විලියම්සන්ව දුවද්දී දවා ගැනීම මුෂ්ෆිකුර් අතින් ගිලිහෙයි | දිනමිණ


 

විලියම්සන්ව දුවද්දී දවා ගැනීම මුෂ්ෆිකුර් අතින් ගිලිහෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පෙරේරදා පැවැති දෙවැනි තරගය ලෙසින් පැවැති නවසීලන්තය සහ බංග්ලාදේශය අතර වූ කරට කර සටනේදී නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්ව දුවද්දී දවා ගැනීමට තිබූ පහසුම අවස්ථාව කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතින් ගිලිහී යෑම පිළිබඳව බොහෝ දෙනා විවේචනාත්මකව අදහස් දක්වන්නක් බවට පත්ව තිබුණද තමන් ඔහුව විවේචනය නොකරන බව බංග්ලාදේශ් නායක මෂ්රෆී මොර්ටාසා පවසයි.

දෙරට අතර තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුවද, එම අවස්ථාවේදී විලියම්සන් දවා ගැනීමට බංග්ලාදේශය සමත්වූයේ නම් තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළනවා ඇත. මන්ද යත් නවසීලන්ත ජයග්‍රහණයට මූල් වුණු හොඳම කඩුලු සම්බන්ධතාවය ගොඩ නැංවුණේ කේන් විලියම්සන් සහ රොස් ටේලර් අතර වූ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව හේතුවෙනි. මේ කඩුල්ලට මොවුන් දෙදෙනා එක්ව ලකුණු 105ක් ගොඩ නැංවීමට සමත්වූ අතර එම අවස්ථාවේදී ඔහු දුවද්දී දැවී ගියේ නම් එම සම්බන්ධතාව ලකුණු 07 දී බිඳ වැටෙනු ඇත.

“තරගය අපේ අතින් ගිලිහුණේ එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂය බවට පත් වුණේ ඒ අවස්ථාවෙනුයි. මොකද ඒ කඩුලු සම්බන්ධතාව හින්දා තමයි ඔවුන්ගේ ජයග්‍රහණයේ පදනම බවට පත් වුණේ”

“මම හිතන්නේ නෑ අපි මේ ගැන ඕනෑවට වඩා පස්සෙන් යන්න ඕන කියලා. කඩුලු රකින්නට කෙළින්මයි පන්දුව ආවේ. ඒක නිසා ඔහුට හිතා ගන්න බැරිව යන්න ඇති කොහොමද එය එන්නේ කියලා. ඔහුට ඕන වුණේ ඉක්මනට පන්දුව රැගෙන කඩුල්ල බිඳ දාන්න. ඒත් අවාසනාවකට වගේ ඊට කළින් ඔහුගේ වැලමිට වැදිලා කඩුල්ල බිඳී ගිහින්. මේ වගේ අතපසුවීම් ඕන වෙලාවක සිද්ධ වෙන්න පුලුවන්. අන්න ඒකයි මම කලිනුත් කිව්වේ මේ ගැන අපි ඕනෑවට වඩා එයාගේ පස්සෙන් යන එකේ තේරුමක් නෑ කියලා. ඒකත් තරගයේ අවස්ථාවක්. ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. අතපසුවීම් සිදු නොවන අය මේ ලෝකෙ නෑ. අන්න ඒක අප තේරුම් ගත යුතුයි” යැයි මොර්ටාසා පවසයි.

ලෝන්ග් ඕන් කළාපයට එල්ල කරන ලද පහරකට ලකුණක් කරා පැති මාරු කරගනිද්දී යොමු කරන ලද පන්දුව රැක ගැනීම සඳහා රහීම් කඩුල්ල අසළට පැමිණියේ. දුවද්දී දවා ගැනීම ඉක්මන් කර ගැනීම වෙනුවෙන් කඩුල්ලට මෙහා සිට සිය දෑත් පන්දුව දෙසට යොමු කරද්දී වැළ මිට වැදීම නිසා කඩුල්ලේ බේල්ස් ඉවත් ව තිබූ බැවින් එය දුවද්දී දැවී යෑමක් නොවන බවට සංඥා විණි. මේ අවස්ථාවෙන් මනාව ප්‍රයෝජනය ගත් විලියම්සන් තම ඉනිම ලකුණු 40ක් දක්වා ඉහළ දමා ගත්තේය.

ඕවල් පිටියේ පැවැති මේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 49.2කදී සියලු දෙනා දැවී ලකුනු 244ක් රැස් කරන ලදුව එය හඹා ගිය නවසීලන්තය අදාළ ඉලක්කය කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට සමත්වූවේය. නවසීලන්තය ඉදිරියේ කඩුලු 2ක ජයග්‍රහණයක් වශයෙන් සටහන් වන විට පන්දු 17ක්ද ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රොස් ටේලර් පන්දු 91කදී ලකුණු 82ක් වාර්තා කළේය.

නව අදහස දක්වන්න