ජනපතිටයි අමාත්‍යාංශයටයි විතරක් පරිසරය රකින්න බැහැ | දිනමිණ


 

ජනපතිටයි අමාත්‍යාංශයටයි විතරක් පරිසරය රකින්න බැහැ

සමන්මලී ප්‍රියශාන්ති

සෑමදෙනාම එක්විය යුතුයි

පරිසරය රැකීම ජනාධිපතිට හෝ පරිසර අමාත්‍යංශයට පමණක් කළ නොහැකි බවත් රට ගොඩනැඟීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම, ගෝලීය උෂ්ණත්වය සහ වායු දූෂණය අවම කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා සියලු දෙනා එකට එකතු වී කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර පරිසර දින සැමරුම් උළෙලට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (06) එක්වෙමිනි. මෙහිදී රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ සිසුවිකට රුපියල් ලක්ෂ 15ක මුල්‍යමය ත්‍යාගයක් පිරිනැමුණු අතර ඇය ලන්ච්ෂීට්වලට ආදේශකයක් සොයා ගැනීමට කටයුතු කර තිබිණි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ලෝක පරිසර දිනය ජුනි 5 වැනිදාට යෙදී තිබුණත් එය අද දිනට යොදා ගන්නට අපට සිදු වුණා. පසුගිය 30 වැනිදා සිට අද දක්වා රට පුරා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කළා. ජාත්‍යන්තර ලෝක පරිසර දිනය නම් කරලා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්. එහි පරිසර අංශය මේ ගැන පුර්ණ වගකීම දරමින් ජාත්‍යන්තර විද්වතුන්, පරිසරවේදීන් විසින් කරනු ලබන මඟ පෙන්වීම් හා උපදෙස් සාමාජික රටවල්වලට ලබා දෙනවා. අපේ රටේ ජාතික වශයෙන් සිටින විද්වතුන් පරිසරවේදීන් සියලු දෙනා රට වශයෙන් ගන්නා තීන්දු තීරණ හා අන්තර්ජාතික වශයෙන් ගන්නා තීන්දු තීරණ අනුව අපිත් පරිසර සංරක්ෂණය පිළිබඳව අපේ වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටිනවා.

මා ජනාධිපති ධුරයට එන්නට පෙර අත්‍යවශ්‍ය ගමන් බිමන් ගුවනින් යන විට මට හිතෙන දෙයක් තිබෙනවා. මට හිතට එන්නේ පාසල් දරුවන් මේ විදිහට ගුවනින් ගෙන ගොස් රටේ පරිසරය පෙන්වන්නට තිබුණා නම් කියලා. මට එවැනි අදහසක් එන්නේ මේ රට මොන තරම් ලස්සන රටක් ද කියලා පේන්නේ උඩින් යන විටයි. අපි රට දකින්න නම් ගුවනින් යා යුතුයි. මොන තරම් ස්වාභාවික සම්පත්වලින් අනූන මහා සුන්දර රටක් ද අපේ රට. මේ රටේ කුමන පළාතට ගියත් සුන්දරයි. මා ඉන්දීය අගමැතිවරයා සමඟ එතුමාගේ නිල හෙලිකොප්ටරයෙන් දිල්ලියේ සිට තවත් ප්‍රදේශයකට ගියා. එහිදි මා මුළු ගමන තුළම දැක්කේ ගහක් කොළක් නැති දුෂ්කර පරිසරයක් පමණයි. මම මෝදි අගමැතිතුමාට කිව්වා මගේ රටේ මුළු රටේම තන නිල්ල, මහා වනාන්තර, පොල් වතු වැනි වැවිලි ක්ෂේත්‍රයක් දකින්න පුළුවන් බව.

