ෂර්මාගේ ඉනිම අති විශිෂ්ටයි | දිනමිණ


 

ෂර්මාගේ ඉනිම අති විශිෂ්ටයි

ලෝක කුසලාන සටන ආරම්භ කරමින් පැවැති දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ක්‍රීඩා කරන ලද ලකුණු 122ක ඉනිම ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම එක්දින ඉනිම ලෙස තමා දකින බව ඉන්දීය නායක විරාත් කෝලි සඳහන් කර සිටියි.

සදප්ටන්හි පැවැති මේ තරගයේදී ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු බල ඇණියෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුවද ෂර්මාගේ ඉනිමත් සමඟ කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන සටන ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට හැකිවිය.

මෙහිදී ධෛර්යවන්ත ලෙස පිත්ත හැසිර වූ රෝහිත් ෂර්මාගේ නොබිඳුණු ඉනිම සඳහා හේ පන්දු 144කට මුහුණ දුන්නේය. හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වුණු ෂර්මාගේ සුවිශේෂී ඉනිම නොවන්නට තරගයේ වැඩි වාසි දකුණු අප්‍රිකානුවන් සතු වනවා නොඅනුමානය. එම සුවිශේෂී ඉනිම හේතු කොට ගෙන තරගයේ වීරයා සම්මානයෙන්ද රෝහිත් ෂර්මා පිදුම් ලැබීය.

තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ඉන්දීය නායකයා, “මම හිතන විදියට මේක තමයි රෝහිත්ගේ එක්දින ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම. ඒ මොකද කියනවා නම් මෙය අපේ ලෝක කුසලාන සටනේ පළමු සටන. එතැනදි පීඩනය කියන එක උපරිමයි” යැයි පවසන කෝලි, “පිතිකරුවෙකු විදියට මම දන්නවා ඒ වගේ ඉපිලීමක් තියෙන තණතීරුවක පන්දුවට පහර දෙනවා කියන එක කොයි තරම් අමාරුවද කියලා. නමුත් අවශ්‍යතාවය අනුව හැඩ ගැසිලා ඉතාම ඉවසීමෙන් ඒ පීඩනය ඔහු හැසිරෙව්වා” යනුවෙන් වැඩිදුරටත් පවසයි.

දකුණු අප්‍රිකාව යනු ලොව හොඳම වේග පන්දු බල ඇණියෙන් යුතු කණ්ඩායමක් වන අතර ලොව අංක 1 පන්දු යවන්නා වන කාගිසෝ රාබඩා එහි ප්‍රධානියාය. තරගය ඇරඹී යොමු කරන ලද 6 වැනි ඕවරයේදීම ශිකර් ධවාන්ගේ කඩුල්ල දවා ගත් රාබඩා තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත් කිරීමේ පළමු උත්සාහ ලබා ගත්තද ඉන්දීය නායකයා (18) මෙන්ම කේ.එල් රාහුල් (26) සහ මහේන්ද්‍ර සිං දෝනි (34), රෝහිත් ෂර්මාගේ ඉනිම වටා සාර්ථක සම්බන්ධතා ගොඩනැංවීමට දායක වීම නිසා පරාජිත අවධානමෙන් මිදී ජයග්‍රාහී අවසානයකට තරගය පරිවර්තනය කර ගැනීමට ඉන්දියාවට හැකිවිය.

“මේ වගේ තත්ත්වයන් වලදී බොහෝ පිතිකරුවන් බලන්නේ තමන්ට ඕන විදියට වට පිටාව නිර්මාණය කරගන්න එක. නමුත් ඔහු ඒ තත්ත්වයන් යටතේම ක්‍රීඩා කළා. ඔහු ගොඩක් තරග ක්‍රීඩා කරලා තියෙනවා. හැම පිතිකරුවකුගෙන් වගේම රෝහිත්ගෙනුත් අපි පරිණත භාවය සහ වගකීමක් බලාපොරොත්තු වෙනවා. මම ඔහු මීට කළින් ක්‍රීඩා කරලා තියෙන සුවිශේෂී ඉනිම සියල්ලම දැකලා තියෙනවා. නමුත් මගේ දැනීමේ හැටියට සහ මම හිතන විදියට මේ ඉනිම තමයි ඔහු ක්‍රීඩා කරපු හොඳම ඉනිම කියලා දකින්නේ. මොකද කියන්නේ මේ ඉනිමෙදි කිසිම අවස්ථාවකදි ඔහු බුරුලක් දුන්නේ නැති නිසා” යැයි කෝලි කියයි.

