නිවාස ඇමැති සජිත් සියොන් දෙව්මැඳුර නිරීක්ෂණයේ | දිනමිණ


 

නිවාස ඇමැති සජිත් සියොන් දෙව්මැඳුර නිරීක්ෂණයේ

අප්‍රේල් මස 21 වැනිදා ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව විනාශයට පත් මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණය කිරීමට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (01) එහි ගියේය. අනතුරුව එහිදී විපතට පත් පවුල්වල සාමාජිකයන් හමුවී ඔවුන් වෙත සිය ශෝකය පළකළ අමාත්‍යවරයා එම පවුල්වල ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කළේය. දේවස්ථානයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවකටද එහිදී අමාත්‍යවරයා සහභාගී විය. එහිදී අමාත්‍යවරයා මෙසේ කීවේය.

“මරාගෙන මැරෙන බෝම්බකරුවකු කළ විනාශය නිසා නැතිවූ ජීවිත නැවත ලබාගත නොහැකියි. ඒ ජීවිතවල වටිනාකම මුදලින් තක්සේරු කරන්නට බැහැ. මේ සිද්ධියෙන් පවුල් 22කට අයත් පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත නැති වුණා. විපතට පත්වූ පවුල්වල සියලු දෙනා එයින් වාවාගත නොහැකි දුකකට පත්වුණා. එය මට හොඳින් අවබෝධ කරගත හැකියි. මන්ද, මගේ පියාද මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් ඝාතනය වුණු අවස්ථාවේ එවැනිම කම්පනයකට හා දුකකට මා පත්වුණු නිසයි.

ඒ දුක තවමත් අපට ඉතිරි වී තිබෙනවා. විපතට පත් සියලු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප නීති - රීති රෙගුලාසිවලට යටත් නොවී සීමා විරහිතව උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. විපතට පත් පවුල් වෙනුවෙන් සිය අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් විශේෂ සමාජ සජිවීකරණ වැඩසටහන් 6ක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා එහිදී දන්වා සිටියේය. ඒ අනුව “ප්‍රජා සවිය”, “දෑත සවිය”, “නිපුණ සවිය”, “දැය සවිය”, “දිරිය සවිය” සහ “දිරිය නිවස” යනුවෙන් සය වැදෑරුම් විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ විපතට පත් පවුලෙන් පවුල හෝ පුද්ගලයාගෙන් පුද්ගලයා වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඒවාට ප්‍රමුඛතා පදනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

සිද්ධියෙන් විපතට පත් තමන්ගේම යයි කිවහැකි නිවසක් හෝ ඉඩමක් ‍ෙනාමැති පවුල් 22ක් වෙනුවෙන් මන්මුනෙයි උතුර ප්‍රදේශයේ විශේෂ උදා ගම්මානයක් ඉදිකරන අතර එහි පූර්ණ වියදම අමාත්‍යාංශය විසින් දරනු ඇත.

මෙහිදී රුපියල් මිලියන 43 ක වියදමින් සිදුකිරීමට නියමිත දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ හා නව ඉදිකිරීම් කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා‍ෙග් ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට සියෝන් දේවස්ථානය භාර රොෂාන් දේවේන්ද්‍ර දේවගැතිතුමා සමඟ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අලිසහීර් මව්ලානා, මඩකලපුව දිසා ලේකම් එම්. උදය කුමාර්, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති ධම්මික දයානන්ද, සහකාර පොලිස් අධිකාරී ඒ. එල්. කුමාරසිරි, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් එම්. දයාදරන්, යුද හමුදාවේ ලුතිනන් කර්නල් එන්.එන්. නන්දික අබේසේකර, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති එම්. ආර්. ජෙයචන්ද්‍රන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති මහසෙන් පැල්පොල, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මිහිරි විපුලගුණ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මඩකලපුව දිස්ත්‍රික් කළමනාකරු කේ. ජෙගනාදන් යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

නව අදහස දක්වන්න