සසුනට අරුණින් සසුනට පුදන අනුරාධපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති චෛත්‍යය | දිනමිණ


 

සසුනට අරුණින් සසුනට පුදන අනුරාධපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති චෛත්‍යය

පෞරාණික ශ්‍රී ලාංකික ජන සමාජය නිතැතින් නිර්මාණය වූයේ කෘෂිකාර්මික කාර්යයදාමය ශක්තිමත් කිරීම සඳහා වූ වැව සහ එහි ආගමික පසුබිම නිර්මාණය කරනු ලැබු විහාරස්ථානය මුල්කොටයි. වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි, යන උදාර සංකල්පය මෙම ග්‍රාමීය ආගමික පසුබිම හා ආර්ථික සමාජීය කාර්යයදාමය ශක්තිමත් කිරිමට හේතුවු අතර, ඉපැරණි රාජ්‍ය සමයේ සිට වත්මන් දක්වා මෙම ක්‍රියාපිලිවෙත නොබිඳී ක්‍රියාත්මක වේ. වඩාත් ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක විය.

මෙම අදහසට අනුකූලව නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසමහතාගේ සංකල්පයක් ලෙසින් ක්‍රියාත්මක සසුනට අරුණ දීප ව්‍යාප්ත වැඩසටහනට අනුව දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශයන්හි අවශ්‍යයෙන්ම මූලික පහසුකම් පවා නොමැතිව, විශේෂයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර නොමැති විහාරස්ථාන ආශ්‍රිතව නව චෛත්‍ය ඉදිකරලීමේ මාහැඟි වැඩපිළිවෙළක් 2018 වසර ආරම්භයේ සිට ක්‍රියාවට නැංවේ. උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මෙවන් වු චෛත්‍ය නිර්මාණය කරලීමේ වැඩපිළිවෙළ අංගසම්පුර්ණ ලෙසින් ඉදිවූ අනුරාධපුර ශ්‍රාවස්ථිපුර, 4 ඇළ පිහිටි ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2019 පොසොන් මස 8 ශනි දින උත්කර්ෂවත් අයුරින් සිදුකෙරේ.

ශ්‍රී ලාංකික ග්‍රාමීය ජනාවාස ඇසුරෙහි අධ්‍යාත්මික ජන ජීවිතය ශක්තිමත් කරලිමේදි නිරන්තරයෙන් එම ග්‍රාමීය ජනාවාස ආශ්‍රිතව විහාරස්ථාන විසින් මහඟු කර්තව්‍යයක් ඉටුකරනු ලැබිය. එය සංකේතවත් කරමින් නිරන්තරයෙන් ගමේ වැව ඇසුරෙහි පවත්නා විහාරස්ථානය ආශ්‍රිතව දාගැබ ස්ථාපිත කිරිම සිදුවේ. වැව සහ දැගැබ සමගින් ගම හා පන්සල අතර පවත්නා මෙම බැඳියාව ඉපැරණි රාජ්‍ය සමයේ සිට ඉතා සමීපව ක්‍රියාත්මක වූ අතර, වත්මන් සමාජය තුළ මෙම සංකල්පය නැවත ඉස්මතු වුයේ ජන සහභාගිත්ව සංවර්ධනය සමඟිනි.

අසූව දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වු උදාගම් ව්‍යාපාරය මෙම ජන සහභාගිත්ව සංවර්ධනයේ ප්‍රමුඛතම සංවර්ධන ක්‍රියාදාමයක් වු අතර, එකී සංකල්පයේ නිර්මාතෘ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් නිරතුරුව දැරූ අදහසක් වුයේ රටක් ශක්තිමත් වීමට ගම ශක්තිමත්විය යුතු බවයි. එතුමන් විසින් නිරන්තරයන් ප්‍රකාශිත ,ගම හදා - රට හදමු , යන සංකල්පය තුළ ආර්ථික සමාජීය වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ගූණධර්ම නිර්මාණය කරලීම කෙරෙහි අවධානයක් යොමුවු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙහෙර විහාරස්ථාන ආශ්‍රිිතව මෙවන්වු පූජණීය ස්ථාන නිර්මාණය කරලීම කෙරෙහි එදා උදාගම් ව්‍යාපාරය තුළින් නිර්මාණය වු සෑම උදාගමක් හා ආදර්ශ ගම්මානයක් ආශ්‍රිතව පූජණීය ස්ථානයක් නිර්මාණය කරලිමට මුල්තැනක් දෙනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

