වෛරයට දඩයක් | දිනමිණ


 

වෛරයට දඩයක්

දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ යුතු යැයි රජය තීන්දු කර තිබේ. මෙහි මූලික අරමුණක් වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා ජාතීන් අතර සාමය හා සහජීවනය ගොඩනැඟීම බව සඳහන් ය. ඒ අනුව ජාතික ආරක්ෂාවට බාධාවක් වන අයුරින් අසත්‍ය ප්‍රචාර පතුරුවන අයටද, ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කරන අයට ද දැඩි දඬුවම් ලබාදීමට පියවර ගනු ඇත. නීතිය කලින් -කලට සංශෝධනය විය යුත්තේ රටක සිදුවන අපරාධ ප්‍රමාණය හා ඒවායෙහි ස්වාභාවය සැලැකිල්ලට ගනිමින් ය. සමාජ සංස්ථාවේ ක්‍රියාකාරකම් පිළිබඳ මෑතකාලීන හරස්කඩක් ගතහොත් ඉහත නීති සංශෝධනය අවශ්‍යයෙන් ම විය යුත්තක් බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවනු ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව මෙන් ම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයත් ඉහත කාරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් හැදෑරීම් හා නිරීක්ෂණ සිදු කර තිබේ. ඒ අනුව නීති සංශෝධනය පිළිබඳ ඉල්ලීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ හැරත් රටේ විද්වත් සභාවල සංවාදවල දී නිරන්තරයෙන්ම අවධාරණය කළ කරුණක් වූයේ දණ්ඩ නීති සංග්‍රහය ද, අපරාධ නඩු විධාන සංග්‍රහය ද සංශෝධනය කළ යුතු බව ය. දකුණු අප්‍රිකාවට සාමය උදාකළ නෙල්සන් මැන්ඩෙලා මහතා ජාතීන් අතර වෛරය වැපිරීම වැළැක්වීම සඳහා එරට නීතිය කිහිපවරක්ම වෙනස් කළේ ය. වෘත්තියෙන් නීතිඥයකු වූ මැන්ඩෙලා මහතා නීති සංශෝධනයේ වැදගත්කම හොඳින්ම දැන සිටින්නට ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසු තත්ත්වය නිරීක්ෂණය කළහොත්, වෛරී ප්‍රකාශ නිකුත් කිරීම, බොරු පුවත් මැවීම හා අනියත බිය මවාපෑමක් උපරිම අයුරින් සිදුවිය. ඇතැම් දේශපාලකයෝ පවා බේගල් ඇදබාමින් ජාතිවාදය හා ආගම්වාදය අවුළුවන්නට උත්සාහ දැරූහ. එක්තරා දේශපාලකයෙක් රූපවාහිනී සංවාදයකදී කියා සිටියේ සෝදිසි මෙහෙයුමක දී හමුදා භටයන් ගණනාවක් මිය ‍ෙගාස් ඇති බවය. එහෙත් එය අමූලික බොරුවකි. එම සෝදිසි මෙහෙයුමේ දී කිසිදු භටයකුට කිසිදු අනතුරක් සිදු වී තිබුණේ නැත. තත්ත්වය මෙසේ වුව අසත්‍ය ප්‍රචාර සිදුකරන අය කෙළින් ම අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් ලබාදීමේ පැහැදිලි ප්‍රතිපාදන අපේ නීතිය තුළ තිබුණේ නැත. එබැවින් එබඳු චූදිතයන් මග හැර යෑමේ ක්‍රමයක් අනුගමනය කරන්නට සිදු වී තිබිණි. හදිසි නීතිය යටතේ මෙවැන්නකු අත්අඩංගුවට ගත්තද පසුව නිදහස් කර යැවීමට සිදුවනු ඇත.

