ෂයිලොක්ගේ ස්කූල් - වෑන්! | දිනමිණ

ෂයිලොක්ගේ ස්කූල් - වෑන්!

පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ ෂයිලොක් න්‍යායයේ සිට ගාස්තු අයකරන්නට පටන්ගෙන ඇතැ’යි මාපියෝ කියා සිටිති. ගුරු සංගම් ද මේ තත්ත්වය විවේචනය කරමින් කරුණු දක්වා ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මාසයකට ආසන්න කාලයක් සිසු ප්‍රවාහන කටයුතු සිදු වූයේ නැත. ඊට පෙර පාසල් නිවාඩු සමයක් ද ක්‍රියාත්මක විය. මේ අනුව සැලැකිය යුතු දින ගණනක් අදාළ වෑන් රථ වෙනත් සේවාවල යෙදෙන්නට ඇතැ’යි උපකල්පනය කළ හැකි ය. එහෙත් අප්‍රේල් හා මැයි යන මාස දෙක සඳහා සම්පූර්ණ ගාස්තු අයකිරීමට සිසු ප්‍රවාහන වෑන් රථ සංගම් තීරණය කර තිබේ. එම තීරණය වෙනස් නොකරන බව ද සිසු ප්‍රවාහන වෑන් රථ සංගම්වල ඒකාබද්ධ සමිතියේ සභාපතිවරයා අවධාරණය කරයි.

ආරක්ෂිත ලෙස දරුවකු පාසල වෙත යැවීමත්, නැවත නිසි වේලාවට නිවසට ගෙන්වා ගැනීමත් සෑම මවකගේ ම හා සෑම පියකුගේ ම අපේක්ෂාව වෙයි. දුම්රියෙන් හා පොදු බස්රථවලින් පාසලට එන - යන දරුවෝ විවිධ අකරතැබ්බවලට මුහුණ දෙති. දුම්රියේ ද, පොදු බස්රථවල ද ප්‍රමාදය ගත් කල දරුවන්ගේ කාලය නාස්තිවීමක් ද සිදු වේ. වෑන් රථයකින් දරුවා පාසලට යැවිය හැකි නම්; එය හැම අතෙකින් ම පාහේ වැදගත් ය. එහෙත් මේ සඳහා ගෙවිය යුතු ගාස්තුව මාපියන්ට අභියෝගයකි. විශේෂයෙන් පහළ මධ්‍යම පාන්තික මාපියන් මේ ගාස්තු ගෙවන්නේ අපහසුතා මැද ය. නැතහොත් බලවත් කැපවීම් සිදු කරමින් ය.

මුලදී නම්;‍ පාසල් වෑන් රථ නිවාඩු කාලය සඳහා කිසිදු මුදලක් අය කළේ නැත. පසුව එය සංශෝධනය වී නිවාඩු කාලය සඳහා ගාස්තුවෙන් භාගයක් අයකිරීම සිදු විය. දැන් එය මුළු ගාස්තුව තෙක් ප්‍රසාරණය වී ඇත. සිසු ප්‍රවාහනය සඳහා වෑන් රථයක් සොයාගැනීම අපහසු කටයුත්තක් බැවින් ඉහත තීරණවලට එකඟවීමට මාපියන්ට සිදු වී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ තත්ත්වය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ රටට විපැත්තියක් සිදුවුව ගාස්තු අයකිරීමේ වෙනසක් සිදුකිරීමට වෑන් සංගම් එකඟ නැති බව ය. ඒ අනුව ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් න්‍යායට නැඹුරු වී ඇත. මේ අතර ගුරු සංගම් කිහිපයක් පෙන්වා දෙන්නේ පාසල් බස් රථ මෙන් ම පාසල් වෑන් රථ ද මාෆියාවක් ලෙස ක්‍රියා කරන බව ය.

වෑන් රථ සංගම් වෙතින් ද තර්ක කිහිපයක් ඉදිරිපත් වී ඇත. පළමු තර්කය වන්නේ සිදු වූ ප්‍රහාරයේ වගකීම තම සංගම්වලට භාරගත නො හැකි බව ය. දෙවන තර්කය වන්නේ පාසල් විවෘත කළත් - නැතත් ඔවුන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා දැමිය යුතු බව ය. තුන්වන තර්කය වන්නේ වාහන නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඉහත ගාස්තු අයකිරීමේ කිසිදු අයුක්තියක් නැති බව ය. වාහන නඩත්තුව සඳහා ද, ඉන්ධන සඳහා ද විශාල මුදලක් අවශ්‍ය බව බොරුවක් නො වේ. ප්‍රශ්නය ඇත්තේ එලෙස වැය වන විශාල මුදල මාපියන්ගෙන් අයකරගත යුතු ද යන්න ය. ඒ හැරත් නිවාඩු කාලය තුළදී මේ වෑන් රථ වෙනත් ප්‍රවාහන සේවාවල නිරත වෙයි. ගුරු සංගම් ද එම ඇත්ත හෙළිදරව් කරමින් පාසල් වෑන්රථ සේවාව විවේචනයට ලක්කරයි.

