තවුහිද් ත්‍රස්ත ප්‍රශ්නය 2012-2013 වසරවල ඇති වුණා | දිනමිණ


 

තවුහිද් ත්‍රස්ත ප්‍රශ්නය 2012-2013 වසරවල ඇති වුණා

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තෙක් මාස නමයක් තමන්ව ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවූ බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (06) පැවසීය. 2018 ඔක්තෝම්බර් 23 දිනෙන් පසුව ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවුවද තවුහිද් ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබූ බුද්ධි තොරතුර බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිසියේ ප්‍රභූ ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු දැනුවත් කළ බවත් ජයසුන්දර මහතා පැවැසීය. කාරක සභාවේ වැඩබලන සභාපති පත්කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්විය. ඇමැති රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, ආශු මාරසිංහ, නලින්ද ජයතිස්ස හා හිටපු ඇමැති රවුෆ් හකීම් යන මහත්වරු සභාවේ සෙසු සාමාජිකයින් ලෙස සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න විමසූහ. රාජ්‍ය හා ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය නොමැතිව සාක්ෂි විමසීමද ඊයේ සිදු ක‍ෙළ්ය. 

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා - මම 1989 මැයි 20 දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිස් සේවයට අනුයුක්තවුණා. 1996 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි , 2005 නියෝජ්‍ය පොලිස්පති, 2010 ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති වුණා. 2016 අප්‍රේල් 20 දින පොලිස්පති හැටියට පත් වූවා. එදින සිට මේ දක්වා පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා. මගේ පත්වීම ජනපතිවරයාගේ පත් කිරීමක්.

වැඩ බලන සභාපති ජයම්පති වික්‍රමරත්න මහතා - පොලිසියේ ආරක්ෂක ක්‍රමවේදයේ ව්‍යුහය කුමක්ද?

පූජිත ජයසුන්දර මහතා - පොලිසිය අවුරුදු 153ක් ආයුෂ ඇති නීතිය හා සාමය පවත්වන ආයතනයක් . එහි පොලිස්පති හා ජ්‍යෙ. නි. පොලිස්පතිවරු ඉන්නවා. පළාතට එක් අයෙක් වූවත් ප්‍රායෝගිකව එසේ නෑ. බුද්ධි අංශ තියෙනවා. පළාතට එක් අයෙක් වූවත් ප්‍රායෝගික එසේ නෑ. බුද්ධි අංශ තියෙනවා. පළාත්බද නි. පොලිස්පතිවරු එම පළාත්වල ඉන්නවා. ජ්‍යෙ. නි. පොලිස්පතිවරු හිඟ නිසා පළාත් 3ක් බලන අවස්ථාද තියෙනවා.

පොලිස් කොට්ඨාස 42ක් රටතුළ තිබෙනවා. පොලිස් අධිකාරි . සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික් භාරව ඉන්නවා. පොලිසි 492ක් තිබෙනවා. සාමාන්‍යයෙන් 86000කට ආසන්න නිලධාරී පිරිසක් පොලිසියේ ඉන්නවා.

ජයම්පති වික්‍රමරත්න - මේ සභාවේ විෂය පථයට අදාළ කාරණාවේදී කෙළින්ම සම්බන්ධ කුමන අංශද?

පූජිත ජයසුන්දර - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සමඟ කෙළින්ම සම්බන්ධයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගේ භාරයේ එවකට කටයුතු කළේ නාලකද සිල්වා මහතා.

ජයම්පති මහතා - එස්. අයි.එස්. රාජ්‍ය බුද්ධි සේවය කා යටතටද වැටෙන්නේ.

පූජිත ජයසුන්දර මහතා - රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැතුණි. මුල පටන් මෙහි අවශ්‍යතාව අනුව 1994 – 95 කාලයේදී. එහිදී පොලිසිය එම අමාත්‍යාංශයට ගැනුනා.

ෆොන්සේකා මහතා - එස්.අයි.එස්. කා යටතේද?

ජයසුන්දර මහතා - ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බුද්ධි සේවය පැවතුනා. එහි සියලු නිලධාරීන් දහසකට අධිකයි. අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෝ කවුරු හෝ ඉන්නවා ඔහු වගකියන්නේ ආරක්ෂක ලේකම්වරයාටයි.