වාර්ෂිකව පවත්වනු ලැබු ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය අදාළ ගම්උදාව ප්‍රදර්ශනය පවත්වන දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතාවයන් නිවැරැදිව හඳුනාගනිමින් එය ඒකාබද්ධ සංවර්ධන වැඩපිලිවෙලක් ලෙසින් ක්‍රියාවට නැංවු අතර, එහිදි ප්‍රමුඛත්වයක් ලබාදෙනු ලැබුවේ අදාළ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහනට සමගාමීව පූජණීය ස්ථාන සංවර්ධනය කිරීම යි. මෙම කාර්යයදාමය තවදුරටත් ඉදිරියට ගෙනයමින් ගම්උදාව ප්‍රදර්ශණ භූමිය ආශ්‍රිතව නව චෛත්‍යයක් නිර්මාණය කරලිමේ වැඩසටහනක් හඳුන්වාදුන් අතර,කතරගම විහාරමහදේවි සෑය, ඇඹිලිපිටිය දුටුගැමුණු මහසෑය, මහියංගන සාංචි විහාරස්ථානය වැනි චෛත්‍යයන් නිර්මාණය කරලීම මෙම කාර්යයදාමයෙන් සිදුවිය.

මෑත කාලීනව මෙරට ක්‍රියාත්මක වු ජතික සංවර්ධන වැඩසටහනක් ආශ්‍රිතව පළමු වරට චෛත්‍ය නිර්මාණය කරලීම ගම්උදාව ව්‍යාපාරයෙන් සිදුවිණි.

1987 වසරේ ජාත්‍යන්තර නිවාස වසර සමරමින් පැවැති කතරගම ගම්උදාව මහා ප්‍රදර්ශනයේ අභිනවයෙන් ස්ථාපිත කරළ, සර්ව ආගමික මධ්‍යස්ථානය, එම ආගමික සහජීවනය ඇතිකරලීම සඳහා ගනු ලැබු තවත් එක් සුවිශේෂි පියවරකි. හුදෙක් එක් ආගමික අදහසකට ප්‍රමුඛත්වයක් ලබාදීම වෙනුවට එම සර්ව ආගමික මධ්‍යස්ථානය තුළින් බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් යන සියළු භක්තිකයනට සිය වන්දනාමාන කාර්යයන් එක් ආගමික සංකීර්ණයක් තුළින් සිදුකරලීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ලැබීය.

උදාගම් ව්‍යාපාරයේ නිර්මාතෘ, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් මෙරට නිවාස හා ජනාවාස සංවර්ධන ක්‍රියාදාමය සඳහා සිදුකරන ලද මෙහෙවරට සමගාමීව එවන්වූ ජනාවාස ඇසුරෙහි නව විහාරස්ථාන හා චෛත්‍ය නිර්මාණය කරලීමට ලබාදුන් ප්‍රමුඛත්වයට උපහාරයක් ලෙසින් සසුනට අරුණ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම විහාරස්ථානයක් ආශ්‍රිතව මෙම නව චෛත්‍ය ඉදිකරලිමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙහි ආරම්භක පියවර ලෙස දිවයිනේ එක් එක් දිස්ත්‍රිික්කයන්හී චෛත්‍යයක් නොමැති විහාරස්ථානය බැගින් තෝරා චෛත්‍යයක් ඉදිකරලිම මෙම වැඩපිලිවෙල තුළින් සිදුවිය. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන එනමුත්,

අඩු පහසුකම් සහිත විශේෂයෙන් චෛත්‍යයක් නොමැති විහාරස්ථානයන්හි මෙම නව චෛත්‍ය ඉදිකිරිම සිදුකෙරේ. සසුනට අරුණ වැඩසටහනට අනුකූලව ක්‍රියාත්මක මෙකී වැඩසටහන පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රදානයන් භාවිතයෙන් සිදුකරන අතර,ඒ සඳහා වු සියලු අරමුදල් සෙවණ අරමුදලට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව දීප ව්‍යාප්තව මෙම චෛත්‍යයන් ඉදිකරලීම සිදුවේ.

