ඔරන්කැලේ මඩ ගොහොරුවක ලක්ෂ 15ක ගෝඩා | දිනමිණ

ඔරන්කැලේ මඩ ගොහොරුවක ලක්ෂ 15ක ගෝඩා

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල

මීගමුව සුරාබදු කාර්යාලයේ නිලධාරි කණ්ඩායමට ලැබුණු ඔත්තුවක් පිරිදි රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා මත්පැන් ස්ප්‍රීතු ගෝඩා අඩංගු බැරල් 9 ක් පෙරීමට ගන්නා උපකරණ තොගයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබුණේ ජාඇල ඔරන්කැලේ ප්‍රදේශයේ විෂ සහිත කටුපඳුරු තිබෙන මඩ සහිත ගොහොරු බිමකය. මේ ස්ථානයට ළඟාවීම දුෂ්කරය. අනතුරුදායකය. මීගමුව, වත්තල, ජාඇල, මිනුවන්ගොඩ ප්‍රදේශවලට මේ මත්පැන් බෙදාහරින බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

රාත්‍රී කාලය තුළ ප්‍රදේශය පුරා පැතිර යන රැහැයියන්ගේ හඬ නිසා පහසුවෙන් වැටලීම් ස්ථානයට ළඟාවීමට හැකි වී තිබේ.

මත්පැන් ස්ප්‍රීතු ලීටර් 534 ක් හා මිලිලීටර් 250 ක් ද, මත්පැන් ලීටර් 1616 ක් හා ගෝඩා සහිත බැරල් 9 ක් ද අත්අඩංගුවට ගෙන තිබුණි.

මීගමුව සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඒ. ඒ. ආර්. පෙරේරා, සුරාබදු පරීක්ෂකවරුන් වන එච්. ජී. එම්. බන්දුසිරි, ජී. ආර්. එස්. ජයවංශ, ආර්. ඒ. ආර්. රණසිංහ, සුරාබදු සැරයන් එස්. පී. එම්. ජයසූරිය යන නිලධාරි කණ්ඩායම මෙම වැටලීමට එක්වූහ.

 

නව අදහස දක්වන්න