සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවද්දී ජනතා අවශ්‍යතා සොයා බලා සාධාරණය ඉටුකිරීම වැදගත් | දිනමිණ


 

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවද්දී ජනතා අවශ්‍යතා සොයා බලා සාධාරණය ඉටුකිරීම වැදගත්

ඉන්ද්‍රාණි තෝරදෙණිය

සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමේදි ඒකාධිපති පාලනය ඇති රටක මෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදි රටක ජනතා මතය අනුව ජනතාව වෙත විශේෂ අවධානයක් යොමුකර කටයුතු කිරිම ඉතා වැදගත් යැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඊයේ (06) පැවැසීය.

මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම් පොල සංවර්ධනයේදි එම ස්ථානයේ පිහිටි සිය ව්‍යාපාර අහිමිවන ව්‍යාපාරික ප්‍රජාවට වන්දි මුදල් ප්‍රදානය කිරිම සඳහා තරුණ බෙෘද්ධ සංගම් ශාලාවේ පැවති උත්සව සභාව අමතමින් ඒ මහතා මේ බව පැවැසීය.

ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළේ මෙතෙක් ව්‍යාපාර පවත්වාගෙන ගිය සින්නක්කර සහ බදු වෙළෙඳ සැල් හිමියන්, සිය ව්‍යාපාරික ස්ථාන කුලියට දුන් කඩ හිමියන්, එම වෙළෙඳ සැල් වල සේවය කළ සේවකයින්, ජංගම වෙළෙදුන්, සහ එම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබු ත්‍රි රෝද රථගාල් තුනක ත්‍රිරෝද රථ රියදුරන් අටසිය විසි දෙනෙකු සඳහා වන්දි ප්‍රදානයට නියමිත අතර එම අවස්ථාවේදි එකසිය විසි දෙනෙකු සඳහා එම ප්‍රදානයන් සිදු කෙරිණි. මේ සියලුම වන්දි ප්‍රදානයන් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන එක්දහස් තුන්සියයකි.

එහිදි අමාත්‍යවරයා මෙසේද කීය. බොහෝ රටවල සංවර්ධන කටයුතු වලදි මෙතරම් සාධාරණව හිතන් නෑ. යුධ හමුදාව දාලා ඩෝසර් කරනවා. පසුගිය කාලයේ අපේ රටෙත් එහෙම කටයුතු කරපු අවස්ථා තිබුණා. නමුත් අපි මෙම සංවර්ධන ව්‍යාපෘතියේදි අවට සිටින ජනතාව වෙත විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරනවා.

සමහර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තියෙනවා. ඒවා කිසිදු ඵලක් නෑ. ගුවන් තොටුපොලවල් තියෙනවා ගුවන් යානා නෑ. රෝහල් තියෙනවා ලෙඩ්ඩු නෑ. පාවෙන වෙළෙඳ සැල් තියෙනවා වෙළෙන්දෝ නෑ.

අපි මෙම සංවර්ධන ව්‍යාපෘතියට විශාල මුදලක් වැය කරනවා. ඒ තුළින් වැඩි ඵලදායිතාවයක් බලාපොරොත්තු වෙනවා. මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොට්ටාවේ තිබෙනවා. දුම්රියේ වැඩට යන ප්‍රමාණය හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මසකට එක්ලක්ෂ තිස්පන් දහසක් මෙහි ප්‍ර යෝජන ලබනවා. මහනුවර නගරයට දෛනිකව ලක්ෂ තුනක් පමණ පිටින් පැමිණෙනවා. මෙම ව්‍යාපෘතිය ඉන් ලක්ෂ දෙකකටවත් සෙත සැලසෙයි කියා බලාපොරොත්තු වෙනවා යැයිද අමාත්‍යාවරයා පැවැසීය.

ඡායාරූපය- රුවන් මීගම්මන

නව අදහස දක්වන්න