ගිනි ඇවිලෙනසුලුයි! | දිනමිණ

ගිනි ඇවිලෙනසුලුයි!

පැතිර යන මහා ගින්නක් මර්දනය කළ හැක්කේ කෙසේ ද? උපාය මාර්ගය ඉතා පැහැදිලි ය. පළමුව ගින්න නිවීමට අදාළ ජලය හා රසායනික යෙදිය යුතුය. දෙවනුව වහා ගිනි ඇවිලෙනසුලු දේවල් ගින්නෙන් ඉවත් කර තැබිය යුතුය. ජාතිවාදය, ආගම්වාදය හා ඒවාට අදාළ ගැටුම් ගින්නක් ලෙස අර්ථ ගැන්වුවහොත් ඊට සම්බන්ධ වහා ගිනි ඇවිලෙනසුලු දේවල් ලෙස අසත්‍ය - කටකතා, සමාජ මාධ්‍ය ප්‍රබන්ධ සංවිධානාත්මක කණ්ඩායම්, ජාතිවාදී හා ආගම්වාදී අදහස් ආදිය හඳුන්වා දිය හැකි ය. මේවා මැඩපැවැත්වීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් වන්නා සේම එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට අර්ථගැන්විය හැකි ස්වාභාවයක් ද තිබේ.

ගැටුම්වලට සම්බන්ධ වහා ගිනි අවුළුවනසුලු දේවල් නීතිය මඟින් වළක්වා ගැනීමට රජය උපරිම උත්සාහයක් දරන බව පෙනෙයි. එය සාධනීය ලක්ෂණයකි. රජය එය පියවරෙන් - පියවරට ඉදිරියට ගෙන යන බවක් ද පෙනෙන්නට තිබේ. මෙවැන්නක් ඉටුකළ හැක්කේ පියවරෙන් - පියවරට බවද පිළිගත හැකි ය. සංවිධානාත්මක ලෙස අසත්‍ය දේවල් හා මතවාද ප්‍රචාරය කරන අය ගැන නිරීක්ෂණය කිරීමට අලුත් පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ. එම අංශයට අදාළ තාක්ෂණික මෙවලම් ලබාදීමටද නියමිත ය. ගිනි අවුළුවනසුලු අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරන අය ද ඒවා ප්‍රචාරය කරන අය ද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කොට වරදකරුවන් සඳහා වසර පහකට නොඅඩු සිර දඬුවමක් ලබාදීමටද නීති සැකසී ඇත.

රටක් හා සමාජයක් යහමඟට ගනු ලබන නීති - රීති කලින් - කලට වෙනස් විය යුතු ය. පරණ නීති හා සම්ප්‍රදායයන් අභිබවා යා හැකි සංකීර්ණ දේවල් නූතන සමාජය තුළ සිදුවෙයි. තාක්ෂණයේ දියුණුව, සන්නිවේදනයේ ව්‍යාප්තිය හා මිනිස් සමාජයේ භාවිතාවන් වෙනස්වීමද මේ කෙරෙහි තදින් බලපායි. සමාජ මාධ්‍ය නිදසුනකට ගතහොත්; ඒවාට ආචාර ධර්ම නැත. නියාමනයක් ද නැත. ඒවා අවහිර කිරීම ද දුෂ්කරය. එක තාක්ෂණික ක්‍රමවේදයකින් ඒවා අවහිර කිරීමට ක්‍රියාකරන අතර තව තාක්ෂණික ක්‍රමවේදයකින් ඒවාට පිවිසිය හැකි ය. මේවා අවහිර කිරීම අසීරුවන්නේ එනිසා ය. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය නිර්මාණය කරන අය ද සමාජය පොලඹවන අය ද හඳුනාගත හැකි ය.

පසුගිය දා මිනුවන්ගොඩ හා වයඹ ප්‍රදේශයේ ද පැතිර ගිය කලබලවලට හේතුව සංවිධානාත්මක කල්ලි කිහිපයක් බව සොයාගෙන තිබේ. එම ප්‍රදේශවලට බැහැර සිට කඩාවැදුණු සංවිධානාත්මක කල්ලි පහරදීම් සිදුකර ඇත. ඔවුන් කටකතා හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන රටපුරා මෙබඳු පහරදීම් ඇතිකිරීමට උත්සාහ දරා ඇති බවද සොයාගෙන තිබේ. මේ වන විට අදාළ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුවෙයි. සංවිධානාත්මක කල්ලිවලට නායකත්වය හා මඟපෙන්වීම සිදුකරනු ලබන්නේ දේශපාලකයන් බව ද හෙළිදරව් වී ඇත. මේ අය තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් ය.

