සිංහල ජාතිවාදීන් සහරාන්ලගේ සහෝදරයෝ වගේ | දිනමිණ

සිංහල ජාතිවාදීන් සහරාන්ලගේ සහෝදරයෝ වගේ

රේණුකා මලියගොඩ මානව හිමිකම් ක්‍රියාකාරිනී, ලේකම්-මහනුවර පුරවැසි හවුල සහ අන්තර් ආගමික සම කමිටුව

මහනුවර එක්තරා බාලිකා විදුහලක මුස්ලිම් ගුරුවරියන් පිරිසකට අබාය ඇඳ රාජකාරියට වාර්තා කිරීමට මවුපියන් පිරිසක් ඉඩ නොදීමේ සිද්ධියේදී මානව හිමිකම් කොමිසමට ගොස් එම ගුරුවරියන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කළ ඇය මහනුවර පුරවැසි හවුලේ ලේකම්වරිය ද, අන්තර් ආගමික සාම කමිටුවේ ලේකම්වරිය ද වේ. ලංකා ගුරු සංගමයේ මහනුවර දිස්ත්‍රික් අනුශාසිකාව ලෙසද කටයුතු කරමින් පුරවැසි අයිතීන් වෙනුවෙන් නිරන්තරව මැදිහත්වන ඇය විශ්‍රාමික පාසල් ගුරුවරියකි. නම රේණුකා මලියගොඩය. පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් කාන්තාවන් සමාජය තුළ මුහුණ දී තිබෙන අසීරුතා සම්බන්ධව අදහස් දක්වමින් ඇය එහා ඉවුරට එක්වේ.

* මහනුවර එක්තරා බාලිකා විදුහලක මුස්ලිම් ගුරුවරු පිරිසක් මුහුණ දුන් ප්‍රශ්නයේ දී සිංහල කාන්තාවක් වන ඔබ මැදිහත් වුණේ ඇයි ?

යම් පුද්ගලයකු හෝ පිරිසක් පැහැදිලි ලෙස සමාජ අසාධාරණයකට ලක්ව තිබෙන අවස්ථාවක ඔවුන්ට සහය දීම ජාතිය, ආගම හෝ කුලය බලලා කරන දෙයක් නොවෙයි. අපි හැමෝම මිනිස්සු. ශ්‍රී ලාංකිකයෝ. මෙතනදී අපි මේ අය මුස්ලිම් කියලා පැත්තකට දාලා ඔවුන් දිගින් දිගටම අසාධාරණයට ලක්වෙන අයුරු බලා ඉන්න එක සාධාරණ නෑ. තමන්ට කිසියම් අසාධාරණයක් වෙනවා නම් ඒකට එරෙහිව කතා කරන්නවත් මුස්ලිම් ජනතාවට නොහැකි තත්ත්වයක් අද රටේ තිබෙනවා.

 මොකද පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතිකයින් පිරිසක් සම්බන්ධවීම තුළ සියලු මුස්ලිම් ජනතාව තමන්ට යම් හිරිහැරයක් වෙයි කියලා බියෙන් හා සැකයෙන් ඉන්නේ. ප්‍රශ්නයක් වුණත් ඒ අය දැන් කතා කරන්න බයයි. ප්‍රධාන පෙළේ මුස්ලිම් නායකයින් මේ සම්බන්ධව යම් යම් ප්‍රකාශ කළත් සාමාන්‍ය මුස්ලිම් ජනතාව තුළ මේ සැකය තාමත් පවතිනවා. අන්තවාදී සිංහල කණ්ඩායම් මේ තත්ත්වය පාවිච්චි කරලා සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව බිත්තියට හේත්තු කරන්න උත්සාහ කරනවා. අපි ඒකට විරුද්ධයි. අදාළ බාලිකා විදුහලේ සිදු වුණෙත් ඒ වගේ දෙයක්. එතන පැහැදිලි ලෙසම අසාධාරණයක් තියෙනවා. ඒකයි අපි කණ්ඩායමක් විදිහට මේ ප්‍රශ්නයට මැදිහත් වුණේ.

* ඔබ එම පාසලේ ගුරුවරියක් ලෙස කලක් සේවය කර තිබෙනවා නේද ?

