බැංකු ණය-ලීසිං ගෙවන්න සහන කාලයක් දෙන්න | දිනමිණ

බැංකු ණය-ලීසිං ගෙවන්න සහන කාලයක් දෙන්න

ජයසිරි මුණසිංහ
කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිස මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරුයි මේ. ඡායාරූපය සමන්ත වීරසිරි

කොළඹ ව්‍යාපාරික සංගමය රජයෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයන් හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර සියල්ල යළි නඟා සිටුවීම සඳහා ව්‍යාපාරිකයින් ලබාගෙන ඇති ණය වාරික ආපසු ගෙවීමට වාහන ලීසිං සහ බදු ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දෙන්නැයි කොළඹ ව්‍යාපාරික සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධානීහු ඊයේ (23) දහවල් කොළඹ මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හමු විය. ඉන් අනතුරුව කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවත අංක 665/12 පිහිටි පොන්නසාමි රෙස්ටුරන්ට් හි පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආචාර්ය ඩී. වෙන්කටේස්වරන් මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා අද වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයන් සිදු වී මාසයකට අධික කාලයක් ගත වී තිබෙනවා. ඒ ප්‍රහාරයන් හේතුවෙන් ලොකු කුඩා පරිමාණ ව්‍යාපාර රාශියක් බිඳ වැටී තිබෙනවා. මේ බිඳ වැටීමෙන් නැවත ගොඩඒමට අපි රජයට යෝජනා කරන්නේ අපට ව්‍යාපාරික ප්‍රජාවට සහන සලසන ලෙසයි.

අප ඉල්ලා සිටින්නේ අප ලබා ගත් ණය නිසි පරිදි ආපසු ගෙවීමට යම් කාලයක්, ලීසිං හා බදු ගෙවීමට අමතර කාලයක් ලබා දෙන ලෙසයි.

මේ අමතර කාලය ලබාදීමෙන් රජයට පාඩුවක් සිදු වන්නේ නැහැ. රජය මේ අමාරු අවස්ථාවේ ව්‍යාපාරිකයින් නැඟී සිටුවීමට උදව් කිරීම කළ යුතුයි. අපි ඉල්ලා සිටින්නේ ඒ උදව් කිරීම තුළ නැවත රට ගොඩනැඟෙන බවයි.

කොළඹ ව්‍යාපාරික සංගමයේ මහ ලේකම් චමින්ද විදානගමගේ මහතා

අද අපි කොළඹ දී මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හමු වුණා. අපි නැවත ව්‍යාපාර ගොඩනැඟීමට අපේ යෝජනා ඉදිරිපත් කළා. එතුමා ඒ සහන යෝජනා පිළිබඳව ලබන 30 වැනිදා පැවැත්වෙන බැංකු ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී අවධානය යොමු කර කටයුතු කරන බවට ප්‍රකාශ කළා. එය ඉතාම අගය කළ යුතු යහපත් කටයුත්තක් බව කියනවා.

 


නව අදහස දක්වන්න