අපි තවමත් ප්‍රමාද නැහැ අපේ රට රැක ගන්න. අපේ වගකීම් හා යුතුකම් ඉටු කළොත් අපිට පුළුවන් මේ රට විශේෂයෙන් ම වායු දූෂණයෙන් අවම වු සුන්දර රටක් ලෙස පවත්වා ගෙන යන්න. ගිය සතියේත් මා දිල්ලිවලට ගියා අගමැති මෝදි ගේ දිවුරුම්දීමේ උත්සවයට. හිටපු හෝටලයේ සිට වාහනයට නගින්න ආ විට දැනෙන්නේ පෝරණුවක් ඇතුළට යනවා වගෙයි. උෂ්ණත්වය ඉතා ඉහළයි. ඇතැම් මිනිස්සු මැරෙනවා. පාරේ ඉන්න බැහැ කිසිවකුටත්. නමුත් මා එහි සිටි දවස් දෙකේ ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය 30, 32 යි. කොළඹට වැස්ස.

වායු දූෂණය පිළිබඳ ලෝකේ රටවල තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඝන මීටරයට 32 යි. මේ තත්ත්වය රැක ගැනීමට අපි ප්‍රායෝගිකව මොනවද කළේ, මොනවද කළ යුත්තේ කියලා හිතන්න ඕනේ. අපි ඒ ප්‍රතිපත්තිමය දර්ශනය වශයෙන් විද්‍යාත්මක දැනුම දෙනවා. මා දෙදහස් හතේ පරිසර ඇමැතිවරයා වශයෙන් ඉන්න විට තමයි ද්විත්ව බල ත්‍රීවීල් රථ තහනම් කළේ. ඒ ගැසට් නිවේදනය ගැහුවේ අවුරුදු 5 ක් ඉස්සරහට තියලා. ඒ අවස්ථාවෙම නිකුත් කළොත් ප්‍රශ්නයක් වෙන නිසයි එසේ කළේ.

ඒ වගේම 2007 පොලිතින් තහනම ගැසට් කළා. 2007 ට පෙර ලංකාවේ මහ පාරේ මස් කඩ තිබෙනවා. පාර අයින්වල එල්ලලා විකුණනවා. එයත් ගැසට් නිවේදනයකින් නැවැත්තුවේ මමයි. එයත් 2007 දී. පොලිතින් තහනම ගැසට් එක ගැහුවත් ක්‍රියාත්මක වුණේ නැහැ. පොලිතින් තහනම් ගැසට් එක නිකුත් කළ විට ඊට එරෙහිව පෙලපාලි ගිය එකම රට අපේ රට තමයි.

මගේ පොලිතින් තහනම තාවකාලිකව ඉවත් කරන්න එක්තරා පුද්ගලයෙක් උත්සහ ගත්තා. නමුත් මා කැබිනට් මණ්ඩලයේ කිව්වා එය ඉවත් කරන්නේ නැහැ කියලා. පොලිතින් කොම්පැණිකාරයෝ, ජාවාරම්කාරයෝ පෙලපාලි ගියා. අපි ඒ තහනම ඉවත් කළේ නැහැ. නීති රීති තද කරලා පරිසර අංශයටත් බලතල දෙන ගැසට් එකක් අපි ගැහුවා. අපි අදත් ඒ විදිහට කටයුතු කරනවා.

මෙවර පරිසර දින තේමාව වන්නේ තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීමයි. අපි වනාන්තරය ආරක්ෂා කරන්න, සුරක්ෂිත කරන්න, පෝෂණය කරන්න මොනවද කළේ. අපි පළමු වතාවට ලංකාවේ පොලිසියත් එක්ක යුද, නාවික, ගුවන් හමුදා යෙදෙව්වා වනය ආරක්ෂා කරන්න. ගුවන් හමුදාව උඩින් ගිහින් බැලුවා. නාවික හමුදාව මුහුදෙන් ගිහින් ආරක්ෂා කළා. යුද හමුදාව පොලිසිය ඒකාබද්ධ කර ගෙන වැටලීම් කළා.

