ශ්‍රී ලංකා - පකිස්තාන ලෝක කුසලාන ඉතිහාසයේ ගැටුම් | දිනමිණ


 

ශ්‍රී ලංකා - පකිස්තාන ලෝක කුසලාන ඉතිහාසයේ ගැටුම්

අද ලෝක කුසලානය තුල ශ්‍රී ලංකාව පකිස්තානය සමග තරගයට මුහුණ දීමට නියමිතයි. 
 
ලෝක කුසලානයේ දැනට වැඩිම (348/8) සහ අඩුම (105/10) ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම පකිස්තානයයි. ඒ වගේම ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදින 8 වෙනි ලෝක කුසලාන තරඟය මෙයයි. 1975 සිට 1992 වන තුරු පකිස්තානය සමග ලෝක කුසලාන තරඟ 6කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ 6ම පරාජයට පත් විණි. නැවත ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය සමඟ තරඟ වදින්නේ 2011 ලෝක කුසලානයේදීය. ඒ 2011 ලෝක කුසලාන තරඟාවලියේ දෙපිලම සහභාගි වන දෙවන තරඟය ලෙසයි. 
 
මින් පෙර පැවති තරඟය අති විශිෂ්ඨ අන්දමින් ජය ගත් කණ්ඩායම් දෙකම ජයග්‍රාහී මානසිකත්වයකින් තරඟයට පිවිසිය. ඒ ශ්‍රී ලංකාව කැනඩා කණ්ඩායම ලකුණු 210 කින්ද, පාකිස්තානය කෙන්යානුවන් ලකුණු 205 ක්ද ලෙසිනි. 2011 පෙබරවාරි 26 දින දිවා රාත්‍රී තරඟයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 277ක් ලබා ගත්හ. මිශ්බා උල් හක් පන්දු 91 කදී නොදැවී ලකුණු 83 ක්ද, යුනිස් ඛාන් පන්දු 76 කදී ලකුණු 72ක්ද වාර්තා කළේය. රංගන හේරත් සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් බිඳ හෙලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 266 ක් පමණි. පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චාමර සිල්වාය. පන්දු 78 කට මුහුණ දුන් ඔහු ලකුණු 57ක් ලබා ගත්තේය. තවද කුමාර සංගක්කාර පන්දු 61කදී ලකුණු 49ක්ද, තිලකරත්න දිල්ශාන් පන්දු 55 කදී ලකුණු 41 ක්ද, උපුල් තරංග පන්දු 43කදී ලකුණු 33ක්ද, නුවන් කුලසේකර වේගවත් ලකුණු 24 ක් පන්දු 14 කදී ද ලබා ගත්හ. අනෙකුත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව හෝ පසුකර යාමට අසමත් විය. පළමු තරඟයේදී මෙන්ම මෙම තරඟයේදීද ශ්‍රී ලංකා පිලේ ආරම්භක පන්දු යවන්නා වූ ලසිත් මාලිංග ක්‍රීඩා නොකළේය. තරඟයේ වීරයා කඩුලු 4/34(10) ක් ලබා ගත් ශහීඩ් අෆ්‍රිඩි. ඔහු පන්දු 12කදී 4 පහරවල් තුනක්ද සමගින් ලකුණු 16ක් ලබා ගත්තේය. 
 
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය හැරුණු විට ශ්‍රී ලංකාව එම තරඟාවලිය තුළ ලැබූ එකම පරාජය මෙයයි.
 
ලෝක කුසලාන ඉතිහාසයේ දෙපිලේ හමුවීම් 
 
01. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පළමු වරට ලෝක කුසලානය තුළ හමුවන්නේ 1975 ලෝක කුසලානයේදීය. ඒ ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානය සහභාගි වූ තෙවන ලෝක කුසලාන තරඟය ලෙසයි. 
 
