හිටපු ඇමැති රිෂාඩ්ට එරෙහි චෝදනා අදාළ තැන්වලට පැමිණිලි කරන්න | දිනමිණ


 

හිටපු ඇමැති රිෂාඩ්ට එරෙහි චෝදනා අදාළ තැන්වලට පැමිණිලි කරන්න

කමනි අල්විස්

* රතන හිමිගේ උපවාසයෙන් වැඩ ගන්නේ පොහොට්ටුව 
* සහරාන්ලාගේ වැඩවලට සමස්ත මුස්ලිම් ජනතාවම කොන් නොකළ යුතුයි 
* නාමල් කියන රස්තියාදුකාර‍යාගේ කේලම්වලට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමෙන් සහරාන්ට බෝම්බ පුපුරුවන්න අවස්ථාව ලැබුණා

බෝක්කුවල කඩපිල්වල හන්දිගානේ රිෂාඩ් බද්යුදීන් හිටපු ඇමැතිවරයාට චෝදනා නොකර පොලිස් මූලස්ථානයේ ආරම්භ කර තිබෙන පැමිණිලි අංශයට හෝ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ඒ පිළිබඳව දැනුම් දීමට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සදාචාරසම්පන්න විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

සාක්ෂි සහිතව ලිඛිත පැමිණිලි ඉදිරිපත් කරමින් රූප රාමු ඇත්නම් ඒවාද ඉදිරිපත් කිරීමට හැකි බව පැවසූ මන්ත්‍රීවරයා එසේ නැතිව කොරහේ කිඹුලන් බැලීමේ ඵලක් නැති බවද සඳහන් කළේය. මෙම 12දා දක්වා පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිසිය අවස්ථාව දී තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පිටුපසින් සිට පිහියෙන් අනින්නේ නැතිව වෛරී ප්‍රකාශ සිදු නොකරමින් පැමිණිලි ඉදිරිපත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ මන්ත්‍රීවරයා හිටපු ඇමැති බදියුදීන් මහතා රැකගැනීමට අවශ්‍යතාවයක් නැතැයි ද ඒ මහතා වරදක් කර තිබේ නම් නීත්‍යනුකූලව ඒ සඳහා ක්‍රියාමාර්ග ගනු ලබන බවත් පළ කළේය.

මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පවසමින් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළේය.

ගෝලීය ත්‍රස්ත ප්‍රහාරයේ අග මුල සොයමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය ත්‍රිවිධ හමුදාව සාර්ථකව සිදු කරගෙන යනවා. එසේ තිබියදී බලය අතට අරගෙන ඇතැමුන් ක්‍රියා කරද්දී සිහිපත් වන්නේ ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට මඟුල් කියන කියමනයි. සිංහල අන්තවාදීන්ට රට අස්ථාවර කිරීමට රතන හිමියන්ගේ රංගනය උපයෝගී කර ගත්තා. විශ්වාස භංගයට දින නියම කර තිබියදීත් උන්වහන්සේ උපවාසය කිරීමට පෙළඹුණා. තැටිය රත්වුණහම රොටිය පුච්චන්නට මෙය අවස්ථාවක් කර ගත්තේ පොහොට්ටුවේ නියෝජිතයින්. රතන හිමියන් දේශපාලන අරමුණක් මුදුන්පත් කර ගැනීමට වෙර දැරුවා.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ විවිධ ජන නියෝජනයක් අවශ්‍යයයි. ලෝකයේ රටවල් ඉදිරියට යන්නේ එලෙසයි. ද්‍රවිඩ ජනතාව අවි අතට ගත් ප්‍රභාකරන් සමඟ එදා නැගී සිටිය ආකාරය සිහිපත් වෙනවා. මුස්ලිම් ජනතාව එවැනි අන්තවාදයකට ගෙනයාම අපරාධයක්. සහරාන්ලා වැනි උදවිය එකසිය පනහ දෙසීය අතර ප්‍රමාණයකුත් ක්‍රියාකාරීන් එක්දහස් පන්සීයක් පමණ සිටින බව බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා. එසේ තිබියදී ලක්ෂ විසිදෙකක මුස්ලිම් ජනතාව කොන් නොකළ යුතුයි.

මහානායක හිමිවරුන්ගේ මතයේ එක්සත් ජාතික පක්ෂය සිටිනවා. අපගේ පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිතුමා තේරුම් ගෙන තිබෙනවා.

සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමට පොහොට්ටු කණ්ඩායම් පියවර ගත්තා. පාසල් පිළිබඳව භිතිකා ඇති කළා. තේරීම් කාරක සභාව තුළින් ජනතාවට සත්‍ය දැන ගැනීමට මාධ්‍යයට විවෘත කළා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු එහිදී හෙළිවන්නේ නෑ. හෙළි වුණෙත් නෑ.

සහරාන්ගේ තර්ජන පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සෙවිල්ලෙන් විමසිල්ලෙන් සිටියා. අධිකරණ නියෝග රැගෙන සහරාන්ව අත්‍අඩංගුවට ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා සැරසෙද්දී නාමල් කුමාර නමැති රස්තියාදුකාරයකුගේ කීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නවා. ලද අවස්ථාවෙන් ක්‍රියාත්මක වුණ සහරාන් බෝම්බ පිපිරෙව්වා. නාමල් කුමාරලා හුළු අත්ත පත්තු කරගෙන අවුලද්දි සහරාන් අල්ලන්න ගිය නිලධාරියා අත්අඩංගුවට පත් ‍වෙනවා.

රජයට මඩ ගහනවා. රජය මේ කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ. පරීක්ෂණ අංශ කීපයකින් සිදු වනවා. සැබෑ වැරැදිකරුවන් නිවැරැදිකරුවන් හෙළිවෙනවා. බොරුවට නින්දා අපහාස විඳින්න අපගේ රජයට බෑ. බැට කන්නට බෑ. නීතිය හා සාමය ජනාධිපතිතුමා යටතේ තිබෙන්නේ. එතුමා සියල්ල පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනවා.

ධුරවලින් ඉවත්වු මුස්ලිම් ඇමැතිවරුන් වාහන භාරදී නෑ. නිල වශයෙන් අස් වී නෑ යනුවෙන් විමල් වීරවංශ මහතා වෛරී ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ රජය යටතේ සිටි මැති ඇමැතිවරුන් තවමත් ඇතැම් වරප්‍රසාද ලබනවා. අපගේ ආණ්ඩුව සමඟ එක්ව සිට පසුව ඉවත්වුණ ඇතැම් මන්ත්‍රීවරුන් තවම වරප්‍රසාද ලබනවා. මුස්ලිම් ඇමැතිවරු ධුර ඉවත් කර තවම දින දෙකයි. පෙරේදා (5) නිවාඩු දවසක්. රජයේ කාර්යාලයක සේවකයකුට වුවද ඉවත්වුණ පසු තම සන්තකයේ තිබූ දෑ භාරදී නික්ම යාමට දින ගත වෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෛරීව ක්‍රියා කිරීම කණගාටුදායකයි.

මාධ්‍යවේදී මන්ත්‍රීවරයාගෙන් අසන ලද ප්‍රශ්න සහ ලැබුණ පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - මාසයක් තුළදී පරීක්ෂණ නිම කරන ලෙසට මුස්ලිම් ඇමැතිවරු පැවසුවත් එසේ කළ හැකිද?

පිළිතුර- පරීක්ෂණ ක්‍රමානුකූලව සිදු කරයි. මාසයක් තුළදී වුවත් පරීක්ෂණ අවසන් කළ හැකියි. අමතකද එදා ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමිය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධව පරීක්ෂණ සිදු කළ ආකාරය මතක් කරගන්න. බාලගිරි දෝෂය වගේ ප්‍රමාද නොකර පැමිණිලි විභාග වෙනවා.

ප්‍රශ්නය - චෝදනා එල්ල වුණේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට පමණයි. සියලුම මන්ත්‍රීවරු ධුරවලින් ඉවත්වීම නතර නොකළේ මන්ද?

පිළිතුර - ජාතියක් ලෙස ඔවුන් කටයුතු කළා. ඔවුන්ගේ ආගමික නායකයන් කුමක් කීවාදැයි දන්නේ නෑ. කාදිනල්තුමාට කතෝලික භක්තිකයින් සවන් දෙනවා. එයාකාරයට මුස්ලිම් ඇමැතිවරුනුත් ක්‍රියා කරන්නට ඇති. ඒවාගේම සැවොම චෝදනා කළ නිසා ඔවුන් තීරණයක් ගන්න ඇති.

ප්‍රශ්නය - ඉවත්වීම හොඳයිද?

පිළිතුර - නෑ. නරකයි. මහානායක ස්වාමීන් වහන්සේලාගේ මතයේම එක්සත් ජාතික පක්ෂය ඉන්නවා.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න