සුමන්තිරන් මහතා- ඒ අය වගකියන්නේ කාටද?

ජයසුන්දර මහතා - ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට වාර්තා කරනවා. එහි අධ්‍යක්ෂවරයා හිතනවා නම් ඔහුට පුළුවන් පොලිස්පති හෝ ජ්‍යෙ. නි.පොලිස්පතිට සම්බන්ධ වෙන්න පුළුවන්.

ෆොන්සේකා මහතා - ඒකියන්නේ ඔහු කිසිවිටකත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එක්ක සම්බන්ධ වෙන්නෙ නැද්ද?

ජයසුන්දර මහතා - නෑ. පොලිස්පති හෝ ආරක්ෂක ලේකම් යටතට.

සරත් ෆොන්සේකා මහතා - ඔබට බැරිද බුද්ධි අංශයට නියෝග දෙන්න.

ජයසුන්දර මහතා - සමහර වෙලාවට පුළුවන්. මට තියෙන්නේ නිලධාරීන් මාරුකිරීම වැනි දේ. එහෙත් කිව්වෙත් බෑ කියලා. මට ඒක නැවත අහන්න බෑ.

ජයම්පති මහතා - රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක ලේකම්ට වාර්තා කළේ කොයි කාලේ සිටද?

ජයසුන්දර මහතා - මගේ සේවා කාලය පටන්ගත් දා සිට මට මතක එම ක්‍රමවේදයයි.

ෆොන්සේකා මහතා - බුද්ධි සේවයේ ඉමීඩියට් බොස් කවුද?

ජයසුන්දර මහතා- හරියට බැලුවොත් ආරක්ෂක ලේකම්. අනිවාර්යයෙන් ලේකම්ට.

ෆොන්සේකා මහතා - ඉතා වැදගත් බුද්ධි තොරතුරක් දෙන්නේ?

ජයසුන්දර මහතා - අනිවාර්යෙන් ලේකම්ට දෙන්න ඕනෑ.

ෆොන්සේකා මහතා - ලේකම්ට කියනවානම් සී.එස්.අයි. සේවය ඕනෑද?

නලින්ද ජයතිස්ස මහතා - බුද්ධි සේවයේ සහායට පොලිසිය යැව්වේ කොහොමද?

ජයසුන්දර මහතා - ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිට පවරන්න පුළුවන්. මම පැහැදිලිව කියලා තිබුණා මගේ සම්බන්ධකම් තියාගන්න කියලා. අවශ්‍ය නම්.

නලින්ද ජයතිස්ස මහතා - සියලු මෙහෙයුම් පොලිස්පති පහළට දැනුම් දීමක් නැද්ද?

ජයසුන්දර මහතා - එහෙම නෑ. වැදගත්කම අනුව කෙරෙනවා.

ආශු මාරසිංහ මහතා - සතිපතා ආරක්ෂක රිපෝට් දෙනවද?

ජයසුන්දර මහතා - සියල්ලම එන්නේ නෑ. ඒවා දෙන්න ඕනෑ ආරක්ෂක ලේකම්ට, බුද්ධි සේවයේ තොරතුරු. මම අදාළ තැන්වලට එම ලිපි ශීර්ෂය සහිතව යවනවා. මම එවන පිටපතට විශේෂ විමර්ශන වලදී අදාළ අංශවලට පෙන්වනවා.

ආශු මාරසිංහ මහතා - සතිපතා ආරක්ෂක කමිටු වාර්තා ලේකම්ට යවනවද?

ජයසුන්දර මහතා- අනිවාර්යෙන් යවනවා. අදාළ තොරතුරේ හැටියට සතිපතා නෙවෙයි. අවශ්‍ය විට.

ජයම්පති වික්‍රමරත්න මහතා - ආරක්ෂක රැස්වීම් කැදවන්නේ කවුද?

ජයසුන්දර මහතා - ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. 2017 ඔක්තෝම්බර් 23 දින මම එතනට සහභාගි වුණා. එතැන් සිට ආරක්ෂක මණ්ඩලයට සහභාගි වෙන්න ඕනෑ නෑ කියලා මට වාචිකව උපදෙස් ලැබුණා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මට කිව්වා. මම ඇහුවා, අද සිකුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා. එතකොට කපිල වෛද්‍යරත්න මහතා කිව්වා ජනාධිපතිතුමා කිව්වා කියලා සහභාගි වෙන්න ඕනෑ නෑ කියලා.

