ආරක්ෂක බුද්ධි ජාලය ශක්තිමත් කෙරෙයි | දිනමිණ

ආරක්ෂක බුද්ධි ජාලය ශක්තිමත් කෙරෙයි

විජයානි එදිරිසිංහ

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය රේගුව, ආගමන විගමන සහ රාජ්‍ය ඇතුළු සියලු ආරක්ෂක බුද්ධි අංශ එකිනෙකට සම්බන්ධ කරමින් මෙරට ආරක්ෂක බුද්ධි ජාලය කිසිදු ආකාරයකින් දුර්වල කළ නොහැකි පරිදි ප්‍රතිසංවිධාන කර ශක්තිමත් කෙරේ.

රටේ හා ජනතාවගේ ආරක්ෂාව ඉලක්ක කර ගෙන ඒවාට එරෙහිව නැගී එන ත්‍රස්තවාදි ක්‍රියාවන්, විදේශ බලවේග, මත්ද්‍රව්‍ය, අන්තර් ජාල ප්‍රහාර, පරිගණක අපරාධ, කළු සල්ලි ජාවාරම්, දෙස් විදෙස් කුමන්ත්‍රණ, පවතින්නාවූ රජයන්ට එරෙහිව නැගී සිටින දේශපාලනික හෝ වෙනත් ආකාරවලින් නැගී එන බලවේග මඩ ප්‍රහාර අපහාස කිරීම් ඇතුළු සියලු බලවේග සියල්ලට අභියෝගාත්මකව මුහුණ දී එම බලවේගයන්ට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ඒවා සියල්ල නැත්තටම නැති කර දමා රටේ ආරක්ෂාවත් මහජනතාවගේ නිදහස හා සාමය ආරක්ෂා කිරීම අරමුණ කරමින් ශක්තිමත් බුද්ධි ජාලයක් ක්‍රියාත්මක කිරීම මෙම වැඩපිළිවෙළේ ඉලක්කය වෙී තිබේ.

මෙතෙක් කාලයක් ත්‍රිවිධ හමුදාව පොලීසිය විශේෂ කාර්ය බළකාය සහ රාජ්‍ය බුද්ධි අංශ පැවතියත් එකිනෙක බුද්ධි අංශ අතර දැඩි සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් නැත. මේ නිසා රටේ ආරක්ෂාවට හෝ මහජනතාවගේ ආරක්ෂාවට බාධා වන ඇතැම් කුම්න්ත්‍රණ සම්බන්ධයෙන් ඇතැම් බුද්ධි අංශ දැනුවත්වීම බෙහෙවින්ම අඩු තත්ත්වයක පැවැත්විණි . මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ත්‍රස්තවාදින් සම්බන්ධ තොරතුරු ද ඇතැම් බුද්ධි අංශ මගින් දැනගෙන සිට ඇති අතර. තවත් බුද්ධි අංශ ඒ සම්බන්ධව දැන සිට නොමැත.

රටේ ආරක්ෂාවත්, මහජනතාවගේ ආරක්ෂාවටත් එරෙහිව නැගී සිටින විවිධ කුමන්ත්‍රණ සම්බන්ධව කරුණු හෙළි කර ගන්නා වැදගත්ම අංශය වන්නේ බුද්ධි තොරතුරුය. එවැනි සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ බුද්ධි තොරතුරුවලින් අනාවරණය වූ කරුණු පදනම් කරගෙනය.

ඒ අනුව නව වැඩපිළවෙළ යටතේ සියලු බුද්ධි අංශ අතර බැදීම් ඇති කරමින් ශක්ති සම්පන්න බුද්ධි ජාලයක් ඇති කර එම බුද්ධි ජාලය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරගනිමින් රටේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩපිළවෙළේ ඉලක්කයයි.

නව අදහස දක්වන්න