බෙහෙත් - වෛද්‍ය උපකරණ මිලට ගැනීම විද්යුත් ප්‍රසම්පාදන ක්‍රමයට | දිනමිණ

බෙහෙත් - වෛද්‍ය උපකරණ මිලට ගැනීම විද්යුත් ප්‍රසම්පාදන ක්‍රමයට

සන්ධ්‍යා කරුණාරත්න

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය (E-procurement) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විද්‍යුත් ප්‍රසම්පාදනය ක්‍රියාවට නැංවීමෙන් දූෂණ හා වංචා අවම කර ගැනීමට හැකි වන බවත් මාස නවයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙමඟින් මාස තුනකටත් අඩු කාලයකින් කර ගත හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ආයුර්වේද ඖෂධ සංස්ථාව, ත්‍රිපෝෂ සමාගම යනාදි ආයතන තුළ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රථමයෙන්ම ක්‍රියාවට නැංවීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් විදේශීය සංචාර සඳහා යොමු කළ වෛද්‍යවරුන්ගේ සංචාරවලින් ලබාගත් දැනුම පිළිබඳ විස්තර ලබා ගැනීමට ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් ඖෂධ හා වෛද්‍ය උපකරණ කඩිනමින් මිල දී ගත හැකි බවත් වත්මන් රජය බලයට පත්වීමට පෙර ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මාස 09 ක කාලයක් ගත වූ බවත් ඇමැතිවරයා කීය.

ඉන්දියාව, මැලේසියාව වැනි රටවල සෞඛ්‍ය සේවාව තුළ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා පැවැසුවේය.

විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන්ට විදේශ පුහුණුවක් ද ලබාදීමට නියමිත අතර අදාළ නිලධාරීන් කණ්ඩායම චීනයේ පුහුණුවකට යොමු කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, අතිරේක ලේකම් වෛද්‍ය ගීතාමනී කරුණාරත්න, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහත්ම මහත්මීහු සහභාගි වූහ.

නව අදහස දක්වන්න