ප්‍රවීණ කාටූන් ශිල්පී එස්. කරුණාදාස අප අතරින් වියෝ වී අදට වසර හතයි | දිනමිණ


 

ප්‍රවීණ කාටූන් ශිල්පී එස්. කරුණාදාස අප අතරින් වියෝ වී අදට වසර හතයි

1927 අප්‍රේල් මස 19 වන දින උපත ලැබූ පියාණන් මූලික අධ්‍යාපනයෙන් අනතුරුව ගුරු පත්වීමක් ලැබ නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුවක් හා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් අනතුරුව වසර තිස් පහක් පමණ කාලයක් ගුරු වෘත්තියේ යෙදී සිට විශ්‍රාම ලැබූ ගුරුවරයෙකි.

ගුරු වෘත්තියේ යෙදෙන අතරතුර කාටූන් චිත්‍ර කලාවට පිවිසි එතුමා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මඟපෙන්වීම යටතේ ඩී. බී. ධනපාල මහතාගේ කර්තෘත්වයෙන් පළවූ ඉරිදා ලංකාදීප පුවත්පතෙහි එතුමාගේ මුල්ම කාටූනය ‘ඇබෑර්තු නැත‘ නමින් 1954-09-05 වන දින පළවිය. අනතුරුව 1954 නොවැම්බර් මස සිට දිනපතා ලංකාදීප පුවත්පතෙහි මුල් පිටුවට ‘කරුණාදාසගේ කවටකම්‘ නමින් තනි තීරුවේ කාටූන් චිත්‍රයක් දිනපතා පළකර ගැනීමට එතුමාට හැකි විය. ලංකාදීප පුවත්පතෙහි මුල් පිටුවේ පළවූ එම සමාජ විචාරාත්මක කාටූනයට පමණක් සීමා නොවී ඉරිදා ලංකාදීපයට ‘කරුණාදාසගේ විහිළු කෑලි‘ හා ‘සිනාවිත‘ යන නම්වලින් එතුමාගේ කාටූන් චිත්‍ර ඉදිරිපත් කරමින් ද එම ආයතනයෙන්ම පළකළ රසවාහිනි සඟරාවට ද ඔහුගේ කාටූන්, කවි පංති ඉදිරිපත් කරමින් ඔහුගේ හැකියාවෙන් මිනිසුන්ගේ මුවඟට සිනහවක් එක්කර ඔවුන්ගේ සිත් සතුටු කිරීමට මේ සොඳුරු මිනිසාට හැකි විය.

ඉන්පසු 1980 දී ලේක්හවුස් ආයතනයට එක්වූ ඔහු ‘දිනමිණ‘ දිනපතා පුවත්පතට ‘කරුණාදාසගේ සිනා රැල්ල‘ නමින් හා ඉරිදා ‘සිළුමිණ‘ පුවත්පතට ‘කරුණාදාසගේ හසරැල්ල‘ නමින් ද සමාජ විචාරාත්මක කාටූන් ඉදිරිපත් කළේය.

තවද දිනමිණ පුවත්පතෙහි මුල් පිටුවේ පළවූ කාටුනයට අමතරව එම පුවත්පතෙහිම ඩෝරාගේ බෝනික්කා, නයනාගේ මනාලිය, විකි හා ලකී හා හැංගි මුත්තං නමින් චිත්‍ර කතා ද සිළුමිණ මුල් පිටුවේ කාටූනයට අමතරව බහුරූ කෝලම් හා පැංචාගේ රචනා පිංච නමින් විකට කතා ද මීට අමතරව ලේක්හවුස් ආයතනයෙන්ම නිකුත් කරනු ලබන මධුර පුවත්පතට මිස්ට කාලගෝල හා පංච තන්ත්‍රය නමින් කොටස් වශයෙන් පළවන චිත්‍ර කතා ද තරුණි පුවත්පතට සිනාමලී හා සුන්දරි නමින් කතාංග ද නිර්මාණය කරමින් ඒවාට හාස්‍ය රසය මුසු කළේ එතුමන් තුළ තිබූ කලා කෞශල්‍ය විදහා දක්වමිනි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත ‘ අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි‘ යන ගීතය ඇතුළුව ගීත කිහිපයක් ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ගායනා කරමින් ගායකයකු ලෙසින් ද රන් පුහුල, පන්ති සටන, ස්වර්ණ තිලකා ආදී මුද්‍රා නාට්‍ය නිර්මාණය කරමින් නාට්‍ය ශිල්පියෙක් ලෙසින් ද ‍කඳපොළ කුමාරතුංග අධ්‍යක්ෂණය කළ බදුලු කෝච්චිය චිත්‍රපටියේ රඟපාමින් රංගන ශිල්පියෙකු ලෙසින් ද එතුමා සිය කුසලතා විවිධ අංශවලින් ඉදිරිපත් කළේය.