මම 2005 ඉඳලා 2014 වෙනකල් එම පාසලේ සේවය කළා. ඒ කාලය තුළ පෞද්ගලිකව මේ ගුරුවරියන් හඳුනනවා. ඒ අය කිසිම වෙලාවක තවත් කෙනකුට හිංසාවක් කරන්න ලෑස්ති අය නොවෙයි. මේ අය වසර 15 කට වඩා සේවා කාලයක් ඇති රජයේ ගුරුවරු. ඔවුන් කොයි වෙලාවකවත් දරුවන්ට හිංසාවක්වත් පාසලට හානියක්වත් කරන්නේ නැහැ. පළමු වසරේ සිට දහතුන වසර දක්වා එම බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබපු ගුරුවරියක්ද මේ අතර සිටිනවා. පාසලේ ආදි සිසුවියක් පාසලට හානියක් කරයි කියලා හිතන්න බැහැ. අනෙක් කාරණය තමයි ඒ ගොල්ලන්ගේ ආගමික වටිනාකම් තිබෙනවා.

දැන් බෞද්ධයින් ලෙස අපටත් ආගමික හා සංස්කෘතික වටිනාකම් තිබෙනවා. ආගම්වාදී හා ජාතිවාදී හැඟීම්වලට නොගොස් මේ රටේ සංස්කෘතික මිනිසෙක් වුණොත් අපිට පුළුවන් මේ ප්‍රශ්න දෙස මධ්‍යස්ථව බලන්න. අපේ රටේ මොන තරම් විවිධත්වයක් තිබෙනවාද? දැන් විවිධ දේශගුණික තත්ත්වයන් දකින්න ලැබෙනවා. ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සතුන් සහ ගස්වැල් තිබෙනවා. මේ නිසා විවිධත්වයක් ඇති වෙලා. ඒ නිසා මොන තරම් ලස්සනක් රටට ලැබී තිබෙනවාද. එකම වර්ගයේ ගස් තිබුණා නම් එකම වර්ගයේ මුහුණුවර තිබෙන මිනිස්සු විතරක් හිටියා නම් අපිට මේ තරම් ලස්සනක් දකින්න බැහැ.

* මුස්ලිම් ජාතික ගුරුවරු පිරිසක් සාරිය අඳිද්දී මේ අයට විතරක් අබාය අඳින්න ඕන කියන්නේ ඇයි? ගැටුමකට අවශ්‍ය පසුබිම හදන්න ඒ අයත් උත්සාහ කරන බවට චෝදනා එල්ල වෙනවා.

අදාළ පාසලේ ගුරුවරු 17ක් ඉන්නවා. හැමදාමත් දහ දෙනකු හිජාබ් එක දාලා සාරිය ඇන්දා. අනික් හත් දෙනා හිජාබ් එක දාලා අබාය එක ඇන්දා. මම 2005 ඔය පාසලට ආවේ. එදා ඉඳලා මේ අය කළු ඇන්දේ නැහැ. ළාපාට අබාය තමයි ඇන්දේ. මේ ඇඳුමට එදා ඉඳලා මේ සිදුවීම වනතුරු කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. පාස්කු ප්‍රහාරයත් එක්ක රටේ ඇතිවුණු තත්ත්වයත් සමඟ තමයි මේ විරෝධතාව ආවේ. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කෙරෙන බුර්කාව දැන් තහනම් කරලා තිබෙන්නේ. මේ අය එන්නේ මුහුණ වහගෙන නොවෙයි.

එහෙම එද්දී මේ අයට පාසලට එන්න නොදීම සම්පූර්ණයෙන්ම අසාධාරණයි. එක පැත්තකින් මේ තුළින් මේ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. ගුරුවරියක් ලෙස සේවය කරද්දී පාසලේ ඇතිවුණු බොහෝ ප්‍රශ්නවලදී මම නිවැරදි තැන හිට ගත් බව මේ ගුරුවරු දන්නවා. ඒකයි මේ ප්‍රශ්නය ආව වෙලේ ඔවුන් මට කතා කළේ.

*ඔබේ මැදිහත්වීම කොයි ආකාරයටද සිද්ධ වුණේ ?

සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් ලෙස මම සංවිධාන කිහිපයකට සම්බන්ධව වැඩ කරනවා. ඒ අය සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ ප්‍රශ්නයට මැදිහත් වුණේ. මෙයාලා වෙනුවෙන් අපි මුලින්ම කලාප අධ්‍යාපන කාර්යාලයට ගියා. එහි ප්‍රධානියා මුණගැසීමට හැකියාවක් නොලැබුණු නිසා පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ළඟට ගියා. ඒ ඔස්සේ බලධාරීන්ගේ අවධානය මේ ප්‍රශ්නය වෙත යොමු කර ගත්තා. විදුහල්පතිට මම පෞද්ගලිකව කතා කරලා කිව්වා මේක මේ විදිහට ඇදගෙන යන්න එපා. මේ අය අඳින ඇඳුම නීති විරෝධී නැහැ කියලා.

මේ ප්‍රශ්නය තවත් විද්‍යාලයක ගුරුවරු දෙදෙනකුටත් තිබුණා. අධ්‍යාපන කාර්යාලයට විදුහල්පතිවරු ගෙනල්ලා ප්‍රශ්නය කතා කරන කොට ඒ අය බලධාරීන් ඉදිරියේ මුස්ලිම් ගුරුවරුන්ට ඉස්කෝලෙට එන්න දෙන්න එකඟ වෙනවා. ඒත් පාසලට ගියාට පස්සේ ඒ වචනය වෙනස් කරනවා. ගුරුවරු කිහිපදෙනකුත්, ආදි සිසුවියන් පිරිසකුත් පාසලේ කළමනාකරණ මණ්ඩලයත් තමයි මේ විරෝධතාව ගෙනි යන්නේ. විදුහල්පතිගේ දුර්වලතාව නිසා තමයි මේ අය මේ විදිහට කටයුතු කරන්නේ.

* මේ ගුරුවරුන්ට ඇයි සාරිය අඳින්න බැරි ?

මුස්ලිම් කාන්තාවන්ට ඇයි අපි සිංහල සාරිය බලහත්කාරයෙන් අන්දන්නේ. තමන්ගේ සිරුර ආවරණය වෙන විදිහට ඒ අය කාලයක් තිස්සේ ඇඳුම් අඳිනවා. ඒකට කැමති වගේම අකමැති මුස්ලිම් අයත් ඉන්නවා. අපි ඒ දෙපිරිසටම අවස්ථාව දෙන්න ඕන. දැන් මම සිංහල කාන්තාවක් ලෙස සාරිය හෝ ඔසරිය අඳිනවා. මට කිව්වොත් හරි ඔයා ඔය ඇඳුම ගලවලා හිජාබ් එකයි හබයා එකයි අඳින්න කියලා. මම කැමති වෙනවද? අපි කවුරුත් කැමැති නැහැ අකමැති ඇඳුමක් අඳින්න. අපේ රට බහුවාර්ගික රටක්. සිංහල බහුතරය වුණාට දෙමළ හා මුස්ලිම් ජනතාවත් මෙහි ජීවත්වෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. මේ විවිධ ජාතීන්ට ඒ ඒ ආගම් වලට අදාළව විවිධ සංස්කෘතීන් ගොඩනැඟී තිබෙනවා.

ඒවාට එක් එක් අනන්‍යතා තිබෙනවා. අපි මේවා සමඟ එකම රටක ජීවත්වෙනවා නම් මේ අනන්‍යතා පිළිගන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතිය, කුලය හෝ වර්ගය සලකා කාටවත් දෙවැනි කොට සැලකිය නොහැකියි කියලා පැහැදිලිව දක්වා තිබෙනවා මේ ඇඳුම අදින්න පුළුවන් කියලා අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලිව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුම තමයි තහනම් කරලා තිබෙන්නේ. මහනුවර අන්තර් ආගමික කමිටුව මගින් කළ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තවත් චක්‍ර ලේඛනයක් මගින් මෙම ඇඳුම සම්බන්ධව දැනුවත් කිරීමක් කළා. දැන් මෙතන තිබෙන්නේ ඇත්තටම රජයට විරුද්ධව යන වැඩපිළිෙවළක්. මෙහි මුල් මෙහෙයුම කළේ විදුහල්පතිනියයි

* මේ සම්බන්ධයෙන් ඔබට යම් යම් බලපෑම් එල්ල වුණා නේද ?