නීති සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඊට අදාළ පනත් සම්මත වීමෙන් පසු අසත්‍ය ප්‍රචාර සිදුකරන කෙනකුට මෙන්ම වෛරී ප්‍රකාශ නිකුත් කරන කෙනකුට රුපියල් මිලියනය දක්වා දඩයක් නියම කළ හැකි ය. වසර පහක සිර දඬුවමක් ද ලබා දිය හැකිය. නැතහොත් එම දඬුවම් දෙක ම ලබාදීමේ හැකියාව ද තිබේ. ඇතැම් අපරාධවලට සම්බන්ධ දඩ මුදල හා සිරගත කිරී‍ෙම් කාලසීමාව දෙස බලන විට නීතිය ලිහිල් වැඩි යැයි සිතන්නට සාධක තිබේ. එහෙත් අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් පැනවීමට යන නීතිය එසේ නොවන බව පෙනෙයි. මිලියනයක් හෙවත් රුපියල් දස ලක්ෂයක් යනු සෑහෙන මුදලකි. එලෙසම වසර පහක් යනු ජීවිතයෙන් සැලැකිය යුතු කාලයකි. මේ ප්‍රතිපාදන ගැන වැටහීමක් ඇති කෙනකු වගවීමකින් තොර ප්‍රකාශ කිරීමට පෙළඹෙනු ඇතැ’යි සිතිය නො හැකි ය.

ගෙවී ගිය කෙටි කාලයෙහි අත්දැකීම් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ කෙනකු තමන්ගේ වින්දනය සඳහා අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ය. තව කෙනකු දේශපාලන වාසි ලබාගැනීම සඳහා වෛරී ප්‍රකාශ නිකුත් කරන බවය. තවත් කෙනකු තමන්ගේ ජාතිය හා තමන්ගේ ආගම උසස් යැයි කල්පනා කොට එය තහවුරු කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදු කරන බව ද පෙනී ගොස් තිබේ.මේ සියල්ල ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි ය. මේවා මඟින් ජාතියට හා රටට සිදු වන විනාශය අදාළ පුද්ගලයන්ගේ සැලැකිල්ලට ලක්වන්නේ නැත. ජාතිවාදය හා ආගම්වාදය ස්වකීය වින්දනය සඳහා ද දේශපාලන වාසිය සඳහා ද යොදාගන්නා විශාල පිරිසක් අප අතර සිටිති. නීතියෙන් මේ ක්‍රියාදාමයට වැට බැඳිය හැකි ය. රජය එය වටහාගෙන තිබීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ ගැටුම් නිරාකරණය පිළිබඳ නිරීක්ෂණය කරන කෙනකුට පැහැදිලි වන එක් සත්‍යයක් තිබේ. එනම්; සෑම ගැටුමක් පසුපස ම අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ ඇති බවය. 1983 කළු ජූලිය ඇතිවූයේ අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ නිසා ය. පාස්කු ප්‍රහාරයෙන් පසු වයඹ හා මිනුවන්ගොඩ ප්‍රහාර ගණනාවක් සිදුවීමට ද අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ බලපා තිබේ. අද වන විට මේ සඳහා නූතන සන්නිවේදන තාක්ෂණය ද යොදාගන්නා බැවින් තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු පාසල් විවෘත කළත් සිසුන් පාසල්වලට පැමිණියේ නැත. අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ ඔස්සේ රට තුළ බලවත් භීතියක් ගොඩනඟා තිබිණි. මේවා මැඩපැවැත්විය හැකි ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස නීතිය සඳහන් කළ හැකි ය. නීතිය සියල්ලට ඉහළින් පවතින බැවින් දේශපාලකයාට වුව අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීමට ඉඩක් නො ලැබෙනු ඇත. ඒ නව නීතිය කියාත්මක වීමෙන් පසු ය.

රටක් ඉදිරියට ගෙනයෑම සඳහා සදාචාරවත් සමාජයක් පැවැතිය යුතු ය. සදාචාරවත් සමාජයක් නීතිගරුක සමාජයක් ලෙසින් ද හැඳින්විය හැකිය. නීතියට ගරු කරන කවුරුත් ඉහත නීති සංශෝධනයට එකඟ වෙති. ජාතික සමඟිය හා ආගමික සහජීවනය ඉබේ ඇතිවන්නේ නැත. ඒ සඳහා යම් වැඩ කොටසක් ඉටුවිය යුතුය. නීතිය ද එම වැඩ කොටසේ පංගුකාරයෙකි.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න