දිගන ගැටුමේ පිටුපස හිටි අය මිනුවන්ගොඩත් හිටියා | දිනමිණ

දිගන ගැටුමේ පිටුපස හිටි අය මිනුවන්ගොඩත් හිටියා

දුමින්ද සම්පත්
නීතිඥ ජාවිඩ් යූසුෆ්

අප්‍රේල් 21 දා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් රටේ සමස්ත මුස්ලිම් ජනතාව වෙත ඇතිවුණු බලපෑම, මුස්ලිම් ජනතාව අන්තවාදය කෙරෙහි දක්වන ආකල්ප, මිනුවන්ගොඩ ඇතුළු අනෙක් ස්ථානවල ඇතිවුණු සිදුවීම්, සර්ව ආගමික කමිටු හරහා සංහිඳියාව ගොඩනැඟීමේ අදහස ආදිය සම්බන්ධයෙන් නීතිඥ ජාවිඩ් යූසුෆ් මහතා දැක්වූ අදහස් මෙසේය.

* ඉස්ලාමයෙන් උගන්වන්නේ මැද මාවතක්
* ජනමාධ්‍යයෙන් ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය ප්‍රචාරයක් දුන්නා 
* පාස්කු ප්‍රහාරකයෝ මුස්ලිම්වරු නෙමෙයි 
* මුස්ලිම් ජනතාව අයිඑස් ගොඩට දාන්න එපා 
* ත්‍රස්තවාදයට උදව් කළ සැමට දඬුවම් කරන්න

මුස්ලිම් අන්තවාදය, මුස්ලිම් සමාජයට සිදුකර තිබෙන බලපෑම කොයි වගේද?

සමහරු අන්තවාදය ලෙස දකින දේ තවත් කෙනෙක් අන්තවාදය ලෙස දකින්නෙ නැහැ. ඉස්ලාම් ධර්මයේ උගන්වන්නෙ මැද මාවතක්. ඒ රාමුව තුළ සමහරු ආගමිකව ක්‍රියාත්මක වෙන විදිය වෙනස්. තොප්පිය දාගෙන ආගම කියන්න කියලා සමහරු කියනවා. සමහරු කියන්නෙ අවශ්‍ය නැහැ කියලා. මේ එක උදාහරණයක් විතරයි. කාන්තාවන්ගේ මුහුණු ආවරණය, අන්තවාදයක් විදියට සමහරු හිතනවා. මේ ගැන විවිධ මත තියෙනවා.

අප්‍රේල් 21 ප්‍රහාරයත් එක්ක මුස්ලිම් සමාජයට චෝදනා එල්ල වුණා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මෙවැනි දෙයක් මුස්ලිම් සමාජය කිසිදාක බලාපොරොත්තු වුණේ නැහැ. මෙවැනි කතිකාවක් මුස්ලිම් සමාජය තුළ තිබුණෙ නැහැ. මේ ප්‍රහාරවලට සම්බන්ධ අය විවිධ ආගමික මතවාද ප්‍රකාශ කරමින් මුස්ලිම් සමාජයෙත් බෙදීම් ඇති කළා. ඔවුන්ගෙ ආගමික අදහස් මුස්ලිම් සමාජය ප්‍රතික්ෂේප කළා. ජමියතුල් උලමා සංවිධානයත්, මුස්ලිම් විද්වතුන් වගේම මුස්ලිම් සංවිධානත් 2014 ඉඳන් ‍ෙම් සම්බන්ධයෙන් ආණ්ඩුවටත් ආරක්ෂක අංශවලටත් පැමිණිලි කළා. මේ අයගෙ නම් සහිතව ආරක්ෂක අංශවලට පැමිණිලි කළා. ඔවුන් අන්තවාදී අදහස් දරන බවත් කිව්වා. ඒ ගැන ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුණේ නැහැ. විදෙස් රටවල් පවා මේ ප්‍රහාරය ගැන දැනුවත් කළා. මේ අන්තවාදීන් නිසා මුස්ලිම් සමාජය අභ්‍යන්තරයෙත් විවිධ ගැටුම් ඇතිවුණා. සහරාන් කාත්තන්කුඩියෙ ප්‍රශ්න ඇති කළා. ඒවා පොලිසිය දක්වාම ගියා.

මේ ගැටලුව මුල්කරගෙන මුස්ලිම් සමාජයට එල්ලවී තිබෙන පීඩනය ඔබ දකින්නෙ කොහොමද?

මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ අය මුස්ලිම් ජාතිකයන් නිසා මුස්ලිම් සමාජයටම විශාල පහරක් එල්ලවුණා. 2012 ඉඳන් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල වුණේ පිටතින්. මේ සිදුවීමත් සමඟ සාමාන්‍ය මුස්ලිම් ජනතාව ගැනත් සැකයෙන් බලන්න පටන් ගත්තා. මුස්ලිම් සමාජය තුළින්ම මුස්ලිම් සමාජයට වෙච්ච මේ ප්‍රහාරයෙන් අපට කරපු බලපෑම විශාලයි. තමන්ගෙ අසල්වැසියාට මුහුණදෙන්න බැරි තත්ත්වයට මුස්ලිම් සමාජය අසරණ වුණා. මේ ප්‍රහාරයට සම්බන්ධ සුළු කොටස ගැන මුස්ලිම් සමාජයෙ. ලොකු කලකිරීමක් තියෙනවා. ඔවුන් ගැන කිසිම වගකීමක් මුස්ලිම් සමාජයට ගන්න බැහැ. 83 කළු ජූලියට සම්බන්ධ වුණේ සිංහල සුළු පිරිසක්. ඒකට සමස්ත සිංහල සමාජයම වගකියන්න අවශ්‍ය නැහැ. එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට සමස්ත දෙමළ සමාජයටම වගකියන්න බැහැ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පැය කීපයක් යනකොට මේ ප්‍රහාරවලට සම්බන්ධ අය අල්ලගත්තෙ මුස්ලිම් සමාජයෙන් ලැබුණු සහාය හින්දයි.

ඇතිවුණු තත්ත්වයත් එක්ක ගොඩනැඟුණු සැක සංකා නැති කරන්න නම්, රටක් හැටියට මොනවද කරන්න ඕන?

සිංහල රජවරුන්ගෙ කාලෙත් මුස්ලිම්වරු රාජ්‍ය පාලනයට කිට්ටු සබඳකම් තිබුණා. සමහර රජවරුන්ගේ උපදේශකයන් හැටියටත් මුස්ලිම්වරු හිටියා. මායාදුන්න රජවරුන්ගෙ යුද හමුදාවෙත් මුස්ලිම්වරු හිටියා. අරාබියෙන් ආපු මුස්ලිම්වරු සිංහල කාන්තාවන් විවාහ කරගත්තා. ඔවුන්ට රට අල්ලන්න, දේශපාලන අරමුණු තිබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ.ය මුස්ලිම් ජනතාව උතුරෙන් එලෙව්වා. නැගෙනහිර කාත්තන්කුඩි, එරාවුර් පල්ලිවල යච්ඥා කරපු අපේ අය ඝාතනය කළා. දර්ගා නගරය, දිගන පහරදීම් කළා. දැන් මිනුවන්ගොඩ හෙට්ටිපොළ මුස්ලිම් ජනතාව ප්‍රහාරවලට මුහුණ දුන්නෙ ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි. ආණ්ඩුවත් එක්ක සුහදව ඒ ගැටුම් විසඳා ගත්තා. පාස්කු ප්‍රහාරය කළේ මුස්ලිම් කල්ලියක්. ඔවුන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන්නෙ නැහැ. මේ කල්ලියෙ ගොඩක් අය මිය ගියා. සමහරු අත්අඩංගුවට ගත්තා. මේ කල්ලිය කවදාවත් මුස්ලිම් ජනතාවගෙ ගැටලු ගැන කතා කළේ නැහැ. මේ කණ්ඩායම ඉක්මනින් මර්දනය කළේ මුස්ලිම් ජනතාවගෙ ආශිර්වාදය ඒ අයට නැති නිසයි. ඔවුන්ට විරුද්ධව මුස්ලිම් ජනතාව පෙනී හිටියා. මුස්ලිම් ජනතාව අයිඑස්අයිඑස් ගොඩට දාන්න එපා. ලංකාවෙ එහෙම සංවිධානයක් ක්‍රියාත්මක වෙච්ච බවට සාක්ෂි නැහැ.

මුස්ලිම් සමාජයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවටත් මත පළවෙනවා?