ඉරිදා පුවත්පත් කිහිපයක්ම පෙන්වා දී තිබූ ආකාරයට ඇතැම් පොලිස් නිලධාරියෝ සංවිධානාත්මක කල්ලිවලට මෙන්ම එහි නායකත්වයට ද සහයෝගය ලබාදෙති. අත්අඩංගුවේ සිටින අය නිදහස් කරගැනීම සඳහා ද ඇතැම් පරීක්ෂණ අවුල් කිරීම සඳහා ද ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇත. ඒ ගැන ද පරීක්ෂණ වෙනම පැවැත්වෙයි. ඇතැම් පොලිස් නිලධාරීන් ඉහත කල්ලි වෙතින් ද, එම කල්ලිවලට මූල්‍ය සහාය ලබාදෙන සල්ලිකාරයන් වෙතින් ද විවිධ සන්තෝෂම් ලබාගෙන ඇති බවක් ද වාර්තා වී ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමට හා වරදකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින අයම නීතිය උල්ලංඝනය කරත් නම්; රටට දෙවියන්ගේ පිහිට මිස නීතියේ පිහිටක් ලැබෙන්නට ඉඩක් නැත.

මේවා සියල්ල ගත් කල සංකීර්ණ ජාලයක් අප හමුවේ පවතී. අසත්‍ය ප්‍රවෘත්ති මැවීම, කටකතා පැතිරවීම, මතවාද සංවිධානාත්මක ලෙස සමාජයේ ව්‍යාප්ත කිරීම පමණක් නොව; ජාතිවාදය හා ආගම්වාදය පදනම් කරගත් ක්‍රියාකාරකම් සිදුකිරීමත් එක අතෙකින් දකින්නට ලැබේ. තව අතෙකින් සමාජයේ සාමාන්‍ය පැවත්මට බාධා වන ලෙස භීතිය හා අවිශ්වාසය පතුරුවනු ලැබේ. මේවා සිදුවන්නේ රහසිගතව එහෙත් ශක්තිමත් ලෙසට ය. පාසලක් අසලින් බෝම්බ හසුවන්නට සැලැස්වීමත් මේ ක්‍රියාදාමයේ එක්තරා ජවනිකාවක් ලෙස සැලැකිය හැකි ය. දිගට ම පාසල් වසා තබා රට අස්ථාවර බව ලෝකයට සනාථ කිරීම එහි ඉලක්කය බව පෙනී යයි. බෝම්බ සිද්ධියට අදාළ එක් සැකකරුවකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ අතිශය සංවේදී අවස්ථාවකට යැයි කියන්නට පුළුවන. ජාතිය, ආගම, ආර්ථිකය, දේශපාලනය යන විෂය ක්ෂේත්‍ර ගණනාවක් මේ සිද්ධීන් පසුපස ඇත. විශේෂයෙන් එම සිද්ධියේ පශ්චාද් සමය තුළ දේශපාලකයන් විශේෂයෙන් ම තම හැසිරීම් හා වචන භාවිතයන් මනා සේ සකස් කර ගත යුතු ය. එහෙත් දේශපාලකයන් එසේ කරන බවක් දකින්නට නැත. කෙනකු ජාතියේ හා ආගමේ සාමය වෙනුවෙන් ක්‍රියා කරන අතර කෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරති. තත්ත්වය කෙසේ වුව දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා බවක් පෙනෙන්නට නැත. සමහර දේශපාලකයෝ රූපවාහිනී සාකච්ඡා ඔස්සේද බොරු වපුරති.

නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වන්නේ නම්; ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන දේශපාලකයන් ද අත්අඩංගුවට ගත යුතු ය. සාමාන්‍ය පුද්ගලයකුට වඩා බලපෑම්කාරී ලෙස දේශපාලකයකුට ක්‍රියා කළ හැකි ය. ඔහුට අනුගාමිකයෝ විශාල පිරිසක් ද සිටිති. තවත් අතෙකින් රටපුරා එක නීතියක් පැවැතීම ද වැදගත් ය. ආගම, ජාතිය, පළාත පදනම් කොට නීතිය සංස්කරණයට ලක්වන්නේ නම්; එතැන නීතිය පොදුවන්නේ නැත. එංගලන්තයේ නීති සම්ප්‍රදාය එරට සියලුම පුරවැසියන් සඳහා එක සමානව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවටද එබඳු පොදු නීතියක් පැවැතීම වැදගත් ය. උතුරට එක නීති සම්ප්‍රදායයක් දකුණට තව නීති - සම්ප්‍රදායයක් ලෙසින් එය වෙනස්විය යුතු නැත.


නව අදහස දක්වන්න