නෙට්බෝල් පිලේ වෛද්‍යවරයා අදිසි හස්තයකින් කැපෙයි | දිනමිණ


 

නෙට්බෝල් පිලේ වෛද්‍යවරයා අදිසි හස්තයකින් කැපෙයි

ප්‍රින්ස් ගුණසේකර
වෛද්‍ය ලාල් ඒකනායක

එළැඹෙන ජූලි මාසයේ පැවැත්වෙන ලෝක නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමග සහභාගීවීමට සිටි වෛද්‍ය ලාල් ඒකනායක මහතා අදිසි හස්තයකින් කැපී යයි. කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස මුල සිටම හඳුන්වා තරගාවලි හැඳුනුම්පත් සකස් කිරීමට එංගලන්ත ලෝක නෙට්බෝල් තරගාවලි සංවිධායක කමිටුවට වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ නම ඇතුළත් සියලු විස්තර පසුගිය මාසයේදී යවා තිබූ අතර මෙයට දින කිහිපයකට පෙර වෙනත් වෛද්‍යවරියකගේ නම එංගලන්ත සංචිධායකයන් වෙත යවා ඇත.

එංගලන්ත ලෝක නෙට්බෝල් තරගාවලි සංවිධායක කමිටුවට ඊමේල් පණිවිඩයක් යොමුකොට කණ්ඩායමේ වෛද්‍යවරයා වෙනස් කිරීමට හැකිද යන්න විමසා ඇති අතර එයට ලැබුණ පිළිතුර අනුව වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ නම කපා දැමීම පහසුවී ඇත. මෙතෙක් ශ්‍රී ලංකා නෙට්බෝල් පිල සමග දිගින් දිගටම සංචාර ගණනාවකට එක්වූ වෛද්‍යවරයා හදිසියේම වෙනස් කිරීම පිළිබඳ ක්‍රීඩිකාවන්ගේ දැඩි කණස්සල්ල පළවී ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය ද මේ පිළිබඳ පාර්ශ්ව කිහිපයකින්ම කරුණු විමසා ඇතැයි වාර්තා වේ. ආසියානු නෙට්බෝල් ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී වෛද්‍ය ලාල් ඒකනායක මහතා දැක්වූ සේවය මිළ කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘දිනමිණ’ට පැවැසීය

මෙවර ලෝක නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමග වෛද්‍යවරියට අමතරව සම්භාහකයෙකු ද යොදා ගැනීමට කටයුතු යොදා ඇති අතර මුල්වරට සහය කළමනාකාරීවරියක් අවශ්‍ය බවට ද යෝජනාවී ඇත. එහෙත් එංගලන්තයට යන නෙට්බෝල් පිලේ කළමනාකාරී කමිටුවට ඊයේ වනවිටත් ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමිව නොතිබුණි.

ලෝක නෙට්බෝල් තරගාවලියට පෙරහුරු සංචාරයක් ලෙස ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් පිල පසුගිය සතියේදී බොට්ස්වානා බලා පිටත්වූ අතර එහිදී වෛද්‍යවරයෙකු නොමැතිව සහය කළමණාකාරිනියකගේ සේවය ලබා ගැනීම පිළිබදව කතාබහට ලක්විය. ලෝක තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීනිය ලෙස ට්‍රික්සි නානායක්කාර මහත්මිය නම් කොට ඇති අතර තිලකා ජිනදාස මෙනවිය පුහුණුකාරිනිය වේ.

නව අදහස දක්වන්න