පාස්කු ඛේදවාචකයට ගත යුතු පියවර දන්වා පොලිස්පතිට ලිපි දෙකක් | දිනමිණ

පාස්කු ඛේදවාචකයට ගත යුතු පියවර දන්වා පොලිස්පතිට ලිපි දෙකක්

කමනි අල්විස්

පාස්කු දිනය දා සිදුවූ පිපිරීම් පිළිබඳ අනුගමනය කළ යුතු උපදෙස් අඩංගු ලිපි දෙකක් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

පාස්කු දිනය දා සිදුවුණු පිපිරීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපතිවරයා නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව, ඒ වාර්තා පිළිබඳ කළ නීතිමය අධ්‍යයනයන්ට හා නිර්දේශයන්ට අනුව පාස්කු දිනය දා සිදුවුණු පිපිරීම් පිළිබඳ අනුගමනය කළ යුතු උපදෙස් අඩංගු ලිපි දෙකක් මෙසේ නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීම තහවුරු කළ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.

නීතිපතිවරයා ඉකුත් 7දා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව පූර්ණ අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසටයි.

ඉකුත් 14දා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නිකුත් කළ දෙවන ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ජාතික බුද්ධි අංශයේ ප්‍රධානි, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන අදාළ විමර්ශන දෙකේ උධෘත නීතිපතිවරයා වෙතට ඉදිරිපත් කරන ලෙසටත් නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

තවද ජනාධිපති විශේෂ පරීක්ෂණ මණ්ඩල නිර්දේශයන්ට අනුව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ සිදුකර තිබෙන රාජකාරී පැහැර හැරීම පිළිබඳ ජාතික පොලිස් කොමිසම හරහා විනය ක්‍රියාමාර්ග අරඹන ලෙසටත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් ලිඛිතව දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න