සහරාන් ඇතුළු 30කට පසුගිය ආණ්ඩුව පඩි ගෙවලා | දිනමිණ

සහරාන් ඇතුළු 30කට පසුගිය ආණ්ඩුව පඩි ගෙවලා

සහරාන් හෂිම් ඇතුළු තවුහිද් ජමාද් සංවිධා‍නයේ 30 දෙනකුට පසුගිය ආණ්ඩුව වැටුප් ගෙවා ඇතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කෙළේය. පසුගිය ආණ්ඩුව සහරාන් ඇතුළු කණ්ඩායමකට වැටුප් ගෙවා ඇති බව ඔප්පු කරන බවත් මෙලෙස සිදු කැර ඇති වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සභානායකවරයා සඳහන් කෙළේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කෙළේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසිය.

අපේ‍්‍රල් 21 වැනි දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කරලා තිබෙනවා. හිටපු ජනාධිපතිතුමාත් අද ඇවිත් ඉන්නවා.

මම ආරාධනා කරනවා තේරීම් කාරක සභාවට සහභාගි වෙන්න. දැන් බාධක ඉවත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ පොහොට්ටුවේ පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට සහභාගි වෙන්න කියලා.අනිත් කාරණය අපිට ඉතාම වැදගත් ප‍්‍රශ්නයක් අහන්න තිබෙනවා.පසුගිය ආණ්ඩුවෙන් සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානයේ 30 දෙනකුට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තිබෙනවා. ඔබතුමාලා එන්න තේරීම් කාරක සභාවට අපි ඔප්පු කරනවා.සහරාන්ට පඩි ගෙවීම ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා-

ඒ කාරණාව වැරදියි. මෙම තේරිම් කාරක සභාව බුද්ධි අංශ නිලධාරින් පවා‍ ගෙන්වා ප්‍රශ්න කරනවා. දේශපාලන අවශ්‍යතාවන් මත මොනව කළත් කමක් නැහැ. නමුත් මේ හරහා බුද්ධි අංශ නිලධාරීන් බිල්ලට දෙන්න එපා. ඔවුන් මේ ආකාරයට නිරාවරණය කර ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කරන්න එපා‍.

සභානායකවරයා-

තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්න කලින් සභාපතිතුමා ඒ අයට දැනුම් දෙනවා ජාතික ආරක්ෂාවට බලපාන යම්කිසි කරුණු තිබෙනවා නම් ඒවා ප‍්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා.අනතුරුවයි ඒ වැඩකටයුතු සිදුවෙන්නේ.

ස්වර්ණා විජේකෝන්,චමීර ඇල්ලදෙණිය, චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න