රාජිත සේනාරත්න මහතා - පොලිස්පති ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙක් නේද?

පූජිත ජයසුන්දර මහතා - ඔව්. ආරක්ෂක ලේකම්වරයා පැවසුවට පසු මම පැමිණීම අවශ්‍ය නොවන බව ඒ පිළිබඳ නැවත ප්‍රශ්න කරන්න යන්නේ නෑ.

නලින්ද ජයතිස්ස මහතා - 2018 ආරක්ෂක මණ්ඩලය කැඳවීම ක්‍රමවත් නෑ. එහි පණිවිඩ දැනුම්දෙන්නේ කවුද?

ජයසුන්දර මහතා - ආරක්ෂක ලේකම්වරයාගේ මාර්ගයෙන් එතැන සිටින නිලධාරියෙක් මට කියනවා.

ආශු මාරසිංහ මහතා - ආරක්ෂක මණ්ඩලය 2018 අප්‍රේල් 23 ද?

ජයසුන්දර මහතා - මාගේ කාලයේ එන්නේ සාකච්ඡාවේ අන්තිමට. මම එදා සහභාගි වුණේ නිශ්චිත කාරණාවකට.

ආශු මාරසිංහ මහතා - කපිල වෛද්‍යරත්න මහතා විශ්‍රාම ගියාට පස්සේ අලුත් ‍ලේකම්වරයාගෙන් ඔබ ඇහුවද සහභාගි වීම පිළිබඳ?

ජයසුන්දර මහතා - මට එහෙම අහන්න අවශ්‍ය නෑ.

රාජිත සේනාරත්න මහතා - ඔබගේ නිල රාජකාරියේ එම සහභාගිවීම නැද්ද?

ජයසුන්දර මතහා - සහභාගි විය යුතුයි. මොකද සියලු දේ ලිඛිතව දැනුම් දෙන්නේ නෑ. එම නිසා එම දෘෂ්ඨි කෝණයකින් බැලුවොත් සහභාගි විය යුතුයි.

රාජිත සේනාරත්න මහතා - ආරක්ෂක මණ්ඩල ව්‍යවස්ථාව අනුව සහභාගි විය යුතුයි නේද?

ජයසුන්දර මහතා - මම දන්න තරමින් ඔව්.

ෆොන්සේකා මහතා - පොලිස්පති නැතුව රටේ ආරක්ෂාව කතාකරන්න බෑ නේද?

ජයසුන්දර මහතා - අනිවාර්යයෙන්ම මම ඇහුවා මා වෙනුවෙන් කවුරු හෝ සහභාගි කරන්න. එහෙත් එහෙම වුණේ නෑ.

ජයම්පති වික්‍රමරත්න මහතා - ඔබ සහභාගි වීම අවශ්‍ය නොවන හේතුව ඇහුවද?

ජයසුන්දර මහතා - ඇයි මම හේතු අහන්නේ.

ෆොන්සේකා මහතා - ආරක්ෂක මණ්ඩලයට දිනයක් නිශ්චිතයි. කිව්වත් නොකිව්වත් අපේ අවුරුදු 3 ½ තුළ අපි සහභාගි වුණා.

ජයම්පති වික්‍රමරත්න මහතා - ඔබ අයින් කරන්න හේතු තිබුණාද?

ජයසුන්දර මහතා - ඒකෙන් මට තේරුණේ අවිශ්වාසයක් ඇති වුණා කියලා. මම පරිස්සම් වුණා.

නලින්ද ජයතිස්ස මහතා - ආරක්ෂක තොරතුරු පිටට ගියාද? ඒ ගැන දන්නවද?

ජයසුන්දර මහතා - එහෙම දෙයක් මට ඇහුනා. 21 සිද්ධියෙන් පස්සේ ඒ ගැන කතා කළා. මොකද 21 පසුව ආරක්ෂක මණ්ඩලයට මාව කැදෙව්වා.

රවුෆ් හකීම් මහතා - ඔබ පත්කිරීමේ නිලධාරියා ජනපති වුවත් ඉවත් කරන්නේ ඔහු නොවේ. එහෙනම් අවිශ්වාසයක් ගැන නොසිතා ඔබට අහන්න තිබුණා ඇයි නොකැදවන්නේ කියලා.