එවකට සරසවිය පුවත්පතෙහි කර්තෘ තිලකරත්න කුරුවිටබණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් හා ලේක්හවුස් ආයතනයේ සහයෝගයෙන් එම්. ඩී. ගුණසේන සමූහ ව්‍යාපාරය මෙම ප්‍රතිභා පූර්ණ කලා ශිල්පියාගේ තනි තීරුවේ කාටුන් සමූහයකින් සමන්විත ග්‍රන්ථයක් 2001 වසරේ දී එළිදැක්විණි.

එතුමාගේ කාටූන් නිර්මාණයේ දී මූලික අරමුණ වූයේ විශේෂයෙන් සමාජයේ සැළකිල්ලට ගත යුතු එහෙත් එවන් සැළකිල්ලට බඳුන් නොවන අවස්ථා ගෙන එයට හාස්‍ය රසය මුසුකරමින් විකට කාටූනයක් ඉදිරිපත් කිරීමය. එවැනි හරවත් කාටූන් ඉදිරිපත් කළ එතුමාට අර්ථසාද් සන්නිවේදන කේන්ද්‍රය සංවිධාන කළ ‘ජාතික ජනමාධ්‍ය රූප සම්මාන 90 උළෙලේ දී විශිෂ්ටතම තනි තීරුවේ කාටූන් චිත්‍රයට (සිළුමිණ) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. තවද 1992, 1993 හා 1994 යන වර්ෂවලදී ද විශිෂ්ටතම තනි තීරුවේ කාටූන් චිත්‍රයට හිමි සම්මානයන් හා විශිෂ්ඨතම සමාජ විචාරාත්මක කාටූනයට (සිළුමිණ - බහුරූ කෝලම්) හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. තමා සතු හැකියාවෙන් කාටූන් චිත්‍රයකට හාස්‍ය රසය මුසුකරමින් විකට කාටූනයක් නිර්මාණය කරමින් එය මුද්‍රිත මාධ්‍යයෙන් ජනතාවට කියවීමට සලස්වා ඔවුන්ගේ සිත් මොහොතකට හෝ සතුටු කිරීමට හැකිවීම එතුමා ලද භාග්‍යයකි. එමඟින් රැස්කරගත් පින් බොහෝය. මෙවන් සමාජ මෙහෙවරක් සිදුකළ මෙම සොඳුරු කලාකරුවාගේ වියෝව අදින් වසර විස්සකට පෙර සිදුවුව ද එතුමාගේ මතක සටහන් එතුමාට ආදරය කළ සැමගේ සිත්වල රැඳී පවතින බව නොඅනුමානය.

මවකගේ සෙනෙහසට නොදෙවෙනි සෙනෙහසක් අප වෙත දක්වමින් අප දැඩි කළ සෙනෙහබර පියාණෙනි ඔබ අපෙන් වෙන්වී වසර 20 ක් ගතවුවද ඔබ අප හදවත් තුළ අදටත් ජීවමානය.

සෙනෙහෙබර පියාණෙනි, සසර මතු දා නිවන් දක්නා තෙක් ඔබ අපගේම ආදරණීය පියතුමන් වේවා!

නව අදහස දක්වන්න