ශ්‍රී ලංකා - පාකිස්තාන ගැටුම අද පස්වරු 3ට ඇරැඹෙයි | දිනමිණ


 

ශ්‍රී ලංකා - පාකිස්තාන ගැටුම අද පස්වරු 3ට ඇරැඹෙයි

තරගය බැගින් ජයගත් දෙපිල ඉදිරි ගමනට ප්‍රබල සටනක

පාකිස්තානයට එරෙහිව අද (7) එංගලන්තයේ බිෂොප්ස්ටන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දෙන තුන්වැනි තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයට එරෙහිවය. නවසීලන්තය හමුවේ පළමු තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත්වූ අතර පාකිස්තානය සිය පළමු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ පරාජයට පත්වූවත් සත්කාරක සහ ලොව නොම්මර එකේ එක්දින කණ්ඩායම වන එංගලන්තය දෙවැනි තරගයෙන් පරාජය කරමින් ඉහළ තලයක පසුවෙයි.

ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත්වූයේ පන්දු යවන්නන්ට පින්සිදුවන්නටය. කාලයක් පුරා මුහුණ පා සිටින ලකුණු අහේනියත්, ඕවර 50ක් ඉනිම ඇදගෙන යාමට තරම් ශක්තියක් නොතිබීමත් නිසා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවෝ ඇද වැටී සිටින්නේ දැඩි පීඩනයකටය. ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේ දී කිසිවකු නොදැවී ලකුණු 92ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 201කට දැවීයාමෙන් පැහැදිලි වූයේ කණ්ඩායම ජයග්‍රහණය කරා තල්ලු කරගෙන යාමේ වගකීම කරපින්නා ගැනීමට සිදුවී ඇත්තේ පන්දු යවන්නන්ට බවය. නායක දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් සහ ළහිරු තිරිමාන්න හැරුණු විට කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ ඇන්ජෙලෝ මැතිව්ස් නැවත හිස ඔසවා ගන්නා තුරුම ශ්‍රී ලංකා පිල පසුවන්නේ අවදානම් තත්ත්වයකය. එම තරගයේදී ශ්‍රී ලංකා පිලේ මැදපෙළ කඩුලු 4ක්ම ලකුණු 5ක් ඇතුළත බිඳ වැටීමෙන් පිතිකරුවන්ගේ අස්ථාවරභාවය පැහැදිලි විය.

ලකුණු 201 ආරක්ෂා කිරීම එක්දින තරගයකදී ලෙහෙසි පහසු කරුණක් නොවූවත් ඇෆ්ගනිස්තානය වැනි කෝඩුකාර කණ්ඩායමක් මෙල්ල කරන අයුරු හොඳින්ම දැන සිටි ලසිත් මාලිංග (කඩුලු 3යි) සහ නුවන් ප්‍රදීප් (කඩුලු 4යි) කණ්ඩායමේ ගෞරවය රැක දීමෙන් අද තරගයට ඉහළ මානසිකත්වයකින් යුතුව ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලැබී තිබේ.

කෙසේ වෙතත් අද තරගයේදී නම් පිතිකරුවන්ට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත. පාකිස්තානය වැනි තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන කණ්ඩායමක් හමුවේ අද තරගය ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිලට ද තුන්ඉරියව්වෙන්ම දස්කම් මුවහත් කරගැනීමට සිදුවනු ඇත.

විශේෂයෙන් මෙවර තරගාවලියේ කොදෙව් පිල සමග පැවැති පළමු තරගයේදී පාකිස්තාන පිතිකරුවන් ලකුණු 105කට දැවී ගියත් අනතුරුව සත්කාරක එංගලන්තයට කලෙකට අමතක නොවන පරාජයක් උරුම කරදීමට පාකිස්තානය සමත්වූයේ පිතිකරුවන්ට පින්සිදු වන්නටය. ඔවුහු එම තරගයේදී පළමුව පන්දුවට පහරදී ලකුණු 348ක් රැස් කිරීමට සමත්වූහ. මුල් පෙළ පිතිකරුවන් පස්දෙනාගෙන් අර්ධ ශතක 3ක් වාර්තා විය. එවැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමට පන්දු යවන්නන්ට ලැබෙන්නේ විශාල අවස්ථාවකි.

අනිත් අතට ශ්‍රී ලංකා පිලට එරෙහි අද තරගයේදී අනුකම්පා විරහිත ලෙස ක්‍රීඩා කිරීමට පාකිස්තානු පිලේ පුහුණුකරු තම කණ්ඩායමට උපදෙස් ලබා දී තිබේ. 2017 සැප්තැම්බර් මාසයෙන් පසුව පළමු වතාවට එකිනෙකා හමුවන අද තරගය ජයග්‍රහණයෙන් නිමා කරගැනීම ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා පිලට දැඩි උත්තේජනයක් වනු ඇත.

පෙනෙන හැටියට අද තරගය ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සහ පාකිස්තාන පිලේ පිතිකරුවන් අතර තරගයකි.

මේ අතර ඇෆ්ගනිස්තානය සමග තරගයේදී කඩුලු 3ක් බිඳ දමමින් ලෝක කුසලාන තරග බිමේ වැඩිම කඩුලුලාභීන් 8 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත්වූ ලසිත් මාලිංගට අද තරගයේදී කඩුලු 3ක් දවා ගැනීමට හැකි වුවහොත් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සමගින් සම වීමට හැකි වෙයි. වාස් කඩුලු 49ක් දවා ගනිමින් සිවුවැනි ස්ථානයේ පසුවන අතර තෙවැනි ස්ථානයේ පසුවන වසීම් අක්‍රම් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 55කි.

ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩේසේ, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්.

පාකිස්තානය සංචිතය - සර්ෆ්‍රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, ආසිෆ් අලි, බාබර් අසාම්, ෂොහේබ් මලික් (උපනායක), මොහම්මඩ් හාෆීස්, හාරිස් සොහේල්, ෂදාබ් ඛාන්, ඉමාඩ් වසීම්, හසන් අලි, මොහොමඩ් අමීර්, ශාහීන් අෆ්රිඩි, වහබ් රියාස්, මොහම්මඩ් හස්නේන්.

නව අදහස දක්වන්න