1975 ජුනි 14 
Trent Bridge, Nottingham, එංගලන්තය.
12 වෙනි තරඟය.
කාසියේ වසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්තාව පාකිස්තානුවන්ට ලබා දුන්හ.
 
පාකිස්තානය 330/6 (60)
සහීර් අබ්බාස් 97(89)
ටෝනි ඕපාත 2/67 (12)
 
ශ්‍රී ලංකව 138/10 (50.1)
අනුර තෙන්නකෝන් 30(36)
ඉම්රාන් ඛාන් 3/15 (7.1)
 
පාකිස්තානය ලකුණු 192කින් ජය ලැබීය.
තරඟයේ වීරයා සහීර් අබ්බාස්.
 
1979 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය ඛාන්ඩ දෙකක ක්‍රීඩා කළ හෙයින් එකිනෙකා මුණගැසෙන්නේ නැත. පාකිස්තානය අවසන් පූර්ව තරඟ සඳහා තරඟ දෙකක් ජයග්‍රහණය කරමින් සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකාව තම ප්‍රථම ලෝක කුසලාන ජය ඉන්දියාවට එරෙහිව ලබා ගත්තේය. ඒ ලකුණු 47කිනි. යම් හෙයකින් ඉන්දියාව නවසීලන්තයට හෝ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළේ නම් ශ්‍රී ලංකාව නිසැකවම 1979 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබීමේ භාග්‍ය උරුම කර ගන්නේය. 
 
02/03. ශ්‍රී ලංකාව දෙවන වරට මෙන්ම තෙවන වරටද පාකිස්තානය හා ලෝක කුසලාන තරඟයකදී හමු වන්නේ 1983 ලෝක කුසලානයේදීය. මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව ජයගන්නේ නවසීලන්තයට එරෙහි තරඟය පමණි. ඒ කඩුලු තුනකින්ය.
 
ප්‍රථම තරඟය.
 
1983 ජුනි 09
St. Helen's, Swansea, එංගලන්තය.
දෙවන තරඟය.
කාසියේ වසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව් පන්දුවට පහර දීමේ අවස්තාව පාකිස්තානුවන්ට ලබා දුන්හ.
 
පාකිස්තානය 338/5 (60)
සහීර් අබ්බාස් 82 (81)
මෝහ්සින් ඛාන් 82 (121)
අශාන්ත දි මෙල් 2/69 (12)
 
ශ්‍රී ලංකාව 288/9 (60)
බ්‍රෙන්ඩන් කුරුප්පු 72(101)
සෆ්‍රාස් නවාස් 3/40 (12)
 
පාකිස්තානය ලකුණු 50කින් ජය ලැබීය.
තරඟයේ වීරයා මොහ්සින් ඛාන්.
 
දෙවන තරඟය.
 
1983 ජුනි 16
Headingley, Leeds, එංගලන්තය.
පහළොස්වන තරඟය.
කාසියේ වසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව් පන්දුවට පහර දීමේ අවස්තාව පාකිස්තානුවන්ට ලබා දුන්හ.
 
පාකිස්තානය 275/7 (60)
ඉම්රාන් ඛාන් 102(133)
අශාන්ත දි මෙල් 5/39 (12)
 
ශ්‍රී ලංකාව 224/10 (58.3)
සිදත් වෙත්තමුනි 50(127)
අබ්දුල් කාදීර් 5/44 (12)
 
පාකිස්තානය ලකුණු 11කින් ජය ලැබීය.
තරඟයේ වීරයා අබ්දුල් කාදීර්.
 
04/05. 1987 ලෝක කුසලානය තුළද ශ්‍රී ලංකාව හා පාකිස්තානය දෙවරක් මුණ ගැසිණ. පන්දුවාර 50 බැගින් භාවිතා කළ ප්‍රථම ලෝක කුසලානය මෙයයි. (පෙර පැවතියේ පන්දුවාර 60 බැගිනි.) මෙම ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් කිසිදු තරඟයක් ජයගැනීමට සමත් වන්නේ නැත.
 