එක්තරා දවසක මළ ගෙදරකදී එක් පුද්ගලයෙක් මගෙන් ඇහුවා ඔබතුමා පරිසර ඇමැති නේද කියලා. මං කිව්වා ඔව් මගේ අත්සන නැතිව කාටවත් මේ රටේ ගහක් කපන්න බැහැ කියලා. පරිසර ඇමැති ධුරය මේ රටේ කිසිවෙක් බාර ගත්තේ නැහැ. නමුත් මා පරිසර ඇමැති ධුරය බාර ගෙන පළමුවට කළේ පොළොන්නරුවේ වැලි ජාවාරම නැවැත්තුව එකයි. මේ පුද්ගලයා මට කිව්වා හැම තැනම ගස් කපන මැෂින් තිබෙන නිසා ගස් කපන එක තවමත් නතර වෙලා නැහැ කියලා. මේවා තහනම් කරන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. මා දැන් පරිසර ඇමැති වෙලා වසර 4 ක් වෙනවා. මින් පෙර කිසිවකු මේ වගේ අදහසක් මට ඉදිරිපත් කළේ නැහැ. ගස් රකින්න ඕනේ නම් චේන් ෂෝ තහනම් කරන්න කියලා ඒ පුද්ගලයා කිව්වා. පසුව මා පොලිසිය එක්ක මගේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා මේවා නවත්වන්න කියලා නියෝග කළා. ඒ සඳහා සති තුනක කාලයක් දුන්නා. ඒ අනුව 82000 ක් මැෂින් ඒ සති තුනේ ලියාපදිංචි වුණා.

මං ගිය සතියේ පරිසර අධිකාරියට ගියා. එහි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මා කිව්වා ගස් කපන යන්ත්‍ර පිටරටින් ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව. ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තිබෙන රටවල්වල ගස් කපන යන්ත්‍ර සම්පූර්ණයෙන් තහනම්. නිෂ්පාදනය කරන්නත් බැහැ පිටරටින් ගෙන්වන්නත් බැහැ. ශ්‍රී ලංකාවේ අද ගස් කපන යන්ත්‍ර වගේම වඩු මඩු කරනවා. වඩු මඩු තහනම් කරන්නත් මා චක්‍රලේඛ ගේනවා. පිටරටින් ගේන ගස් කපන යන්ත්‍රත් තහනම් කරනවා. ලී මෝල්වලටත් අවුරුදු 5 ක කාලයක් දෙනවා වෙනත් ව්‍යාපාරයක් සොයා ගන්න. ශ්‍රී ලංකාවේ අවශ්‍ය ගෘහ භාණ්ඩ, දැව අවශ්‍යතාවක් තිබෙනවා නම් පිටරටින් ගේන්න පුළුවන්. අඩු තරමින් අවුරුදු 10 ක් මෙය ක්‍රියාත්මක වුණොත් අපට පුළුවන් වන ඝනත්වය දැනට තිබෙන සියයට 28 සියයට 32 දක්වා වැඩි කර ගන්න.

පරිසරය රකින්න ජනාධිපතිට හෝ පරිසර අමාත්‍යාංශයට පමණක් බැහැ. රටක් ගොඩනඟන්න, රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න, ගෝලීය උෂ්ණත්වය අවම කරන්න, වායු දූෂණය අවම කරන්න, පරිසරය පිරිසිදුව තබා ගන්න අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට තිබෙන ලෙඩ රෝග ගත් විට පසුගිය අවුරුදු කිහිපයක සිට වාර්තා වන්නේ බරපතළ ම තත්ත්වය දියවැඩියාව ලෙසයි. අද ඒ වාර්තාව කැඩිලා. අලුත්ම වාර්තාව වන්නේ ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග තමයි තිබෙන්නේ කියලා. අපි ලස්සන සුන්දර රටක්. අපට පුළුවන් මේ රට රැක ගන්න. ඒ නිසා මේ කරුණු කාරණා ගැන අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මේ පරිසර සතිය වගේම මේ පාර්ලිමේන්තුවද මේ සතියේ පැවැත්වෙනවා. මේ ජාතික පරිසර සතියේදී පාර්ලිමේන්තුවේ දී පරිසරය ගැන කතා කරන එක් මන්ත්‍රීවරයෙක් ඉන්නවාද? වැදගත්කමක් නැති සංවාද තමයි රූපවාහිනියෙත් යන්නේ.

