බුර්කා විරෝධයේ කාන්තා හිංසනය | දිනමිණ

බුර්කා විරෝධයේ කාන්තා හිංසනය

අධි නීතීඥ ලාල් විජේනායක

පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ මුහුණ ආවරණය වන පරිදි මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන බුර්කාව සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වූයේ එමඟින් අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකි වේ යැයි කියන තර්කයත් සමඟය. ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයත් සමඟ මෙරට මුස්ලිම් ජනතාව තරමක් බියට පත්වූයේ සිංහල බෞද්ධ හා ක්‍රිස්තියානි ජනතාවගෙන් ඔවුන්ට යම් හිරිහැරයක් වේදෝයි යන සැකය හේතුවෙනි. ඉස්ලාම් ආගමික ස්ථාන හා නිවාසවලින් කඩු හා පිහි හමුවීමත් සමඟ ඔවුන්ගේ මෙම බිය හා සැකය දෙගුණ තෙගුණ විය.

මේ තුළ මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතැමුන් නීතිය අතට ගෙන ක්‍රියා කරන තත්ත්වයක් පවා දක්නට ලැබිණි. මෙහි ප්‍රබලතම ගොදුරක් බවට පත්වූයේ මුස්ලිම් ජාතික කාන්තාවන්ය. එතෙක් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන ඇඳුම් අැඳි මුස්ලිම් කාන්තාවන්ට සමාජයේ විවිධ ස්ථානවලදී මුහුණු ආවරණ ඉවත් කරන ලෙස බලපෑම් එල්ලවන ස්වභාවයක් පැහැදිලිව දක්නට ලැබිණි.

පෞද්ගලික නිදහස

බෞද්ධාගමික නායකයින් ද බුර්කාව තහනම් කරන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කළ අතර සමාජය තුළ ඒ වනවිටත් පැන නගිමින් තිබූ අර්බුද හමුවේ මුස්ලිම් ජනතාවද ඒ සම්බන්ධයෙන් කිසියම් වූ අනුකූලතාවක් දක්වන්නට වූහ.

මෙම පසුබිම තුළ රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් බුර්කාව හා නිකාබය ඇඳීම තහනම් කරනු ලැබීය. පුද්ගල අනන්‍යතාව හඳුනාගත නොහැකි එම ඇඳුම් තහනම් කර තිබුණද හිජාබ්, චදෝර්, ෂයිලා, අල් අමීරා හා බිමාර් යන මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන කන් වැසෙන නමුත් මුහුණ නිරාවරණය වී තිබෙන ඇඳුම් තහනම් කර නොමැත. එසේ වුවත් එවැනි ඇඳුම් අඳිනු ලබන කාන්තාවන්ටද සමාජයේ ඇතැම් කොටස්වලින් විරෝධයක් එල්ල වෙමින් තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.

මෙරට මුලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එහි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අදාළ විධි විධාන අනුව පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය ගරුකළ යුතුව තිබේ. පුද්ගලයකුට තමන්ට අභිමත ආකාරයට තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යෑමට, තමන්ගේ ඇඳුම පැලඳුම් තෝරා ගැනීමටත්, කන බොන ආකාරය පිළිබඳ තීරණ ගැනීමටත් එමඟින් අවකාශ සලසා ඇත. එසේ වුවත් එම තීන්දු තීරණ වෙනත් අයකුගේ, වෙනත් පුද්ගලයකුගේ අයිතිවාසිකම් හා ගැටීමට ලක් නොවිය යුතුය. එමෙන්ම එය රටේ පවතින නීතියට අනුකූලවීම ද අනිවාර්ය අවශ්‍යතාවකි. මේ අනුව මුස්ලිම් ජාතික කාන්තාවන්ට ඉහත නීතීන්ට යටත්ව තමන් කැමැති ඇඳුමක් ඇඳීමට පුළුවන.