පළමු තරඟය. 
1987 ඔක්තෝබර් 08
Niaz Stadium, Hyderabad, පාකිස්තානය.
පළමු තරඟය.
කාසියේ වසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 
 
පාකිස්තානය 267/6 (50)
ජාවෙඩ් මියන්ඩාඩ් 103(100)
රවී රත්නායක 2/47 (9)
 
ශ්‍රී ලංකාව 252/10 (49.2)
රොශාන් මහානාම 89(117)
අබ්දුල් කාදීර් 2/30 (10)
 
පාකිස්තානය ලකුණු 15කින් ජය ලැබීය.
තරඟයේ වීරයා ජාවෙඩ් මියන්ඩාඩ්.
 
දෙවන තරඟය.
1987 ඔක්තෝබර් 25
Iqbal Stadium, Faisalabad, පාකිස්තානය.
17 වන තරඟය.
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
 
පාකිස්තානය 297/7 (50)
සලීම් මලික් 100(95)
අරවින්ද ද සිල්වා 1/37(6)
 
ශ්‍රී ලංකාව 184/8 (50)
දුලීප් මෙන්ඩිස් 58(65)
අබ්දුල් කාදීර් 3/40(10)
 
පාකිස්තානය ලකුණු 113කින් ජය ලැබීය.
තරඟයේ වීරයා සලීම් මලික්
 
06. ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වීමට පෙර පාකිස්තානය හමුවූ අවසාන අවස්තාව මෙයයි. ඒ 1992 ලෝක කුසලානයේදීය. මෙහිදී ශ්‍රී ලංකාව පිළිවෙලින් සිම්බාබ්වට සහ දකුණු අප්‍රිකානුවන්ට එරෙහි තරඟ දෙකමකඩුලු තුනකින් ජය ගැනීමට සමත් විය. දකුණු අප්‍රිකානුවන් සහභාගී වූ ප්‍රථම ලෝක කුසලානය මෙය වූ අතර ඔවුන් එහි අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙතෙක් පැවති තරඟ වලින් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදුන් එකම තරඟය මෙම තරඟයයි. 
 
1992 මර්තු 15
WACA Ground, Perth, ඕස්ට්‍රේලියාව.
33 වන තරඟය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
 
ශ්‍රී ලංකාව 212/6 (50)
අරවින්ද ද සිල්වා 43(56)
මුශ්ටාක් අහ්මඩ් 2/43 (10)
 
පාකිස්තානය 216/6 (49.1)
ජාවෙඩ් මියන්ඩාඩ් 57(84)
චම්පක රාමනායක 2/37(10)
 
පාකිස්තානය කඩුලු 4කින් ජය ලැබීය.
තරඟයේ වීරයා ජාවෙඩ් මියන්ඩාඩ්.
 
1996 ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වන්නේ අපරාජිතවයි. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාව හා පැවති තරඟ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම තරඟ ද්විත්වය ශ්‍රී ලංකාවට නිතරඟයෙන් ජය ලැබුණි. මෙම ලෝක කුසලානයේදී පාකිස්තානය ශ්‍රී ලංකාවට හමු වූයේ නැත.
 
එලෙමස 1999,2003,2007,2015 ලෝක කුසලාන තරඟාවලි තුලද ශ්‍රී ලංකාව හා පාකිස්තානය එකිනෙකා මුණගැසී නැත.
 
ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්දින තරඟ වලදී කොතෙකුත් හමුවී තිබුණද ලෝක කුසලාන තරඟ වලදී පාකිස්තානය පරදවා කිසිදු තරඟයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී නැත. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අභියෝගය අද දින ජයගනු ඇතැයි ශ්‍රී ලාංකික සියලුම ප්‍රේක්ෂකයින්ගේ අපේක්ෂාවයි.

නව අදහස දක්වන්න