නීති විරෝධී සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියාවේ ඉඩ නෑ | දිනමිණ

නීති විරෝධී සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියාවේ ඉඩ නෑ

ඕස්ට්‍රේලියාවේ දැඩි දේශසීමා ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක බවත් නීති විරෝධී සංක්‍රමණයට කිසිසේත්ම ඉඩකඩ නැති බවත් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩට්න් මහතා පවසයි. ඒ අනුව නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් Zero Chance නව ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. එමගින් නීති විරෝධී බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී මුහුණ දෙන භයානක ප්‍රතිවිපාකවලින් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් නගා සිටුවන බව ද ඒ සඳහා ගුවනින් මෙන්ම මුහුදින්ද මෙහෙයුම් ක්‍රියාත්මක බවද ඔහු අවධාරණය කරයි.

පසුගිය මැතිවරණයෙන් පැවති රජයම නැවත තේරීපත් වූ අතර පැවති දැඩි දේශසීමා නීති නොවෙනස්ව ක්‍රියාත්මක බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩට්න් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදීය.

ඕස්ට්‍රේලියාවේ දේශසීමා ප්‍රතිපත්ති ලිහිල් වී ඇති බවට පුද්ගල ජාවාරම්කරුවන් විසින් ගෙනයන ප්‍රචාර වලට නොරැවටෙන ලෙස මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය. සියලුම නීති විරෝධී සංක්‍රමණිකයන් වහාම ආපසු හරවා ශ්‍රී ලංකාවට එවන බව ද ඔවුන් ජීවිතාන්තය දක්වා තහනමට ලක් කරන බව ද පීටර් ඩට්න් මහතා පැවසීය.

ඒ අනුව මැයි මස 29 වැනි දින ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස බෝට්ටුවෙන් සංක්‍රමණය කිරීමට උත්සාහ ගත් පුද්ගලයන් 20 දෙනකු එරට ක්‍රියාත්මක මෙහෙයුම්වල දී හසුවීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට හරවා එවූ බව අමාත්‍යවරයා අනාවරණය කළේය. පසුගිය වසර 5 තුළ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ කිසිදු මිනිස් ජාවාරම් බෝට්ටුවක උත්සාහය සාර්ථක නොවූ බව පවසන අමාත්‍යවරයා එවන් ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස තම ඥාති හිතමිතුරන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

නීති විරෝධී සංක්‍රමණ යනු නීති විරෝධි පමණක් නොව ඉතා භයානක බව ද බොහෝ විට ජීවිත පවා විනාශ වන බව වාර්තා වන බව ද අමාත්‍ය පීටර් ඩට්න් මහතා පැවසීය. එවන් නීති විරෝධී සංක්‍රමණ වළක්වාලමින් ක්‍රියාත්මක දේශ සීමා ආරක්ෂක ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දෙන සහයෝගය ඕස්ට්‍රේලියානු රජය අගය කරන බව අමාත්‍ය පීටර් ඩට්න් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පවතින මිත්‍රත්වය හා අවබෝධය දීර්ඝ කාලීන එකක් බව පවසමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාව නිරන්තරයෙන් සහාය ලබා දෙන බවයි.

මේ මාධ්‍ය හමුවට ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි , ශ්‍රී ලංකා නාවික හමුදාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහත්වරුද, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

ක්‍රිසන්ති විතාරණ 
ඡායාරූප- සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න