ආණ්ඩුව-විපක්ෂය එකඟතාවකට තිරසාර සාමයකට වැඩපිළිවෙළක් | දිනමිණ

ආණ්ඩුව-විපක්ෂය එකඟතාවකට තිරසාර සාමයකට වැඩපිළිවෙළක්

රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත ‘ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳ අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ ඊයේ(4) රැස් වූ අතර එහිදී ජාතික වැදගත්කමකින් යුත් ප්‍රතිපත්ති සැකසීමේ දී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවකට පැමිණි අතර තිරසාර සාමයකට දිගුකාලීන වැඩපිළිවෙළක් සැකසීමට එකඟතාව ඇති විය.

මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකසා සභාගත කරන ලද නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීම අරමුණු කොට ගනිමින් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හි දී මෙම රැස්වීම පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභික මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහිතව පැවැත්විණි. විශේෂයෙන් මේ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශ භාර අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ ප්‍රධාන නිලධාරීහු ද එක්ව සිටියහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සභාගත කරන ලද අතුරු වාර්තාවේ අඩංගු නිර්දේශ එකිනෙක පුළුල් ලෙස මෙහි දී සලකා බැලුණු අතර, දිගුකාලීන සාමය ස්ථාපිත කිරීම සඳහා මෙම නිර්දේශ ඉතාමත් සාධනීය මට්ටමක පවතින බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු සහභාගි වූ සියලු දෙනාගේ පොදු අදහස වීම ද විශේෂත්වයකි.

මෙම නිර්දේශ අතුරින් කිහිපයක් පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් සෙසු නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් තීරණය වූ අතර ඒ සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරු ඉතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූහ.

අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිකුත් කරන ලද ‘දියවන්නා ප්‍රකාශය’ද රැස්වීමේ දී විශේෂ අවධානයට ලක් විය. ජාතික වශයෙන් වැදගත් පොදු කරුණුවල දී දේශපාලන භේදයකින් තොරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් එක්ව තීරණ ගැනීම සඳහා දියවන්නා ප්‍රකාශය මගින් ශක්තිමත් පදනමක් සකසා ඇති බව ද මෙහි දී ඇගයීමට ලක් විය.

අද දින රැස්වීමේ කටයුතු සමාප්තියට පත්කරමින් කථානායකතුමන් සඳහන් කළේ තිරසාර ජාතික හා ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබීමත් අග්‍රාමාත්‍යතුමන් හා විපක්ෂ නායකතුමාගේ සක්‍රිය දායකත්වය ලැබීමත් අතිශයින් වැදගත් බවය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද දින ඇති කරගත් එකඟතාවන් ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇති අතර, ඉන් අනාගත පරපුරට ජයග්‍රහණ රැසක් අත්පත් කර දෙනු ඇති බවත් එහි ගෞරවය ඒ සඳහා පුරෝගාමී වූ සියලු දෙනාටම හිමිවනු ඇති බවත් කථානායකතුමා වැඩිදුරටත් පැවැසීය.

නව අදහස දක්වන්න