මිලියන ගණන් තෑගි බෙදන සී.එම්.බී. ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය 29-30 | දිනමිණ


 

මිලියන ගණන් තෑගි බෙදන සී.එම්.බී. ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය 29-30

මේ මස 29 -30 දෙදින පැවැත්වෙන සී. එම්.බී. ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයකට අධික මුදල් ත්‍යාග පිරිනැමෙන බව තරග සංවිධායකයන් වන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් (CMB) සංගමය නිවේදනය කරයි.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින දෙකක් පුරා පැවැත්වෙන මේ ශූරතාවලියේදී ප්‍රවීණයෝ වයස් කාණ්ඩ අටක් යටතේ තරග බිමට පිවිසෙති. අවුරුදු 35න් ඉහළ, 40, 45, 50, 55, 60, 65 සහ අවුරුදු 70න් ඉහළ කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල වශයෙන් මෙහිදී තරග පැවැත්වෙයි. මීට අමතරව අවුරුදු 100න් ඉහළ, 110න් ඉහළ සහ 120න් ඉහළ වයස් කාණ්ඩවලදී කාන්තා හා පිරිමි යුගල තරග ඇතුළත් කර තිබේ.

ශූරතාවලියේ විවිධ වයස් කාණ්ඩවල ජයග්‍රාහකයන්ට සහ අනුශූරයන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර තුන්වැනි ස්ථානය දක්වා ජයග්‍රාහකයන්ට පදක්කම් සහ සහතික පත් පිරිනැමේ. මේ ශූරතාවලිය සියලුම ශ්‍රී ලාංකික ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත වන අතර මෙරට නේවාසික වීසා බලපත් හිමි විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද එක්විය හැකිය.

හිටපු ජාතික පුහුණුකරු ප්‍රදීප් වෙලගෙදර මහතා තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර රමණී පොන්නම්බලම් මහත්මිය තරගාවලි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ඇත. තරගාවලියේ තීරකවරයා ලෙස සංජීව විජේසේකර මහතා සහ නියෝජ්‍ය තීරකවරිය ලෙස සමන්ති නවරත්න මෙනෙවිය කටයුතු කිරීමට නියමිතය.

සී. එම්.බී. ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අයැදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුකෙරෙන අතර මේ සඳහා සහභාගිවීමට කැමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මස 14 වැනිදාට පෙර තරගාවලියේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකිය. https://ceylonmasters.com/index.php/online-registration-portal/.

මෙම වෙබ් අඩවි පිටුව ජූනි 14 වැනිදා මධ්‍යහ්න 12.59ට ස්වයංක්‍රියව නිමාවට පත්වනු ඇත. වෙබ් අඩවියට අමතරව කොළඹ 2, වොක්ෂෝල් වීදියේ අංක 284 ස්ථානයේ පිහිටි සී.එම්.බී ප්‍රධාන කාර්යාලයට අයැදුම්පත් බාරදීමට ද හැකිය. එක් තරගකරුවකුට අයැදුම් කිරීමට හැකි වන්නේ තරග අංශ 3ක් පමණි.

සී. එම්.බී. ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ තරග පිළිවෙළ සඳහා කුසපත් ඇදීමේ උත්සවය ජුනි 22 සෙනසුරාදා සී.එම්.බී.ප්‍රධාන කාර්යාලයේදි පෙරවරු 11.00ට ආරම්භ කෙරේ.

මේ පිළිබඳ වැඩි විස්තර කොළඹ 2, වොක්ෂෝල් වීදියේ අංක 284 ස්ථානයේ පිහිටි සී.එම්.බී ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය. නොඑසේ නම් 011 7483545, 0777996699 හෝ විද්‍යුත් තැපෑල [email protected] මගින් හෝ නිල වෙබ් අඩවියෙන් www.ceylonmasters.com ලබාගත හැකිය.

සී.එම්.බී. ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුග්‍රාහකයන් ලෙස මොබිල්, 3M සහ මැක්ෆොයිල් සමාගම් කටයුතු කරති.

නව අදහස දක්වන්න