ඊයේ අදයි පත්තර කීයක පරිසර සංරක්ෂණය ගැන පරිසර දිනය ගැන පළ වුණාද? මේ ගැන තමයි අපි හිතන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි විසින් කළ යුතු ප්‍රායෝගික වගකීම් ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වේගය වැඩි චීනය, ඉන්දියාව වැනි රටවල් අද දෝෂ දර්ශනයට ලක්වෙලා ඉන්නවා වායු දූෂණය කරන බවට.

චීනයේ වායු දූෂණය නිසා ඇතැම් ප්‍රදේශවලට යද්දි ඔක්සිජන් බෑග් අරගෙන යන්න වෙලා. කර්මාන්ත ශාලා ඉවත් කරන්න සිදු වෙලා. අද අපිට ත්‍රිකුණාමලයේ යකඩ කර්මාන්ත ශාලාවක් ඇති කරන්න ඉල්ලීම් ලැබිලා තිබෙනවා. චීනයේ මේ තත්ත්වය නිසා අපි බලන්න ඕනේ අපිට එන මේ යෝජනා මොනවද කියලා.

මේ සඳහා අපිට දැනුම ඉතා අවශ්‍යයි. අපි දැනුම ගන්න දක්ෂයි; ඒ දැනුම ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රශ්න තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර හා පරිසර අධිකාරයයි තරම් නිලධාරී මහත්වරු පිටරට යන්නේ නැහැ වෙන කිසිම ආයතනයකින්. කොයි තරම් ගියත් ඒ අය ලංකාවට එන විට දැනුම ගුවන්තොටුපළේ තියලා එනවා. මේ ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ, ශිෂ්‍යත්ව ඉල්ලුවත් මෙහෙදී ක්‍රියාත්මක කරන්නේ පරණ දැනුමම තමයි. නමුත් දැනුම ගන්නවා දැනුම ක්‍රියාත්මක වන්නේ නැහැ. දේශපාලකයන් හැර සමස්තයක් ලෙස මේ රටේ රාජ්‍ය සේවය, විශ්වවිද්‍යාල මේ සියල්ල දැනුමෙන් පිරුණු අයයි. ඒ නිසා මේ දැනුම මීට වඩා රටට දෙන්න ඕනේ. ලෝක පරිසර දිනයේදී සෑම අංශයකින් මා කරන ඉල්ලීම තමයි මේ දැනුම මීට වඩා භාවිත කරන්න. ප්‍රායෝගික කරන්න. මේ දැනුම භාවිතයේ විශාල අඩුවක් මේ රටේ තිබෙනවා.

වායු දූෂණයේදී මේ දැනුම කළමනාකරණය කිරීමෙන් මේ රට වාසනාවන්ත රටක් කර ගන්න පුළුවන්. ඒ නිසා පරිසර සංරක්ෂණය කියන්නේ, වායු දුෂණ තත්ත්වයන් සැලකිල්ලට ගැනීම කියන්නේ මේ සෑම දෙනෙක්ගෙම ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ ජීවත් වෙන මිලියන විසි එකකට ආසන්න ජනතාවගේ ප්‍රශ්නයක්. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සෑම කෙනෙක්ම යුතුකම් ඉටු කළ යුතුයි. පාසල් දරුවා තමයි සමාජයට පණිවිඩයක් ගෙන යා හැකි හොඳම පණිවිඩකරුවා. ජාත්‍යන්තර පරිසර දිනයේදී අපේ අධිෂ්ඨානය විය යුතු වන්නේ මේ රට සුන්දර රටක් ලෙස තවත් ඉදිරියට රැක ගැනීමයි. ඒ වගේ ම තවත් වැඩි දෙයක් ලබා ගැනීමට යුතුකම් ඉටු කරමු. ඒ හෙට දවස වෙනුවෙන් අපේ වගකීම් යුතුකම් ඉටු කරමු.

මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා

මේ ලොව පවතින්නේ හිරුගේ රැස් වලිනුත් මවගේ කිරිවලිනුත්ය යන වැකිය ඔබ අසා ඇති. නමුත් වර්තමානයේ හිරුගේ රැස් මෙන්ම මවුගේ කිරිත් මිනිසා ඉදිරියේම විනාශ කර දමන්නේ මිනිසාමයි. හුස්ම ගැනීමට ගහකොළත්, බීමට පානිය ජලයත්, මේ සියල්ල පවතින්නට හිරු එළියත් නැතුවම බැරිය. ලොව උපදින සෑම කෙනකුටම ජිවත් වීමට හෝ හුස්ම ගැනීමට අවැසි ගහ, කොළ, ඇළ, දොළ වියැකී යන්නේ ඔබ නිසාම විය හැකිය. මේ මිහි මත සිටින සෑම ජිවියකුම පවතින්නේ පරිසරය මතය. එමෙන්ම පරිසර රැකෙන්නේද අපි මතය. නමුත් අද වන විට මිනිසා මුහුණ දී තිබෙන ප්‍රබල අභියෝගය තමයි පිරිසිදු වාතය ආශ්වාස කිරීමට නොහැකි වීම. තවත් අවුරුදු 10 ක් පමණ ගත වන විට මේ අභියෝගය තවත් තීව්‍ර වෙනවා. ජනගහන වර්ධනය, මිනිස් ක්‍රියාකාරකම් හා කාර්මීකරණය මෙයට ප්‍රබල හේතුවක් ලෙස සඳහන් කළ හැකියි.

යල් පැනගිය තාක්ෂණය, දුර්වල ආකාරයට නඩත්තු කෙරෙන කාර්මික උපකරණ, ඉන්ධනවල තිබෙන අපද්‍රව්‍ය, අන්තරායකර රසායනික ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් වායූගෝලයට එකතු වීමත්, රථ වාහන වැඩි වීම සහ ඒවායෙන් පිටවන දුමාරය වායූ ගෝලයට එකතු වීමත්, වායූගෝලය දූෂණයට ප්‍රධාන සාධක වී තිබෙනවා. හෙට දින එළිය දකින නූපන් පරම්පරාවට යහපත් හෙට දිනක් උදා කිරීමට නම් අප අද කටයුතු කරන ආකාරය ගැන දෙවරක් සිතීම අනිවාර්ය වෙනවා.

1972 වර්ෂයේ දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැති ජාත්‍යන්තර පරිසර සමුළුවෙහිදී ගන්නා ලද තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම් කර ඇත. පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා පාරිසරික ගැටලු පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.

ඒ අනුව, 2019 ජූනි 5 දිනට යෙදෙන ජගත් පරිසර දිනය ‘වායු දූෂණය‘ යන තේමාව ඔස්සේ චීන රාජ්‍යයේ ප්‍රධාන සත්කාරකත්වය යටතේ සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් වසරකට මිලියන 7ක් පමණ ජනතාව වායු දූෂණය හේතුවෙන් ඇතිවන රෝග තත්වයන් හමුවේ අකාලයේ මිය යන අතර, එයින් ආසියානු පැසිෆික් කලාපයේ පමණක් වසරකට මිලියන 4 ක පමණ ජනතාව මරණයට පත් වෙති. වායූ දූෂණයට නිරාවරණය වීම පෙණහළුවලට මෙන්ම ශරීරියේ අනිකුත් කොටස්වලද පිළිකා ඇතිවීමටද හේතුවෙයි. වායූ දුෂණය පිටත වායූ ගෝලයේ මෙන්ම ගෘහස්ථවද ඇතිවිය හැකියි. උදාහරණ ලෙස උඳුනෙන් පිටවන දුම, දුම් වැටියෙන් පිටවන දුම, මදුරු දගර දැල්වීමෙන් ඇතිවන දුම හැඳින්විය හැක. ඒ අනුව මෙවර 2019 ජගත් පරිසර දිනය නිමිති කොට ගෙන ලොව පුරා විවිධ රටවල් හා කලාපයන්හි වාතයෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පුනර්ජනනීය බලශක්ති සහ හරිත තාක්ෂණය හඳුන්වා දී ඒවා ප්‍රචලිත කිරීම සඳහා ලෝකයේ රටවල කර්මාන්තකරුවන් අතුළු සමස්ත ප්‍රජාවට එක්වන ලෙස මෙවර පරිසර දිනයෙන් ආරාධනා කර සිටියි.

ඡායාරූප - සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය ඒකකය

නව අදහස දක්වන්න