‘සිසු සැරිය’ නමින් වූ පාසල් සිසු ප්‍රවාහන සේවාවක් ලංගමය විසින් පවත්වාගෙන යනු ලැබේ. එම සේවාව සෑම පළාතක ම සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැත. ලංගමයට ඒ සඳහා ප්‍රමාණවත් බස් රථ නැති බවක් පෙනෙයි. එලෙස ම දැනට එම සේවාවෙහි නියුක්ත බස්රථවල තත්ත්වය ද හොඳ නැත. ශිෂ්‍ය ප්‍රජාව ‘සිසු සැරියේ’ ගමන් කිරීමට මැළිකමක් ද දක්වති. කුමක් වුව එම බස්රථවල ගමන් කිරීම සිසුවාට වාසිදායකය. වාර ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් මාසයක් ම සුළු මුදලකට පාසල් යා හැකිය. නිවාඩු කාලවල ගෙවීමක් ඇත්තේ ද නැත. මීට දසක තුනකට පමණ පෙර පාසල් සේවා සඳහා පැවැතියේ ලංගමයේ පාසල් බස් රථ පමණි. ‘සිසු සැරිය’ තවදුරටත් ශක්තිමත් කළ හැකි නම්; මේ ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසැඳුම් ලැබෙනු ඇත.

එක්තරා ගුරු සංගමයක් පෙන්වා දෙන අන්දමට පාසල් ප්‍රවාහන සේවය තුළ ප්‍රවාහන මාෆියාවක් බිහි වී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානය ගිලිහී ඇති නිසා ය. පෞද්ගලික අංශයට අයත් පාසල් වෑන් රථ හා බස් රථ හතළිස්පන්දහසක් පමණ රටපුරා ක්‍රියාත්මකය. එලෙසම මේ සේවාව මත බිහි වූ සංගම් ගණනාවක් ද රට පුරා ක්‍රියාත්මක ය. එහෙත් මේ කිසිදු සේවාවක් හෝ සංගමයක් හෝ නියාමනයකට ලක් වී නැත. ඒ අනුව වෑන්රථ හිමියෝ තමන්ගේ අභිමතයට අනුව ගාස්තු තීරණය කරති. නිවාඩුවටත් ගාස්තු අය කරති. සියල්ලෙන් පීඩාවට පත්වන්නෝ මාපියෝ ය.

රටේ ධාවනය වන පාසල් වෑන් රථ හා පාසල් බස් රථ යම් නිරීක්ෂණයකට ලක් කළහොත් අඩුපාඩු හා වැරදි ඕනෑ තරම් සොයාගත හැකි ය. ඇතැම් බසයක අත් තිරිංග නැත. තව රථයක වහලයෙන් තෙමෙයි. තවත් රථයක් පදවන්නේ සුදුසුකම් සහිත පළපුරුදු රියැදුරෙක් නොවේ. දරුවන් පාසල් ප්‍රවාහන රථ තුළදී අපයෝජනයට ලක් වූ අවස්ථා ද තිබේ. මේ අනුව බලන විට දරුවාට අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව හා පහසුව පෞද්ගලික සේවා ඔස්සේ ලබාගත හැකි ද යනු ගැටලුවකි. මාපියන් පෞද්ගලික වෑන් රථ හා බස් රථ කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත්තේ කරුණු හරිහැටි නො දන්නා නිසා යැයි සිතන්නට පුළුවන. මේ සේවාවන් සම්බන්ධයෙන් නියාමනයක් ඇතිකිරීම වඩාත් කාලෝචිත පියවර ලෙස සැලැකිය හැකිය.

අපේ රටේ බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මාෆියා ගොඩනැඟී ඇත. එය ආර්ථිකයේ ස්වභාවයට අනුව සිදුවන දෙයක් ලෙස සමහරු සලකති. සහල් මාෆියාව, එළවළු මාෆියාව, කුඩු මාෆියාව ආදී ලෙසින් ඒවා හඳුන්වනු ලැබේ. සිසු ප්‍රවාහනයට අදාළ වෑන් රථ හිමියන්ගේ ද මාෆියාවක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන්නේ ගුරු සංගම් ය. මාපියන් ද එම මතයට එකඟ බව පෙනී යයි. අප්‍රේල් හා මැයි මාස සඳහා මුළු ගාස්තුව අයකිරීමට යෑමෙන් ඉහත මතය තවදුරටත් සනාථ වෙයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට පාසල් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් නියාමනයක් ඇතිකිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අවශ්‍ය මූලික කටයුතු සිදුකර අවසන් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නිවාඩු කාලයටත් මුළු ගාස්තුව අයකරන්නට තීන්දු කිරීම කොයි අතින් බැලුව ද අයුක්තිසහගත ය. වෑන් හිමියන් මාපියන් සූරාකන්නට යන බවක් එයින් පෙනී යයි. ගුරු සංගම්වල මෙන් ම මාපියන්ගේ ද විවේචන සාධාරණ බව අපට සිතෙයි.

නව අදහස දක්වන්න