කැන්ගරුවෝ ඉදිරියේ කොදෙව්වෝ දණ ගසති | දිනමිණ


 

කැන්ගරුවෝ ඉදිරියේ කොදෙව්වෝ දණ ගසති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් ප්‍රබල බටහිර ඉන්දීය කොදව් පිල පරදවා ලකුණු 15ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් විය.

පාකිස්තානයට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් සමගින් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ කොදෙව් පිල ඉන් පෙර පැවැති පුහුණු තරගයකදී නවසීලන්තයට එරෙහිව ලකුණු 421ක දැවැන්ත ඉනිමක්ද ක්‍රීඩා කරමින් එංගලන්ත තණතීරුවලට මනාව හුරුවී තිබිණි. එහෙත් ඊයේ නොටිංහෑම් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 49කදී සියල්ලන් දැවී ලබාදුන් ලකුණු 289 ඉලක්කය හඹාගිය කොදෙව්වන්ට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 273ක් පමණි.

කොදෙව් ඉනිමේ ලකුණු 7ක් වෙද්දී පළමු කඩුල්ල ලෙස එවින් ලුවිස් (1) දෙවැනි ඕවරයේදී දැවී ගිය අතර මිචෙල් ස්ටාක් හමුවේ දැවී යෑමේ අවස්ථා දෙකකින් ගැලවුණු ක්‍රිස් ගේල් ස්ටාක් යැවූ ඊළඟ ඕවරයේ සිවුවැනි පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.

ස්ටාක් යැවූ තෙවැනි ඕවරයේ සිවුවැනි සහ 6 වැනි පන්දුවලින් ගේල් කඩුල්ල මුවා කළ බවට පිටියේ විනිසුරු ක්‍රිස් ගෆනි තීරණය කළ අතර එම තීරණයට අභියෝග කළ ගේල්, විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයේ සහයෙන් නොදැවුණු ක්‍රීඩකයකු බවට පත්විය. එහෙත් ස්ටාක්ගේ ඊළඟ ඕවරයේදී ගෆනි විනිසුරු විසින් ගේල් කඩුල්ල මුවා කරමින් දැවී ගිය බවට සංඥා කළ අතර ගේල් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයේ සහය ඉල්ලා සිටියද තෙවැනි විනිසුරුගේ තීරණයද එයම විය. පන්දු 17කට මුහුණදුන් ගේල් හතරේ පහර 4ක් සමගින් ලකුණු 21ක් රැස් කළේය.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ශායි හෝප් මුළු ලකුණු සංඛ්‍යාව 190 දක්වා ඉදිරියට ගෙන යෑමෙන් පසු 5 වැනි කඩුල්ල ලෙස පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 68ක් ලබා සිටියදීය. හතරේ පහර 7ක් එල්ල කරමින් පන්දු 105කට මුහුණදුන් හෝප්, නිකොලස් පූරන් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 68ක්, ෂිම්රොන් හෙට්මයර් සමග 4 වැනි කඩුල්ලට ලකුණු 50ක් හා නායක හෝල්ඩර් සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 41ක් එක් කළේය. පූරන් පන්දු 36කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40ක් සහ හෙට්මයර් ලකුණු 21ක් ඉනිමට එක් කළහ.

ලකුණු 216දී ඇන්ඩ්‍රි රසල් (15) පිටියෙන් ඉවත් කළ මිචෙල් ස්ටාක්, මුළු ලකුණු 252දී කාලොස් බ්‍රැත්වේට් (16) සහ ජේසන් හෝලඩර් ද, 256දී ශෙල්ඩොන් කොට්රල් (1) පිටියෙන් ඉවත් කරමින් ඔස්ට්‍රේලියාවේ ජය මාවත විවර කළේය. පන්දු 57කට මුහුණදුන් හෝල්ඩර් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51ක් රැස් කළේ 8 වැනි අර්ධ ශතකය ලෙසිනි.

හෝල්ඩර් ලකුණු 7ක් සහ 23ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට පිටියේ විනිසුරු රුචිර පල්ලියගුරු මහතා විසින් තීරණය කළ අතර එම අවස්ථා දෙකේදීම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයේ පිහිටෙන් තවදුරටත් පිටියේ රැදී සිටීමට ඔහුට හැකිවිය. කොදෙව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 79කට බිඳ වැටී තිබියදී ඉනිම ගොඩනැගීමේ බර කරට ගත් ස්ටීවන් ස්මිත් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 249 දක්වා ඉදිරියට ගෙන ගොස් තිබිණි.

ස්මිත්ට අනගි සහයක් ලබාදුන් ඇලෙක්ස් කෙරී 6 වැනි කඩුල්ලට පන්දු 87කින් ලකුණු 68ක් සහ නේදන් කුල්ටර් නයිල් 7 වැනි කඩුල්ලට පන්දු 82කින් ලකුණු 102ක සබඳතා ගොඩනැගීමට සමත් වූහ.

ලකුණු 79දී ස්මිත්ට එක්වූ කෙරී හතරේ පහර 7ක් සමගින් පන්දු 55කින් ලකුණු 45ක් ලබාසිටි 6 වැනි කඩුල්ලට ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 147කි. අනතුරුව ස්මිත්ට එක්වූ කුල්ටර් නයිල් වේගවත් පිතිහරඹයක් දියත් කළ අතර ලකුණු 102කින් ගොඩනැගු සබඳතාව ඔශේන් තෝමස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 249දී බිඳ වැටුණේ ස්මිත් ලකුණු 73කට දැවී යෑමෙනි.

19 වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ ස්මිත් පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් එල්ල කර තිබිණි. ස්මිත්ගේ දැවී යෑමෙන් නොනැවතුණු කුල්ටර් නයිල් සුපුරුදු ප්‍රහාරය තව දුරටත් ගෙන යමින් සිටියදී මුළු ලකුණු 284දී ඉනිම නිමා කිරීමට කාලෝස් බ්‍රැත්වේට් සමත් විය. සිය මංගල එක්දින ජත්‍යන්තර අර්ධ ශතකය රැස්කළ ඔහු දැවී යනවිට පන්දු 60කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 92කි. හතරේ පහර 8කින් සහ හයේ පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. කුල්ටර් නයිල් සමගින් අවසන් කඩුලු 3 බිඳ දමමින් ඉනිම ලකුණු 288කට සීමා කිරීමට බ්‍රැත්වේට්ට හැකි විය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වූ නායක ඒරන් ෆින්ච් (6) සහ ඩේවිඩ් වොන්ර් (3) ලකුණු 26ක් තුළ දැවී ගිය අතර උස්මාන් කවාජා (13), ග්ලේන් මැක්ස්වෙල් (0) සහ මාකස් ස්ටොයිනිස් (19) වේලාසනින් දැවී ගිය පිතිකරුවන් 5 දෙනා අතරට ඇතුළත් වුහ.‍

නව අදහස දක්වන්න