2018 වසරේ ජුනි මස 23 දින ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ඡන්ම දිනය සමරමින් ඇරඹි මෙම චෛත්‍ය ඉදිකරලීමේ වැඩපිලිවෙළ තුළින් දිස්ත්‍රික් මට්ටමින් ඉදිවන බහුතර චෛත්‍ය රාජයාණන් වහන්සේලාගේ ඉදිකිරිම් කාර්යයන් දැන් බොහෝ දුරට නිමවී තිබේ. උතුරු නැගෙනහිර වැනි අවම බෞද්ධ ජනකොටස් ජීවත්වන ප්‍රදේශයන් ඇසුරෙහි ද මෙම චෙත්‍ය ඉදිකිරිමේ වැඩපිලිවෙල ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක කෙරේ. චෛත්‍ය ඉදිකරලීමේ මෙම වැඩසටහන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ මුලිකත්වයෙන් 2018 වසරේදී අනුරාධපුර ශ්‍රාවස්ථිපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානය ආශ්‍රිතව ආරම්භවූ අතර,එම ඉදිකිරිම් කාර්යයන් සම්පුර්ණ වී වසරක් ගතවන මෙම අවස්ථාවේ දී සසුනට අරුණ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඉදිවු පළමු චෛත්‍ය රාජයාණන් වහන්සේ ලෙසින් මෙම නව චෛත්‍ය සසුනට පූජා කිරීමේ මහෝත්සවය පැවැත්වේ.

මෙම චෛත්‍ය ඉදිකරලීමේ වැඩසටහනේ සුවිශේෂි ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කළ හැකිවේ. එහි මුල්ම කරුණ වනුයේ සැබැ ලෙසින්ම නව චෛත්‍ය අවශ්‍යතාවයක් පවත්නා ඉපැරණි විහාරස්ථානයක් ආශ්‍රිතව සසුනට අරුණ වැඩසටහන යටතේ නව චෛත්‍ය නිර්මාණයවීමයි. එමෙන්ම මෙම චෛත්‍ය ඉදිකිරීමේ කාර්යය සඳහා කිසිදු අයුරකින් රාජ්‍ය මූල්‍ය දායකත්වයක් සිදුනොවන අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පරිත්‍යාශීලීන් වෙතින් ලබාගනු ලැබේ.

මෙයට අමතරව අදාළ විහාරස්ථානය ඇසුරෙහි කටයුතු කරන දායක සභාව ප්‍රදේශවාසීන් මෙම චෛත්‍ය ඉදිකරලීම සඳහා මුදලින් සහ ගෙඩනැගිලි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ද මෙම වැඩපිළිවෙළේ දැකගත හැකි විශේෂිත ලක්ෂණයකි. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධරයන් මෙම කර්තව්‍ය සඳහා ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබාදීම මෙකී වැඩසටහනේ සාර්ථකත්වයට හේතුසාධක වේ.

අනුරාධපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානය ආශ්‍රිතව ඉදිවු නව චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පූජා කරමින් ඇරඹි මෙම මාහැඟි පුණ්‍ය කටයුත්තේ සාර්ථක සමාරම්භයක් සමග ඉදිරි මාස කිහිපය තුළ මෙම කාර්යයදාමය තුළින් නිර්මාණය වූ සෙසු සියළු චෛත්‍ය රාජයාණන් වහන්සේලා සසුනට පූජා කිරිම සිදුකෙරෙනු ඇත.

එදා උදාගම් ව්‍යාපාරයෙන් ගම හදා රට හදමු යන අදහසට අනුකූලව වැවයි දාගැබයි ගමය් පන්සලයි උදාර සංකල්පය මත ක්‍රියාත්මකවූ පුණ්‍යාගමික කාර්යයදාමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක සසුනට අරුණ වැඩපිළිවෙළ යටතේ මෙම චෛත්‍ය ඉදිකරලිමේ වැඩසටහනින් ශ්‍රී ලාංකික ජන සමාජයේ ආධ්‍යාත්මික ගුණවගාව ශක්තිමත් කරලීමට වඩාත් හේතුසාධක වනු නො අනුමානයි.

ලක්විජය සාගර පලන්සූරිය

 

නව අදහස දක්වන්න