ජයසුන්දර මහතා - රටේ තියෙනවා ප්‍රායෝගික ක්‍රමවේදයක්. වචනයක් කිව්වනම් ඒ අනුව කටයුතු කිරීමයි විනයානුකූල නිලධාරියකුගේ වගකීම.

සුමන්තිරම් මහතා - 2018 ඔක්තෝම්බර්වල අයින්කළා කිව්වා. ඒ වගේම 2019 අප්‍රේල් සහභාගි වුණා කිව්වා. ඇයි එදා කැ‍ඳෙව්වේ.

ජයසුන්දර මහතා - නිශ්චිත දිනය පැහැදිලි නෑ. ඔක් 23 සාකච්ඡාවක් තිබ්බා. විවිධ කරුණු කතා කළා. යම් කරුණුවලට මම එකඟ වුණා. සමහර කරුණුවලට විරුද්ධ වුණා. මට විශ්වාස හැටියට ඔක් 23 දිනට පසුව තමයි මේ කරුණු කිව්වේ.

සුමන්තිරන් මහතා - යම් නිලධාරියෙක් ඉවත් කිරීම එහිදී සාකච්ඡා කළා. ඒකද හේතුව.

ජයසුන්දර මහතා - සමහර වෙලාවට.

හකීම් මහතා - මේ කරුණු තහවුරු කරන්න වෙනත් කවුරු හරි ඉන්නවාද? මොකද ඔබට යම් දේවල් මතක නෑ.

සුමන්තිරන් මහතා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයි.පී. නිශාන්ත සිල්වා ඉවත් කිරීම, එම තීරණය අවලංගු වුණා. ඔබතුමා එම මාරුව අවලංගු කළා.

ජයසුන්දර මහතා - මාගේ මතකය නිවැරදිනම් එම මාරුවට පොලිස් කොමිසමේ අනුමැතිය තිබුණා. පසුව මම විරුද්ධ වුණා.

සුමන්තිරන් මහතා - දෙමළ තරුණයින් 11 දෙනා විමර්ශනයෙන් ඔහුව අයින් කරන්න වුණා නේද?

ජයසුන්දර මහතා - මම දන්නේ නෑ ඒකමද කියලා.

සුමන්තිරන් මහතා - ලේකම්වරයා කවුද?

ජයසුන්දර මහතා - මට මතකනම් හේමසිරි ප්‍රනාන්දු මහතා

සුමන්තිරන් මහතා - එදා හේමසිරි මහතා හිටියේ නෑ.

ජයසුන්දර මහතා - මට මතක හැටියට කපිල මහතා. මම එම එකඟතාවයකින් තොරව මාරුව සනාථ කළා. මම දැන සිටියා ඔහු හොඳ නිලධාරියෙක්.

සුමන්තිරන් මහතා - ඇයි ඔබ දේශපාලන බලපෑමකට නතු වුණේ.

රාජිත සේනාරත්න මහතා - හේතු දැන්වූවාද? මාරුකරන්න.

ජයසුන්දර මහතා - මතකයේ හැටියට 11 දෙනාගේ සිද්ධිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සම්බන්ධයක්ද ඊට තිබුණා.

මම එහි හේතුවක් දැම්මා. මම මෙයට එකඟ නෑ. නමුත් මේ නියෝගය නිසා කියලත් දැම්මා.

සුමන්තිරන් මහතා - මාස හයක් පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට සහභාගි වී නෑ.

ජයසුන්දර මහතා - ඔව්.

ෆොන්සේකා මහතා - පරිපාලන කටයුතු ආරක්ෂක කවුන්සිලයේ කතා කරන්නේ නෑ. වපසරියෙන් පිට ගිහිල්ලා නේද?

ජයසුන්දර මහතා - පැහැදිලිවම.

ෆොන්සේකා මහතා - 2018 ආරක්ෂක කවුන්සිලයට කී වතාවක් ගියාද? සහභාගි වූ දින අපිට දැනුම් දෙන්න.

ජයසුන්දර මහතා - නිශ්චිතව මාස් පතා. සති පතා නෑ. මම එය ලිඛිතව දෙන්නම්.

