කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගොවියාට සන්නිවේදනය වන යාන්ත්‍රණය කඩිනම්ව සැකසිය යුතුයි | දිනමිණ

කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගොවියාට සන්නිවේදනය වන යාන්ත්‍රණය කඩිනම්ව සැකසිය යුතුයි

තකට සීමා නොවී ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගොවි ජනතාව වෙත සන්නිවේදනය විය යුතු යාන්ත්‍රණය කඩිනම්ව සැකසිය යුතු යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති ජාතික ප්‍රතිකර්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීමේ වැඩමුළුවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහදාහක් විතර ඉන්නවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහදාහක් ද, කෘෂි විද්‍යාඥයන් ද බොහෝමයක් ඉන්නවා. ඊට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් මේ සඳහා කැප වු නිලධාරීන් බොහොමයක් ඉන්නවා. අපි පොහොර සහනාධාරයට බිලියන තිස්පහක් වියදම් කරනවා. නිලධාරීන්ට වේතන සඳහා වගේම සහනාධාර උපදේශ ඇතුළු කෘෂි ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන සියයක් රජයේ වියදම් කරනවා. නමුත් නිසි කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හෝ කෘෂි දත්ත යාන්ත්‍රණයක් නිදහසින් පසුව තවම රටේ නිර්මාණය වෙලා නෑ. දක්ෂතා පරිපූර්ණ නිලධාරීන් සිටියත් ඔවුන්ගෙන් නිසි ප‍්‍රයෝජන ලබාගෙන නෑ.

මුං ඇට, කව්පි, උඳු, කුරක්කන් තවමත් අපි පිටරටින් ගෙන්වනවා. අපි බිලියන සියයක් වියදම් කරනවා කෘෂිකර්මය නඟා සිටුවීමට. දැන් බලන්න වට්ටක්කා මෙට්‍රික් ටොන් දහදාහක අවශ්‍යතාවක් රටේ තිබෙනවා. විසි දාහක් රටේ වගා කරනවා. අවශ්‍යතාවට වඩා වගා කර ගොවියා අමාරුවේ වැටෙනවා. මේ රටේ රට කජු අවශ්‍යතාව විසි දාහක් නම් වගා කරන්නේ දහදාහයි. ඉතිරිය පිටරටින් ගෙන්වනවා. ඒ ඇයි. රටේ හරි දත්ත නැති නිසා. අවශ්‍ය ප්‍රමාණයට වගා කළා නම් ගොවියාත් රජයත් අපහසුතාවට ලක් වෙන්නේ නෑ.

වියළි කලාපීය ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හරිම අඩුයි. නමුත් අපි මාස තුනක් හතරක් වී වගා කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කර සොයාගෙන තිබෙනවා මාස දෙක හමාරකට අඩු කාලයකින් අස්වැන්න ලබා ගත හැකි වී වර්ග. නමුත් ගොවියා ඒ ගැන දන්නේ නෑ. ඇතැම් විදේශීය රටවල් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා ජල ප‍්‍රමාණය වගේම පොහොර ප‍්‍රමාණය අපි යොදවන ප‍්‍රමාණය මෙන් හතර ගුණයක් අඩුයි.

ඇතැම් උදවිය රටේ වෙනත් නිෂ්පාදන සිදු කරන්න පොහොර සහනාධාරයට ලබාදෙන පොහොර කූට ලෙස භාවිත කරනවා. එය රජයට ගැටලුවක්. මට අවශ්‍ය කාරණා තුනයි. ඒ තාමත් අපි ආනයනය කරන කෘෂිකාර්මික බෝග නිෂ්පාදන අපි මේ රටේදීම නිෂ්පාදනය කළ යුතුයි. කෘෂි කර්මාන්තයට ඉඩම් යොදා ගැනීමේ දී එය කළමනාකාරීත්වයෙන් යුතුව යොදා ගත යුතුයි. ඒ වගේම කෘෂි ක්ෂේත්‍රයේ සෑම නිලධාරියකුගෙන් ම ප්‍රයෝජන ලබාගෙන ගොවියාගේ සිට අමාත්‍යාංශය ලේකම් දක්වා සන්නිවේදනය වන ජාලයක් සෑදිය යුතුයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. වීරකෝන්, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරකෝන් මහත්වරු ද, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරු ද, අධ්‍යක්ෂවරු ද, කෘෂි විද්‍යාඥයෝ දමේ අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න