පාසලේ විශ්‍රාමික ගුරුවරියකට කියලා මාව මේ ක්‍රියාවලියෙන් ඉවත් කරන්න පිරිසක් උත්සාහ කළා. අවසානයේ භික්ෂූන් වහන්සේ නමක් ද කතා කරලා කිව්වා ඇයි සිංහල ජනතාවට විරුද්ධව වැඩ කරන්නේ කියලා. මම මගේ වැඩපිළිවෙළ නතර නොකළ නිසා මගේ ගෙදරට ගල් ගැහුවා. ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න මවුපියන් පිරිසකට කතා කළා. එතනදී කලහකාරී ලෙස හැසිරුණු අයකු පොලිස් අත්අඩංගුවටත් පත්වුණා.

* ආණ්ඩුකාරවරයා, අධ්‍යාපන බලධාරීන්, මානව හිමිකම් කොමිසම ඇතුළු සියලු අංශ සම්බන්ධ වී සිටියත් තාමත් මේ ප්‍රශ්නය විසඳිලා නැහැ නේද ?

මෙතනදී පැහැදිලිව පේන්න තිබෙන්නේ බලධාරීන්ගේ නොහැකියාවයි. ඔවුන්ට පහළින් සිටින රජයේ නිලධාරීන් පාලනය කර ගන්න ඉහළ නිලධාරීන්ට නොහැකි වී තිබෙනවා. ගුරුවරු අයිති අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. අධ්‍යාපන බලධාරීන්ට මේ ප්‍රශ්නය විසඳන්න බරි ඇයි? මෙතනදී පාසල් ළමයින් මොන තරම් අසීරුතාවට පත් වෙනවාද? මවුපියන්ගේ පැත්තට ඇතැම් ආරක්ෂක නිලධාරීන්ගේ සහය තිබෙනවා. මේ රටේ මුස්ලිම් මිනිස්සු පදිංචි වුණේ සෙනරත් රජ්ජුරුවන්ගේ කාලයේ. ඒ අය අපේ කාන්තාවන්ව විවාහ කර ගත්තා. මුස්ලිම් බොහෝ දෙනකුගේ වාසගම් සිංහල. මුස්ලිම් කාන්තාවෝ කියන්නෙත් අම්මාවරු. අපේ අම්මා කෙනෙක් නිවෙසකදී මුහුණ දෙන ප්‍රශ්න මේ අයටත් තිබෙනවා. සුදුසුම රැකියාවක් ලෙස ගුරු වෘත්තිය තෝරා ගත්තම එතනත් මේ කාන්තාවන්ට පීඩා සිද්ධ වෙනවා නම් ඒක මොන තරම් කණගාටුදායක තත්ත්වයක් ද?

* මානව හිමිකම් කාර්යාලය මගින් ලබාදුන් තීන්දුව කුමක් ද ?

මෙතනදී පැහැදිලි ලෙසම ව්‍යවස්ථාව සහ නීති උල්ලංඝනය වීමක් සිදුව තිබෙන බව කිව්වා. චක්‍රලේඛනවලට අනුකූලව කටයුතු කරන්න කියලා විදුහල්පතිනියට දැනුම් දුන්නා. දැන් මෙතන තිබෙන්නේ ඇත්තටම මවපු ප්‍රශ්නයක්.

* මේ ආකාරයට විරෝධයන් මතුවීම තුළ මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව කෙරෙහි බලපාන්නේ මොන විදිහටද ?

මේ ප්‍රශ්න ඇති කරන පිරිස සහරාන්ගේ සහෝදරයෝ විදිහටයි මම දකින්නේ. අපි බෞද්ධයෝ නම් ඒ ප්‍රතිපත්තිමය පිහිටීම අප තුළ තිබෙන්න ඕන. නමට බෞද්ධ වෙලා වැඩක් නැහැ. බුදුන් දේශනා කළේ තමන් උපමා කරගෙන කටයුතු කරන්න කියලා. මේ අය ඒක කරනවාද? තමන් රාජකාරී කරන තැන මුස්ලිම් බහුතරයක් ඉඳලා කලිසම ගලවලා මුස්ලිම් අය අඳින ඇඳුමක් අඳින්න කිව්වොත් ඒක කරයිද? පිරිමි ගුරුවරු කලිසම හා කමිසය අඳින්නේ. ඒක සුද්දාගේ ඇඳුම. ඕක ගලවලා උඹලගේ අමුඩේ අඳින්න කියලා සුද්දා කිව්වොත් මොකද වෙන්නේ. අපිට කිව්වොත් හබායා එක අඳින්න කියලා අපි කැමතිද? රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ජනපති චක්‍රලේඛනයක් නිකුත් කළා. ඒක ගණන් නොගෙන පිරිසක් කටයුතු කරනවා.