රටේ පවතින තත්ත්වය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. පුද්ගලයින් හඳුනාගැනීම මෙහිදී වැදගත් හා අත්‍යවශ්‍ය කාරණයකි. මෙම පසුබිම තුළ අඳින ඇඳුම හේතුවෙන් යමකුගේ අනන්‍යතාව හඳුනාගැනීමට බාහිර පාර්ශ්වයන්ට නොහැකි වන්නේ නම් එතැන මතු වන්නේ ගැටලුවකි. රටේ පවතින තත්ත්වය තුළ එය ඇත්තෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. එවැනි ඇඳුමක් අඳින අයකුට ඒ සඳහා ඉඩක් නොදීම තුළින් කිසිසේත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන්නේ නැත. එසේ වුවත් නීතියෙන් තහනම් කර නොමැති ඇඳුමක් ඇඳ සිටින අයකුට එය ගලවා ඉවත් කරන ලෙස බලපෑම් කිරීම නීතියෙන් වරදකි.

ගැසට් නිවේදනය

මුස්ලිම් කාන්තාවන් තමන්ගේ ඇඳුම්, මුහුණ නිරාවරණය වනසේ සකස් කර ගත යුතුය යන්න සාධාරණ ඉල්ලීමකි. එයට කිසිවකුට හෝ එරෙහි වීමේ කිසිදු සාධාරණ අයිතියක් නොමැත. රජය මගින් මුලින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කන් පවා නොවැසෙන සේ ඇඳුම සකස් විය යුතු බව දක්වා තිබුණද පසුව එය කන් වැසීම කළ හැකි බවට සංශෝධනය කර තිබිණි. එම කොන්දේසි අනුගමනය කරමින් තමන්ගේ ඇඳුම් සකස් කර ගැනීම මුස්ලිම් කාන්තාවන්ගේ වගකීම වන අතර එවැනි ආකාරයෙන් ඇඳුම් අඳින අයට නිදහසේ එය ඇඳ සිටීමට අවකාශ සැලසීම අනෙකුත් සියලු ජනතාවගේ යුතුකමය.

රජයේ ගැසට් නිවේදනයක් මගින් තහනම් කර තිබෙන ඇඳුම්වලට අමතරව වෙනත් ඇඳුම් සම්බන්ධයෙන් ඒවා අඳින ජනතාවට කොන්දේසි පැනවීමට කිසිවකුටත් නොහැකිය. කන් විවෘත වන සේ ඇඳුම් අඳින ලෙස මුස්ලිම් ජාතික කාන්තාවන්ට යම් යම් ස්ථාන වලදී බලපෑම් එල්ලවන තත්ත්වයක් දක්නට ලැබෙන අතර එය ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි. සදාචාරය හා සාරධර්ම කඩනොකර යම් අයකු රටේ නීතියටද එකඟව ඇඳුම් අඳින්නේ නම් එය ප්‍රශ්න කිරීමේ අයිතියක් කිසිවකුට හෝ නොමැත.

අන්තවාදයට උඩ ගෙඩි දීම

අහිංසක දෙමළ ජනතාවට පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් පමණක් නොව ජනතාවගෙන්ද හිරිහැර සිදුවෙද්දී ඔවුන් අවසානයේ නතර වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් බවට පත් වෙමිනි. එම වරද නැවත වරක් ශ්‍රී ලාංකිකයන් විසින් කළ යුතුද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය.ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව සිටින මුස්ලිම් ජනතාව පොදු සමාජය වෙත අන්තර්ග්‍රහණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. යම් යම් පුද්ගල කණ්ඩායම්වල අනවශ්‍ය ක්‍රියා තුළින් ඔවුන් තව තවත් හුදෙකලා කරමින් පොදු සමාජයෙන් දුරස් කරන්නේ නම් ඉන් ඉෂ්ට වන්නේ අන්තවාදී කණ්ඩායම්වල අපේක්ෂාවන් පමණි. මෙහි අනිසි ප්‍රතිඵල ඉදිරියේදී සියලු ජනතාවට අත්විඳීමට සිදුවනු නොඅනුමානය. යම් ජන කොටසකට වෙනස් කොට සලකමින් පීඩාවට පත් කිරීමේදී ඔවුන් ඊට කෙලෙස ප්‍රතිචාර දක්වයිද කියන කාරණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මේ සම්බන්ධව ඇති ඓතිහාසික අත්දැකීම් පිළිබඳව සිහියෙන් කල්පනා කර බැලිය යුතු කාලය දැන් එළඹ තිබේ.