“ඔහු තරගය පාලනය කළ හැටි හරිම ලස්සනයි. විශේෂයෙන්ම එක් අන්තයකින් ඉඳගෙන ඔහු පන්දුවට පහර දෙන කොට පොඩි පොඩි සම්බන්ධතා ගොඩ නැගීමේ අවස්ථාව අනිත් පැත්තෙන් පන්දුවට පහර දුන්න පිතිකරුවන්ට හිමි වුණා. අන්න ඒක තමයි මේ ලකුණු සංඛ්‍යාව හඹා යෑමට අපිට පහසු වුණේ. මේ සියල්ල වුණේ රෝහිත් ක්‍රීඩා කරන ලද ඉනිම හරහායි. දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකෙ හොඳම පන්දු යවන්නන් සතු කණ්ඩායමක්. බැරි වෙලාවත් කඩුලු කීපයක් ඉක්මනින් දැවී ගියා නම් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අන්න ඒකයි මම කියන්නේ රෝහිත්ගේ ඉනිම සුවිශේෂී ඉනිමක් කියලා”යනුවෙන් සිය සමකාලීනයාගේ ඉනිම පිළිබඳව තවදුරටත් වර්ණනා කරයි.


වෙලාව එනකම් ඉවසුවා

දක්ෂ පන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පිලට ක්‍රීඩා කරන ලද තරග විලාශය තමාගේ ස්වාභාවික තරග විලාශය නොවන බව පවසන ශතකලාභී රෝහිත් ෂර්මා තමාට ඕනෑ පරිදි පන්දුවට පහර දීමට කාලය එළැඹෙන තෙක්ම ඉවසීමෙන් බලා සිටීමට සිදුවූ බව සඳහන් කර සිටියි.

“අපේ ඉනිම පුරාවටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. එතැනදි පන්දුව හැසිරෙන විදිය පිළිබඳව අවබෝධය ලබා ගැනීම තමයි මුලින්ම කළේ. ඒ නිසා ස්වභාවික තරග විලාශයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. විශේෂයෙන්ම ඒ සඳහා කාලය එනකම් බලා සිටීමට සිද්ධ වුණා. එතැනදි මම වෙනදට එල්ල කරන පහර වල් සියල්ලම එල්ල කිරීමේ හැකියාවක් තිබුණේ නෑ. ඒ සියල්ලම කපා දැමීමට මට සිද්ධ වුණා. ගොඩක් වෙලාවට පන්දුව ඇඟ අසළට එනකම්ම ඉඳලා තමයි පන්දුවට පහර දෙන්න සිද්ධ වුණේ. හරියට එය මූලාරම්භක අවස්ථාවන්හි පන්දුවට පහර දෙන අවස්ථාවක් වගේ. ඔබ තරගය නැරඹුවනම්, මම ගොඩක්ම කළේ පන්දුව නිදැල්ලේ යැවීමට හැරිය එක. එහෙම කළේ තණතීරුව පිළිබඳව හොඳ අධ්‍යයනයක් ලබා ගන්න. මේ වගේ අවස්ථාවකදී තරගයක් ජයග්‍රහණය කිරීමට කඩුලු අතර ගොඩනැංවෙන සම්බන්ධතා ඉතාම ත් වැදගත්. එය පොඩි ලකුණු සංඛ්‍යාවක් වුණත් ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය බැළුවහම ඒක ලබාගන්නවා කියන්නේ හරි අමාරු වැඩක්” යැයි රෝහිත් අදහස් දක්වයි.

නව අදහස දක්වන්න