දකුණු අප්‍රිකානුවෝ පිට පිට තෙවැනි තරගයත් පරදිති | දිනමිණ


 

දකුණු අප්‍රිකානුවෝ පිට පිට තෙවැනි තරගයත් පරදිති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩ තෙවැනි පරාජයත් විඳ ගැනීමට දකුණු අප්‍රිකාවට පෙරේදා සිදුවූයේ ඉන්දියාව හමුවේ කඩුලු 6කිනි.

තරගාවලියේ 8 වැනි තරගය මෙන්ම ඉන්දියාව ක්‍රීඩා කළ පළමු තරගය වූ මෙය සවුත්හැම්ප්ටන් හිදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 227ක් පමණි. එම ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දු 15ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය.

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ඉන්දීය පිල ජයග්‍රහණය කරා ගෙන ගියේ නොදැවී ලකුණු 122ක් රැස් කරමිනි. මෙතෙක් තරගාවලියේ වාර්තාවූ ඉහළම ඉනිම වූ මේ සඳහා පන්දු 144ක් වැය කළ ෂර්මා හතරේ පහර 13කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත්තේය. ඔහු ඊයේ වාර්තා කළේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 23 වැනි ශතකයයි.

ලෝකේෂ් රාහුල් සමගින් දෙවැනි කඩුල්ලට පන්දු 96කින් ලකුණු 85ක් සහ මහේන්ද්‍ර සිං දෝනි සමගින් සිවුවැනි කඩුල්ලට 88කින් ලකුණු 74ක සබඳතා පිහිටුවීමට ෂර්මාට හැකිවිය.

මුළු ලකුණු 139දී රබාඩාගේ පන්දුවක් හමුවේ රාහුල් දැවී ගියේ ලකුණු 26ක් ලබා සිටියදීය. පන්දු යැවූ ක්‍රිස් මොරිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ෂර්මා-දෝනිගේ සිවුවැනි කඩුල්ලේ සබඳතාව නිමා කරනවිට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 14ක් පමණි. පන්දු 46කට මුහුණදුන් දෝනි හතරේ පහර 2ක් සමගින් ලකුණු 34ක් රැස් කළේය.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13දී ශිකර් ධවාන් දැවී ගිය අතර නායක විරාට් කෝලිට ඊයේ රැස්කළ හැකිවූයේ ලකුණු 18ක් පමණි. මුළු ලකුණු 54දී ඔහු දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

දකුණු අප්‍රිකානු ඉනිම ඇරැඹු හසීම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක් ලකුණු 24ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත් විය. රෝහිත් ෂර්මා උඩ පන්දුවක් රැක ගැනීමේ අම්ලා ලකුණු 6කටත්, විරාට් කෝලි උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඩි කොක් ලකුණු 10ක් දැවී ගියහ.

අනතුරුව නායක ෆෆ් ඩු ප්ලෙසි සහ රෙසී වැන් ඩර් ඩුසෙන් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 78 දක්වා ඉදිරියට ගෙන යමින් සිටියදී 20 වැනි ඕවරය යැවූ යුස්වෙන්ද්‍ර චාහල් ලකුණු 2ක් තුළ කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් එම පිතිකරුවන් දෙදෙනාට යළි ක්‍රීඩාගාරයට හරවා යැවූවේය. ප්ලෙසි පන්දු 54කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 38ක් රැස්කළ අතර ඩුසෙන් ලකුණු 22ක් ඉනිමට එක් කළේය. තවත් ලකුණු 9ක් එක්වෙද්දී ජේ.පී.ඩුමිනි ගේ (3) ඉනිමද නිමා විය. යළිත් ක්‍රියාත්මක වූ චාහල් ලකුණු 135දී තමන් විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමෙන් ඩේවිඩ් මිලර් (31), ලකුණු 158දී ස්ටම්ප් කිරීමට හසුකර ගැනීමෙන් ඇන්ඩිලි පෙලුක්වායෝ (34)ද පිටියෙන් දවා ගැනීමට සමත් විය. 8 වැනි කඩුල්ලට ක්‍රිස් මොරිස් සහ කගීසෝ රබාඩා එක්ව පන්දු 59කින් ලකුණු 66ක සබඳතාවක් ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 224ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 34කින් ලකුණු 42ක් රැස්කළ මොරිස් දවා ගනිමින් එම සබඳතාවට තිත තැබීමට බුවනේෂ්වර් කුමාර් සමත් වූ අතර තවත් ලකුණු 3කදී ඉම්රාන් තහීර්ද ලකුණු ලබාගැනීමට පෙර දවා ගැනීමට ඔහුට හැකිවිය. ඉනිම නිමාවනවිට රබාඩා පන්දු 35කදී නොදැවී ලකුණු 31ක් රැස්කර තිබිණි.

බංග්ලාදේශය ලකුණු 244යි

මේ අතර තරගාවලියේ 9 වැනි තරගය ලෙස ලන්ඩනයේ කෙනිංටන් ඕවල් පිටියේ පෙරේදා පැවැති දිවා රාත්‍රී තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 49.2කදී ලකුණු 244කට දැවී ගියේය.

ටමීම් ඉක්බාල් සමගින් ඉනිම ඇරැඹු සෞම්‍ය සර්කාර් ලකුණු 25ක් ලබාසිටියදී දවා ගනිමින් ආරම්භ කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට මැට් හෙන්රි සමත්වු අතර ඉක්බාල්ගේ ඉනිම ලකුණු 24කින් නතර කිරීමට ලොකී ෆර්ගියුසන් සමත් විය.

පිට පිට තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ශකීබ් අල් හසන් ඊයේ සමත්වූ අතර ඔහු දැවී ගියේ ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙසිනි. ඉන් පෙර තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 50ක සබඳතාව බිඳ වැටෙමින් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 19කට දුවද්දි දැවී ගියේය. ශකීබ් දැවී ගියේ හතරේ පහර 7ක් සමගින් පන්දු 68කින් ලකුණු 64ක් ලබා සිටියදීය. මොහෙමඩ් මිතුන් ලකුණු 26කට 5 වැනි කඩුල්ල ලෙසත්, මහමුදුල්ලා (20) ලකුණු 197දී 6 වැනි කඩුල්ල ලෙසත් දැවී ගිය අතර ලකුණු 47ක් තුළ අවසන් කඩුලු 4 බිඳ දැමීමට මැට් හෙන්රි සහ ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුහ. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් සයිෆුඩීන් දැවි ගියේ පන්දු 23කින් ලකුණු 19ක් රැස්කර තිබියදීය.

පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 4ක් දවාගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය.

නව අදහස දක්වන්න