මේ සිද්ධිය දඩමීමා කරගෙන විවිධ කතා පැතිරෙනවා. ප්‍රතිසංස්කරණ ඉතා පරිස්සම්සහගතව කරන්න ඕන. මද්‍රසා පාසල් කියන්නෙ ජාත්‍යන්තර පාසල් වගේ එකක්. එහි ඉගැන්වීම්, ඇඳුම් ගැන මුස්ලිම් සමාජයටත් ගැටලු තිබුණා. ඒ නිසා එහි නියාමනයක් අවශ්‍ය බව මුස්ලිම් අයත් කිව්වා. මුස්ලිම් ජනතාව මද්‍රසා පාසල් ගැන රැවටීමක හිටියා. සහරාන්ගෙ අදහස්වල තිබුණු ගැටුම්කාරී බව නිසා ඔහුව මද්‍රසා පාසල්වලින් අයින් කළා. කාන්තා හිස් වැසුම්වල බුර්කාවයි, නිකාබයයි තහනම් කළා. නිජාබය තහනම් නැහැ. ඒත් මේ ගැන හරියට ජනතාව තේරුම් අරගෙන නැහැ. ආණ්ඩුව මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. නැත්නම් මුස්ලිම් කාන්තාවන් විවිධ අපහසුතාවන්ට පත්විය හැකියි. කළු ඇඳුම් වගේම බුර්කාව නිකාබය අරාබි සංස්කෘතියෙන් ආපුවා. මැදපෙරදිග රැකියාවලට ගිය අය ඒ ඇඳුම් ලංකාවටත් ගෙනාවා. බටහිර රටවලට යන අය බටහිර ඇඳුම් විලාසිතා ලංකාවට ගේනවා. ටික කාලයක් යනකොට සමහරු ඒ විලාසිතා අතහරිනවා. ඒත් සමහරු දිගටම ඒ තත්ත්වය ගෙනියනවා. මේක තමයි මුස්ලිම් සමාජය තුළත් වුණේ.

මේ ප්‍රහාර එල්ල කළ අන්තවාදීන්ට උදව් කළ බවට මුස්ලිම් දේශපාලනඥයන්ට චෝදනා එල්ල වෙලා. මුස්ලිම් සමාජයෙන් ඔවුන්ට විරෝධතා ගොඩනැගෙන්නෙ නැත්තෙ ඇයි?

ත්‍රස්තවාදීන්ට විරුද්ධව මුස්ලිම් සමාජය නැගී සිටියා. දේශපාලනඥයන් මේවට උදව් කරල තියෙනවා නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ත්‍රස්තවාදීන් ගොඩක් දේශපාලනඥයන් ආශ්‍රය කරලා තියෙනවා. ආරක්ෂක අංශවලට සාක්ෂි තියෙනවා නම් වහාම පරීක්ෂණ කළ යුතුයි. රටේ නීතියෙ ආදිපත්‍යය අවශ්‍යයි.

පාස්කු ප්‍රහාරයෙන් දින 21 ට පස්සෙ රටේ විවිධ තැන්වල මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රහාර දියත් වුණා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

කොච්චර සැක සංකා තිබුණත්, බියවුණත්, ආවේගාත්මක වුණත්, මිනිස්සු සාමකාමීව හිටියා. සති තුනකට පස්සෙ මුස්ලිම් සමාජයට ප්‍රහාර එල්ල වුණා. මේ පහරදීම් කළේ පිටතින් ආපු අය. ඒක සිංහල අයත් කියනවා. දිගන සිද්ධියෙ හිටපු අය මිනුවන්ගොඩ සිද්ධියෙන් හිටියා. මේ හැමෝටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ප්‍රහාර බෞද්ධ ජනතාවගෙ ගොඩට දාන්න බැහැ. ප්‍රහාර පිටුපස්සෙ ඉන්නෙ සුළු කණ්ඩායමක්. ඔවුන්ව දැන් අත්අඩංගුවට අරගෙන. එදා දර්ගා නගරයෙ සිද්ධියට අදාළව කවුරුවත් අත්අඩංගුවට ගත්තෙ නැහැ. මිනිස්සුන්ට ආරක්ෂාව තියෙන්නෙ පොලිසිය, හමුදාව අතේ. ඔවුන් වගකීමෙන් වැඩ කරන්න ඕන.

මිනුවන්ගොඩ, හෙට්ටිපොළ සිද්ධිවලටත් පාස්කු ප්‍රහාරයටත් දේශපාලකයන්ට චෝදනා එල්ල වුණත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලත් කියනවා?

ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දේශපාලනඥයො කාටහරි චෝදනා කරනවා. ඒ චෝදනාව ප්‍රවෘත්ති හැටියට ඉදිරිපත් කරනවා. එහෙම චෝදනා කළාට අත්අඩංගුවට ගන්න බැහැ. නීතිමය රාමුවක් තුළ ඒව සිද්ධවෙන්න ඕන. ආණ්ඩුව මේවා ගැන කඩිනමින් පරීක්ෂණ කරල ජනතාවට ඇත්ත කියන්න ඕන.

