විජයදාස මන්ත්‍රීවරයා ජනතාව නොමඟ යැවීමේ වෑයමක යෙදී සිටිනවා | දිනමිණ

විජයදාස මන්ත්‍රීවරයා ජනතාව නොමඟ යැවීමේ වෑයමක යෙදී සිටිනවා

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කොමිෂන් සභාවලට මුවා වෙමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක යෙදී සිටින බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙරට පාසල් දරුවන් වෙනුවෙන් ඔවුන් හා සම්බන්ධ විදුහල්පති, ගුරුවරුන් හා මවුපියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳ ජනතා ප්‍රසාදය බිඳ දැමීම සඳහා නින්දිත අපහාසාත්මක සහ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවී තිබෙන බවද ඇමැතිවරයා පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින අනීතිකව රාජ්‍ය බලය කොල්ලකන ලද නීති විරෝධී ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති ධූරයට පත් විජයදාස රාජපක්ෂ මහතා වැන්නවුන් මේ වැඩපිළිවෙළේ පෙරමුණේ සිටීම පුදුමයක් නොවන බව පවසන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා, නිසි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නොමැති, අවශ්‍ය වනවිට කබරයා ද තලගොයා කර ගන්නා විජයදාස රාජපක්ෂ මහතා වැනි අය සිංහ හමක් පොරවා ගත් සිවලුන්ගේ භූමිකාවට පණ පොවමින් සිටින බවද කියයි.

අනීතික රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලය ඇල්ලූ විජයදාස රාජපක්ෂ මහතා දරුවන්ට රජයෙන් ලබා දෙන නිල ඇඳුම නිසි කලට ලබාදීම සිතා මතා ප්‍රමාද කළ බවත්, දරුවන්ගේ පෙළපොත් ලබාදීමේ වැඩසටහන ද කඩාකප්පල් කර දැමූ බවත් පවසයි.

එයින් ද නොනැවතී ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදු කළ අනෙක් කටයුත්ත වූයේ ලක්ෂ 45 ක් දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය නතර කරන තැනට පිඹුරුපත් සැකසීම යැයිද ඇමැතිවරයා සඳහන් කරයි.

දේශපාලන කුහකත්වය කිසිදු උගත්කමකින් යටපත් කළ නොහැකි බව විජයදාස රාජපක්ෂ මහතාගේ දේශපාලන භාවිතය තවදුරටත් සනාථ කරමින් තිබෙන බවද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පවසයි. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

කෝටි ගණනක අක්‍රමිකතා, අනවශ්‍ය වියදම්, වංචා හා දූෂණ අක්‍රමිකතා පසෙක තබමින් පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන විට කැබිනම් මණ්ඩලය නියෝජනය කළ ඊට පක්ෂව අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතාගේ සුපුරුදු පක්ෂ මාරුවෙන් පසු “හොඳ දෙය නරකවීමේ” අපූරු දැක්ම පිළිබඳව මා පුදුමයට පත්වන්නේ නැහැ. මන්ද ඔහුගේ අතීත දේශපාලන භාවිතය තුළ එවැනි අවස්ථා පිළිබඳ ඕනෑ තරම් නිදසුන් සොයා ගත හැකිවන බැවිනි.

පාසල් පෙළපොත්වලට රජයේ දැක්ම, අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩය ඇතුළත් කිරීම සිදුවූයේ විජයදාස මන්ත්‍රීවරයා පවසන පරිදි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාගේ සමයේ පමණක් නොවන බව සිහිපත් කරන අතර මීට පෙර සිටි අධ්‍යාපන අමාත්‍යවරුන් හා ජනාධිපතිවරුන්ගේ පණිවිඩ ද ඇතුළත්ව තිබූ බව ද මතක් කර දෙමි. තම දේශපාලන බංකොළොත්භාවය වසා ගැනීම පිණිස යොදා ගැනීමට උත්සාහ දරන සංදර්ශන පමණක් නොව නීතිය සාධාරණව ක්‍රියාත්මක ඕනෑම ස්ථානයක දී සුරක්ෂා රක්ෂණාවරණය, නිල ඇඳුම් වවුචර ලබාදීම, පාසල් පෙළපොත් ලබාදීම ආදී කරුණු සම්බන්ධයෙන් මාහට එල්ල කරන චෝදනා හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙස මම අභියෝග කරමි. එලෙස ඔප්පු කරනු වෙනුවට කොමිෂන් සභාවලට ඉදිරිපත් කරන කරුණු ජයග්‍රාහීව මාධ්‍යයට නිකුත් කරමින් අවසන් තීරණයකට එළැඹ නොමැති කරුණු සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයක් ලබාදෙන අයුරින් සිදු කරන මාධ්‍ය සංදර්ශන පිළිබඳවත්, මාගේ ප්‍රතිරූපයට සිදු කරන හානිය පිළිබඳවත් දැඩි අප්‍රසාදය පළ කරමි.


නව අදහස දක්වන්න