ආබාධිත වූ පුද්ගලයන් - ළමයින් වෙනුවෙන් අරමුදලක් | දිනමිණ

ආබාධිත වූ පුද්ගලයන් - ළමයින් වෙනුවෙන් අරමුදලක්

(බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි)
 
මෑතක දී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ආබාධිත වූ පුද්ගලයන් සහ ළමයින් වෙනුවෙන් තවදුරටත් සහන සැලසීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදාන මඟින් රුපියල් මිලියන 500ක අරමුදලක් පිහිටුවීමටත්, බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය සහන සැලසීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමත් රජය තීරණය කරයි. 
 
අගමැති හා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 
 
මෑතකදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත්වූ හා පූර්ණ වශයෙන් සදාකාලික අබාධිත තත්ත්වයට පත්වූ අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටත්, තුවාල ලැබූ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 දක්වා වන්දි ගෙවීමටත්, හානියට පත් වූ දේවස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත් අමැති මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි. 
 
ඒ අනුව හානිපූර්ණය සඳහා වූ කාර්යාලය මඟින් මේ වනවිට රුපියල් මිලියන 198කට අධික වන්දි මුදලක් බලපෑමට ලක්වූවන් වෙත ලබා දී ඇති අතර, පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25ක් අත්තිකාරම් ලෙස ලබා දී තිබේ.  
 
එසේම, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්චස් 9ක ඉඩම් කොටසක් එම දේවස්ථානය වෙත පවරා දීමට ද කටයුතු කර තිබේ. 
 
 
 

නව අදහස දක්වන්න