ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද පිටියේ | දිනමිණ

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද පිටියේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල සහභාගීවන අවසන් පුහුණු තරගය අද (27) ඔස්ට්‍රේලියාවට එරෙහිව සදම්ටන්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් මේ වනවිට පිතිකරණයෙන් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති අතර සෙසු පිතිකරුවන්ට ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කරන අවසන් අවස්ථාව වන අද දිනයේදී වැඩි යමක් කිරීමට සිදුවනු ඇත.

පන්දු යවන්නන්ද තම දස්කම් මුහුවත් කර ගැනීමට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුව තිබේ. අයී.පී.එල් තරගාවලියට එක්වීමෙන් පසු දින 10 විවේකයක් ලබාගත් ලසිත් මාලිංග අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ඔහු පෙරේදා එංගලන්තය බලා පිටත්ව ගගොසද් තිබිණි. ඔහු ස්කොට්ලන්ත සමග පැවැති තරග 2කින් සමන්විත තරගාවලියට සහ දකුණු අප්‍රිකාව සමගින් පැවැති පළමු පුහුණු තරගයට එක්නොවුණි.

මේ අතර පළමු පුහුණු තරගයේදී ආබාධයන්ට ලක්වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගේ ආබාධ තත්ත්වයන් එතරම් බරපතළ නොවන බව එම තරගයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න පවසා තිබිණි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාද අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 87කින් පරාජය පත්විය.

මේ තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්කළ දකුණු අප්‍රිකානුවෝ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 338ක් රැස්කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලට දවාගත හැකිවූයේ කඩුලු 7ක් පමණි.

එහිදී ජෙෆ්රි වැන්ඩසේ දැඩි ප්‍රහාරයකට ලක්විය.

ඇන්ඩිල් පෙලුක්වායෝ ප්‍රමුඛ පන්දු යවන්නන් හමුවේ පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 251ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යළිත් වරක් ක්‍රියාත්මකවූ නායක දිමුත් කරුණාරත්න පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 87ක් ඉනිමට එක්කළ අතර ඇන්ජලෝ මැතිව්ස්ද පන්දු 66කින් ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය. කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 37ක් ඉනිමට එක්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකිවූහ.

ඇෆ්ගනිස්තානයට ජය

ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගිවූ පළමු පුහුණු තරගයෙන් පාකිස්තානයට පරදවා කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

බාබාර් අසාම් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් රැස්කළ ලකුණු 112 හේතුවෙන් බිස්ටල්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 262ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් බිඳ වැටී තිබියදීය.

ජයග්‍රාහී ඇෆ්ගනිස්තාන පිල වෙනුවෙන් හෂ්මතුල්ලා ශහිඩි නොදැවී ලකුණු 74ක් සහ හස්රතුල්ලා සසාල් ලකුණු 49ක් රැස් කළහ.

ඉන්දියාව පරදී

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සමබරම කණ්ඩායම ලෙස හැඳින්වෙන ඉන්දියානු කණ්ඩාය පුහුණු තරගයේදී පරාජය කරමින් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට නවසීන්තයට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 39.2කදී ලකුණු 179කට සීමා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 37.1කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 4ක් දැවී තිබියදීය.

රොස් ටේලර් ලකුණු 71ක් සහ නායක කේන් විලියම්සන් ලකුණු 67ක් නවසීලන්ත ඉනිමට එක්කළ අතර රවීන්ද්‍ර ජඩේජා ලකුණු 54ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

එංගලන්තයටත් පරාජයක්

ස්ටීවන් ස්මිත්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් සදම්ටන්හිදී පැවැති පුහුණු තරගයෙන් සත්කාරක එංගලන්තය පරදවා ලකුණු 12ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 297ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය එංගලන්තයට ඕවර 49.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 285ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 116ක් රැස්කළ අතර එංගලන්තය වෙනුවෙන් ජේම්ස් වින්ස් (64) සහ ජොස් බට්ලර් (52) අර්ධ ශතක රැස් කළහ.

ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්තය සහභාගීවන දෙවැනි පුහුණු තරගය අද ඇෆ්ගනිස්තානය සමගින් ලන්ඩන්හිදී පැවැත්වේ.


නව අදහස දක්වන්න