින් කඩ ඇතිවෙමින් තිබේ. එම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට වගකිව යුත්තේ කවුදැයි කියා සොයා බැලීමත් ඉතා වැදගත් ය. නීතිය සහ සාමය බිඳ දැමීමට කටයුතු කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතුව ඇත. ප්‍රචණ්ඩත්වයේ පළමු සලකුණු ඇඟවෙන විටම ඇඳිරි නීතිය පැනවිය යුතුය. කැරලි මර්දන පොලිසියේ සහය අවශ්‍ය අවස්ථාවන්හිදී ලබා ගැනීමත් වැදගත් ය. රඳවා තැබීම සඳහාත්, සාමය කඩාකප්පල් කරන අයවලුන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී වෙඩි තැබීමටත් පොලිසියට නියෝග ලබා දිය යුතුය.

සාමාජිය සහ සංස්කෘතික දුරස්ථභාවය නැති කරමින් ජාතීන් අතර පාලම අධ්‍යාපනය හරහා දිගුකාලීනව ඉදිවිය යුතුව ඇත.

15.05.2019 "ඩේලි නිවුස්" පුවත්පතේ පළකර තිබුණු, රවී රත්නසබාපති ලියන ලද "Stopping Islamophobia: Reassure the public and restore law and order" ලිපියේ සිංහල අනුවාදය.

මංජුලා විජයරත්න


නව අදහස දක්වන්න