සර්ව ආගමික කමිටු හරහා රටේ සංහිඳියාව ගොඩනැගීමේ අදහසක් යළි ඇතිවෙමින් තිබෙනවා. මෙවැන්නක වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද?

තිස් අවුරුදු යුද්ධෙ ඉවර වුණේ 2009 දී. යුද්ධයෙ පීඩනයෙන් මිනිස්සු මිදුනත්, සංහිඳියාව ඇති කරන්න රාජ්‍ය මට්ටමින් වැඩපිළිවෙළක් එදා තිබුණෙ නැහැ. 2015 ජනවාරිවලින් පස්සෙ එවැනි තත්ත්වයක් ඇතිවුණා. සර්ව ආගමික නායකයො ඒවට සම්බන්ධ වුණා. මේ රටේ ශක්තිය අපේ විවිධත්වය. ආගම් 4 ක් ජාතීන් 4 ක් ඉන්නවා. ඉතිහාසයෙ අපි හැමෝම එකට ජීවත්වුණා සහෝදරත්වයෙන් හිටියා. මේ ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක ඒ සියල්ල නැතිවුණා. මේ රටේ මිනිස්සු ආගමට ළැදියි. ආගමික නායකයො ආදර්ශයක් පෙන්නුවොත් රටේ මිනිස්සු හොඳ පැත්තට ගන්න පුළුවන්. සැක සංකා නැති කරන්න ශීලාචාර, ජාතික කතිකාවක් අවශ්‍යයි. එකිනෙකාගෙ ආගම, සංස්කෘතිය ගැන විවෘතව කතාකරල අවබෝධයන් ගන්න අවශ්‍යයි. එකිනෙකාගෙ නිදහසට ගරු කරන්න ඕන.

මෙවර වෙසක් සමරන්න මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් භේදයකින් තොරව ජනතාව එකතුවුණා. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යන්නෙ කොහොමද?

මිනිස් ගතිය ඉබේම මතුවෙනවා. මේවට සම්බන්ධ වෙන්නෙ යහපත් චේතනාවෙන්. තව කෙනෙකුට ගරුකිරීම, ආගමකට ගරුකිරීම මේව තමයි හොඳ ලක්ෂණ. මේ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම වැදගත්. අපි හැමෝම ඒ වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි.

ප්‍රධාන සිදුවීමෙන් පස්සෙ ජාතීන් අතර ගැටුම් ඇතිවීමට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වුණු අසත්‍ය සහ අතිශයෝක්ති වාර්තාකරණයත් ‍ෙහ්තුවුණු බව කියනවා?

සමහර ජනමාධ්‍ය වගකීම් රහිතව වැඩ කළා. ආරක්ෂක අංශ මෙහෙයුම්වලින් ආයුධ හොයාගත්තා. ඒ අතර පාතාල කල්ලිවල ආයුධත් තිබුණා. බලන්ගොඩ හොර පාස්පෝට් තොගයක් හොයා ගත්තා. ඒවා වංචනිකව මුද්‍රණය කරපුවා. මේ ඔක්කොම ත්‍රස්තවාදීන්ට සම්බන්ධ සිද්ධි හැටියට තමයි මාධ්‍ය වාර්තා කළේ. ඒව වෙන්කරල පෙන්වන්න මාධ්‍ය සමත් වුණේ නැහැ. මේ නිසා සමාජය තුළ අනවශ්‍ය භීතියක් ඇතිවුණා. රටේ හැමතැනින්ම ආයුධ හොයාගන්නකොට අරාජිකත්වයක් රටේ තිබෙන බවට වැරදි මතයක් සමාජගත වුණා. සහරාන්ගෙත් අනෙක් ත්‍රස්තවාදීන්ගෙත් ඡායාරූප දිගින් දිගටම මාධ්‍ය වාර්තා කළා. මේ ප්‍රසිද්ධිය ඔවුන් බලාපොරොත්තු වෙන්නත් ඇති. ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදුන්නා. නවසීලන්තයෙ පල්ලියට ප්‍රහාර එල්ල කරපු අයගෙ නමවත් එරට මාධ්‍ය ප්‍රචාරය කළේ නැහැ.

ඡායා - දුෂ්මන්ත මායාදුන්නෙ

නව අදහස දක්වන්න