හදිසි රුධිරය-එන්නත් ප්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකියි | දිනමිණ


 

හදිසි රුධිරය-එන්නත් ප්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකියි

සන්ධ්‍යා කරුණාරත්න

රුධිරය, එන්නත් ආදී රෝගීන්ට ඇති වන හදිසි අවශ්‍යතා රෝහල්වලට සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

කොළඹින් බැහැර ප්‍රදේශ වෙත මේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේ දී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව තිබෙනවා. පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ මෙරට රෝහල් කිහිපයකටම හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූණා. එවැනි අවස්ථාවක දී ඉක්මණින් රුධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගත හැකියි.

දුෂ්කර පළාත්වල රෝගීන්ට හදිසියේ අවශ්‍ය වන රුධිරය සහ එන්නත් ආදිය රටේ ප්‍රධාන රෝහල් වෙතින් සැපයීමේ දී විශාල කාලයක් වැය වෙනවා. එලෙස වැය වන කාලය රෝගියාගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. එවැනි අවස්ථාවකට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම ඉතාම වැදගත්.

මෙරට බොහෝ රෝහල් වෙත ඇතැම් හදිසි ඖෂධ වර්ග, එන්නත්, රුධිරය සහ යන්ත්‍ර සූත්‍ර පවා මධ්‍යම ගබඩාවේ සිට ප්‍රවාහනය කරන්නේ සාමාන්‍ය මාර්ග පද්ධතිය ඔස්සේ. එම ප්‍රවාහනය කිරීමේ දී මාර්ග තදබදය සහ දුර ප්‍රමාණය ආදී විවිධ සාධක මත ගත වන කාලය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් හෘද රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම පළමු පැය හෝ දෙකේ කෙරෙන හදිසි ප්‍රතිකාර මත තීරණය වෙනවා.

මේ තාක්ෂණය යොදා ගනිමින් ඉතා කඩිනමින් පැයක් හෝ දෙකක දී රටේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහලක් වෙත එන්නත්, රුධිරය වැනි දේ සැපයීමේ හැකියාව තිබෙනවා. රුවන්ඩාව සහ ගානා වැනි රටවල අති සාර්ථක ලෙස සෞඛ්‍ය පහසුකම් සැපයීමට ඩ්‍රෝන භාවිත වෙනවා. එම රටවල මිලියන 22කට අධික පිරිසකට ක්ෂණිකව රුධිරය, එන්නත් හා හදිසි ඖෂධ සැපයීම සාර්ථක ලෙස සිදු වෙනවා.

ඩ්‍රෝන මඟින් කිලෝග්රෑම් 2ක පමණ බර ප්‍රමාණයක් පහසුවෙන් රැගෙන යා හැකියි. පැයට කිලෝ මීටර් 100ක පමණ වේගයකින් ඒවා රැගෙන යෑමේ හැකියාව ද තිබෙනවා. වර්තමානයේ දී වනාන්තර විනාශය, විවිධ ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම, අලි මිනිස් ගැටුම ආදී තත්ත්වයන් මෙරට නිරීක්ෂණය කිරීමට ඉතා සාර්ථක ලෙස ඩ්‍රෝන තාක්ෂණය භාවිත වෙනවා. ඒ ආකාරයට සෞඛ්‍ය පහසුකම් සැපයීමට ද එම තාක්ෂණය යොදා ගත හැකියි.

නව අදහස දක්වන්න