මහනායක හිමිවරුන්ගේ මතයේම එජාපය සිටිනවා | දිනමිණ


 

මහනායක හිමිවරුන්ගේ මතයේම එජාපය සිටිනවා

කමනි අල්විස්

මුස්ලිම් ඇමැතිවරුන් ධුරවලින් ඉවත්වීම පිළිබඳ මහානායක හිමිවරුන් දරන මතයේ ම එක්සත් ජාතික පක්ෂය සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.

ජනාධිපතිවරයාත්, ඥානසාර ස්වාමීන් වහන්සේත් ඒ හා සමාන මත පළ කර ඇති බව පැවසූ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ගිනිගෙන දැවෙන රට ජාතිය සමඟියෙන් සහජීවනයෙන් සුවපත් කිරීමට මහානායක ස්වාමීන් වහන්සේලා පෙරේදා (5) සිදු කළ ප්‍රකාශය ගෞරවපූර්වකව අගය කරන බව අවධාරණය කෙළේය.

වගකීම් භාරගෙන නැවත පාලන තන්ත්‍රයට ප්‍රවිෂ්ඨ වී මහජන සේවයේ යෙදෙන ලෙසටත් ධූරවලින් ඉවත්වුණ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලමින් ධූරවලින් ඉල්ලා අස්වීම පිළිබඳ උන්වහන්සේලාගේ සංවේගය පළ කර තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රතන හිමියන් වීරයකු බවට පත් කිරීමට උත්සාහ ගනිමින් විපක්ෂයේ පොහොට්ටුවේ නියෝජිතයෝ ගම්, බස් සංගම්, ත්‍රීරෝද රථ සංගම්, වෙළෙඳ සල් උසිගන්වමින් ගමනාගමනය නතර කරමින් වෙළෙඳසල් වසා දමා රට අරාජික ස්වභාවයට පත් කිරීමට පියවර ගැනීම හමුවේ මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත් වූ බව පැවසූ මන්ත්‍රීවරයා මෙය වැරැදි පූර්වාදර්ශයක් ලෙස මහානායක හිමිවරුන් ප්‍රකාශ කර තිබෙන බවත් මෙය රටක නරක තත්ත්වයක් ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බවත් පෙන්වා දුන්නේය.

මුදුන් මල්කඩ වන මහානායක ස්වාමීන් වහන්සේලා අවබෝධයෙන් ක්‍රියා කිරීම පිළිබඳ ගෞරවය පුද කරන බව පැවසූ මන්ත්‍රීවරයා සහරාන්ලා වැන්නවුන් හේතුවෙන් ලක්ෂ විසිදෙකක් පමණ වන මුස්ලිම් ජනතාව වෙන් කිරීමේ භයානක තත්ත්වය මහානායක හිමිවරුන් මැනවින් අවබෝධ කර ගත් බවත් සඳහන් කෙළේය.

මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (6) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

නව අදහස දක්වන්න