උතුරුමැද අපනයන කෘෂි භෝග වගාව නැංවීමට පියවර | දිනමිණ

උතුරුමැද අපනයන කෘෂි භෝග වගාව නැංවීමට පියවර

ගම් මිරිස්-පුවක්-කුරුඳු වගාවට මුල්තැන

ගම් මිරිස් වගාවට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් පුවක් හා කුරුඳු වගාව උතුරු මැද පළාතේ ප්‍රචලිත කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පියවර ගෙන ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපනයන කෘෂි බෝග වගා රටාව පිළිබඳ ‘දිනමිණ‘ ට අදහස් පළ කළ දිස්ත්‍රික් වගා ව්‍යාප්ති නිලධාරී චාමින්ද සෙනෙවිරත්න මහතා ගම් මිරිස් වගාවට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව පැවැසීය.

අනුරාධපුරය අයත්වන වියළි කලාපයේ පස මදක් රතු දුඹුරු පැහැයෙන් යුක්තයි. මේ කලාපය තුළ වර්ෂාපතනය මි.මී. 1750 මට්ටමේ පවතිනවා. මේ නිසා පසට හා බෝගයට ගැළපෙන වාරිමාර්ග ක්‍රමවේදයක් අවශ්‍යයයි. අනෙක් ගැටලුව වී තිබෙන්නේ මාස් කන්නයේ වැස්ස අවසානයේ විශාල වශයෙන් පොළොව මත ජලය කලක් මුලුල්ලේ රැඳී තිබෙනවා. මේ පරිසරය ගම් මිරිස් වගාවට ඉතා අහිත කරයි.

මේ නිසා උසට පාත්ති සකස්කර බැරලයක් ආකාරයට ගම් මිරිස් වැල් ඉහළට ගෙන යෑමේ පෙප්සිකා (PEPCYKA) වගා රටාව අනුරාධපුර දිස්ත්‍රික්ක‍‍ය තුළ සාර්ථකව අත්හදා බලා තිබෙනවා. අපනයන බෝග වගා ව්‍යාපෘති නිලධාරියකුව සේවය කරන අතරතුරදී අභාවප්‍රාප්ත වූ එස්. එච්. කරුණාරත්න මහතාගේ සොයා ගැනීමක් නිසා මේ නාමය යොදා තිබෙනවා. සේනාරත්න මහතා වැඩි දුරටත් පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ගම්මානයේ ආර්. සෝමා ගෙවිලිය මේ ක්‍රමය යටතේ 2016 දී ගම් මිරිස් පැළ 80 ක් ‘ධනසවිය‘ වැඩසටහන යටතේ සිටුවා 2018 අප්‍රේල් මාසය මුල් අස්වැන්න ලබා ගෙන ඇති අතර, 2018 දෙසැම්බර් අග කිලෝ 70ක අස්වැන්නක් ලබා ගැනීමට සමත්ව සිටී. ලබන ජූනි/ ජූලි වන විට ඇයට මේ පෙප්සිකා ගම් මිරිස් වගාවෙන් ගම් මිරිස් කිලෝ 175ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වනු ඇති බව සෙනෙවිරත්න මහතා පැවැසීය.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම් මිරිස් ගෙවතු 890ක් කුරුඳු ගෙවතු 27 ක් පුවක් ගෙවතු 30 ක් ආරම්භ කර ඇත. පැළ අවශ්‍යතාවෙන් 50% ක් නොමිලේ ගොවීන් හට ලබා දෙන බව ද ඔහු පැවැසීය. මේ වසර තුළ දිස්ත්‍රික්කයේ පුවක් පැළ 20000ක් වගා කිරීමේ වැඩසටහනක් ද දියත් කොට ඇත.

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ

 

 

 

නව අදහස දක්වන්න