අද ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින් බුර්කාව පිළිබඳ ගැටලුව බොර දියේ මාළු බෑමට උපයෝගී කරගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇත. ඒ රජය බුර්කාව තහනම් කිරීම පිණිස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී ප්‍රාදේශීය සභා මගින්ද අදාළ ප්‍රදේශ තුළ බුර්කාව තහනම් කිරීමට යෝජනා සම්මත කර ගන්නා තත්ත්වයක් දක්නට ලැබීම හේතුවෙනි.

අද ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින් බුර්කාව පිළිබඳ ගැටලුව බොර දියේ මාළු බෑමට උපයෝගී කරගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇත. ඒ රජය බුර්කාව තහනම් කිරීම පිණිස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී ප්‍රාදේශීය සභා මගින්ද අදාළ ප්‍රදේශ තුළ බුර්කාව තහනම් කිරීමට යෝජනා සම්මත කර ගන්නා තත්ත්වයක් දක්නට ලැබීම හේතුවෙනි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යවා ජාතිවාදය අවුස්සා ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ පටු අරමුණ ඇතිව කරන්නක් බව ජනතාව වටහා ගත යුතුය. 

මෙය සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යවා ජාතිවාදය අවුස්සා ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ පටු අරමුණ ඇතිව කරන්නක් බව ජනතාව වටහා ගත යුතුය. ඇතැම් මුස්ලිම් ගුරුවරියන සහ කාර්යාල සේවිකාවනට හිජාබය වැනි සම්පූර්ණයෙන් නොවැසෙන ඇඳුම් ඇඳ පාසල්වලට සහ කාර්යාලවලට ඇතුළුවීමට නොදෙන තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ. බුර්කාව හා නිකාබය තහනම් කර ඇතත් හිජාබය තහනම් කර නොමැති බැවින් එක්තරා පැත්තකින් මෙය මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව නීතියට පිටින් ගොස් බලපෑම් කිරීමක් ලෙසින් පෙන්වා දිය හැකිය. නීතියට පිටින් ගොස් තවත් පුද්ගලයකුට එරෙහිව බලය යෙදීම යනු දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදකි. එමෙන්ම එය මූලික අයිතිවාසිකම් කඩකිරීමකි.

දේශපාලන ගැට

මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳ ප්‍රශ්නය දේශපාලනය සඳහා පාවිච්චි කරන ස්වරූපයක් දැන් පැහැදිලිව දක්නට ලැබෙයි. මුස්ලිම් ජනතාවට බලපෑම් එල්ල කරන ප්‍රමාණය වැඩිවන තරමට තමන්ගේ සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩි වෙතැයි එසේ බලපෑම් කරන දේශපාලනඥයෝ සිතති. මේ නිසා ඔවුන් බුර්කාව හා නිකාබය පමණක් තහනම් කර තිබෙන බව දැන දැනම හිජාබයටද විරෝධතාව දක්වති. මෙමඟින් අනවශ්‍ය ලෙස සිංහල සමාජයේ මෙන්ම මුස්ලිම් සමාජයේද කැළඹීමක් ඇති වනු නොඅනුමානය. මෙම සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන්ගේ අවශ්‍යතාව වන්නේද සමාජය තුළ එවැනි කැළඹීමක් ඇති කිරීමය.

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම කණ්ඩායම තමන් බව කියා පාන්නට මොවුන් ගන්නා උත්සාහය ඇත්තෙන්ම නිර්ලජ්ජිතය. මෙවැනි ක්‍රියා මගින් සිදු වන්නේ සමාජයේ ආරක්ෂා වී පවතින සංහිඳියාව තව තවත් විනාශ වී යාමය.

මුස්ලිම් ජනතාවට හිරිහැර කිරීම තුළින් සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩි වෙතැයි යමකු අපේක්ෂා කරන්නේ නම් එය මුළාවකි. එය එක් පැත්තකින් සිංහල බෞද්ධ ජනතාවට කරන්නා වූ අපහාසයකි. ඉස්ලාම් අන්තවාදය පරාජය කළ යුත්තේ බෞද්ධයින් ද අන්තවාදයට තල්ලු කිරීමෙන් නොවේ. පටු දේශපාලන වාසි වෙනුවෙන් පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය භාවිත කරන්නට සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් උත්සාහ කරන්නේ නම් අවසානයේ සිදු වන්නේ ඉස්ලාම් අන්තවාදය තව තවත් ශක්තිමත් වීම පමණි.

සටහන
අසේල කුරුළුවංශ 


නව අදහස දක්වන්න