මොකක්ද මේ රට. නීතියක් නැහැ නේද? නීතිය කඩන අය වෙනුවෙන් බලධාරීන් පෙනී සිටිනවා. අසූ තුනේ ජූලි කලබලය අමතක කරන්න හොඳ නැහැ. සුළුවට තිබුණු එල්.ටී.ටී.ඊ සංවිධානය විශාල ලෙස ගොඩනැඟුණේ මේ සිද්ධියත් එක්ක. සිංහල ජනතාව අපිට වෙනස් කොට සලකනවා කියන හැඟීම දෙමළ තරුණයින්ගේ ඔළුවට ගියා. ගොඩක් අය ඊට පස්සේ එම සංවිධානයට බැඳුනා. මුස්ලිම් තරුණයින්ටත් මේ දෙය වෙන්න පුළුවන්. මේක තේරුම් ගන්න ඕන. ත්‍රස්තවාදී ක්‍රියා කළේ මුස්ලිම් පිරිසක් වුණත් අපි සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් ලෙස සලකන එක වැරදියි. මේවා අනුමත නොකරන අති විශාල පිරිසක් මුස්ලිම් ප්‍රජාව අතර සිටිනවා. අපි දැන් කල්පනා කරන්න ඕන සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදී ගොඩට තල්ලු කරනවාද නැද්ද කියන කාරණය. ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න සිංහල බෞද්ධ අන්තවාදයෙන් බැහැ.

* මේ ගැටලුව පාසලේ දරුවන්ගේ අධ්‍යාපනයටත් අයහපත් ලෙස බලපා තිබෙනවා නේද ?

අදාළ පාසලේ හින්දු හා ඉස්ලාම් ගුරුවරු 700ක් පමණ ඉන්නවා. ඉස්ලාම් දරුවන්ට ආගම උගන්වන ගුරුවරියත් මේ අතර ඉන්නවා. ඒ ළමයින්ට අකුරක් උගන්නලා නැහැ. දරුවන්ටත් මේක අයහපත් ලෙස බලපාලා තිබෙනවා. පාසල ආරම්භ කළ දවසේ පටන් අදවන තුරු ළමයින් ඉන්නේ ප්‍රශ්නයකට මැදිහත් වෙලා. එක පැත්තකින් මේක ළමා අයිතීන් උල්ලංඝනය කිරීමක්. මුස්ලිම් මිනිස්සු අවුරුදු සිය ගාණක් අපිත් එක්ක ජීවත් වෙනවා.

අපි දෙගොල්ලොම එකතු වෙලා මේ අන්තවාදය පරාජය කරන්න ඕන. ළමා මනසට මේ සිදුවීම්වලින් වන අයහපත් බලපෑම ඉතා විශාලයි. මේ මුස්ලිම් ගුරුවරු දැක්කම තමන්ට බය හිතෙනවා කියලා පිරිසක් ළමයින්ගෙන් ප්‍රකාශ හා අත්සන් ලබා ගෙන තිබෙනවා. ළමා අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධාන කොහොමද ඉන්නේ කියලා මම අහන්න කැමැතියි. අනික් පැත්තෙන් කාන්තා සංවිධාන. මුස්ලිම් කාන්තාවන් මේ මුහුණ දෙන ප්‍රශ්නය ගැන මොන කාන්තා සංවිධානයද කතා කළේ.

* දැන් මේ ප්‍රශ්නය කොතනද තිබෙන්නේ ?

අදාළ ගුරුවරු තාවකාලිකව වෙනත් පාසල්වලට මාරුකර යවා තිබෙනවා. මම හිතන්නේ මේක ප්‍රශ්නය යට ගහන්න කරපු උප්පරවැට්ටියක්. රබර් බෝලය වතුර යට හංගලා තිබෙනවා වගේ වැඩක්. මේක කොයි වෙලාවක හරි ආයෙත් මතු වෙනවා. කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. සත්‍යය ජය ගත්තාද සත්‍යය වැළලුණාද කියන කාරණයයි.

 

සාකච්ඡා කළේ
අසේල කුරුළුවංශ
ඡායාරූප-රුවන් මීගම්මන 


නව අදහස දක්වන්න