නලින්ද ජයතිස්ස මහතා - ත්‍රස්ත විමර්ශන අංශයේ නාලක සිල්වා මහතා කිව්වද තවුහිත් ජමාද් සංවිධානය තහනම් කරන්න කියලා.

ජයසුන්දර මහතා - 21 ඛේදවාචකය පසුව මතවාද ගොඩ නැගුනා. පොලිස්පති වැරැද්දෙන් වුණා කිව්වා. අද වෙනකම් මම කිසිවක් මාධ්‍යයට කිව්වේ නෑ. . අප්‍රේල් 09 දින ලිපි කට්ටලය මම ලිඛිතව ඉදිරිපත් කරනවා.

මම ලිපිය නිලධාරියකුට යැව්ව නිසා තමයි සමාජ මාධ්‍යවල මෙම ලිපිය පලවුණේ. එහෙනම් ඇයි ඔබ දැනුම් නොදුන්නා කියන්නේ. අද වෙනකම් පොලිස්පතිවරයා වෙනුවෙන් කිසිදු කරුණක් කියන්නේ නෑ. ඒකට මට අවස්ථාව දෙන්න.

සමහර කතාවක් ගියා 04 දින ආවා කියලා. මට 04 දින අකුරක්වත් ලැබුණේ නෑ. 9 වැනිදා ලැබුණා. 9 දින ලැබෙන්න කලින් බුද්ධි තොරතුරු ආරක්ෂක කවුන්සිලය තිබුණා. එහිදී මේ කරුණ සාකච්ඡා වුණේ නෑ.

රවුෆ් හකීම් - වෙනත් වචනයකින් කියන්නේ මෙය පරිබාහිර කරුණක්.

ජයසුන්දර මහතා - කිසිම කරුණකින් සාකච්ඡා වුණේ නෑ. 2019.04.09 ලිපිය සමඟ මම තවත් ලිපියක් සිංහලෙන් එනවා රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන්. එහි තියෙනවා සූසයිට් ඇටෑක්, නොබෝ දිනකින් පල්ලිවලට පහරදීම, ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාල ප්‍රහාරය, ඊට පසුව පුද්ගලයෝ නම් එහි පිරිසක් ඉවරයි. සමහරු අත්අඩංගුවේ.

මෙහි තිබෙනවා දැනුවත් කරන්න කියලා.

නලින්ද ජයතිස්ස මහතා - ඔහුගේ පොදු ලිපි භාවිතය මේක නොවෙයිද?

ජයසුන්දර මහතා - පොදු හෝ නිශ්චිත භාවිතය අනුව ලේකම්ගේ නමින් අත්සන් තිබෙනවානම් මෙය නියෝගයක් නිශ්චිත නොවන නමුත් මගේ ඇහැට විතරක් මේක තිබිල වැඩක් නෑ. ඒ නිසා බස්නාහිර පළාත් භාර නි. පොලිස්පතිට මම මේ ගැන කිව්වේ එහි මර්මස්ථාන තිබුණ නිසා. සමස්ත දිවයිනේම ට්‍රැපික් බලය ඔහුට නිසා. ඩී.අයි.ජී. නන්දන මුණසිංහට මෙය යැව්වා. මේ ලිපිය සමාජ මාධ්‍යයේ පළවුණා.නමුත් මගේ සලකුණු කිරීම් නෑ.

ජයම්පති මහතා - මොනවද ඒ සටහන්

ජයසුන්දර මහතා - ජ්‍යෙ.නි. පොලිස්පති බස්නාහිර හා රථවාහන කියලා දෙවැනියට ක්‍රයිම් එෆ්.සී.අයි.ඩී. එම්. ආර්. ලතීෆ් මහතා සමස්ත අපරාධ, මත්ද්‍රව්‍යයත් එක්ක විශේෂ කාර්ය බළකා කඳවුරු සියල්ල අණදෙන නිලධාරී ඔහු. ප්‍රභූ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය මඟින් සිදුවෙනවා. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා තුන්වෙනුවට තෝරාගත්තා. අධිකරණ ප්‍රභූ ආරක්ෂාවට එය යවල තමයි මෙය යැව්වේ. ඊළඟට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යැව්වා.

මේ තත්ත්වය 2012 , 2013 ඇති වුණා. එකපාරට ඇතිවූවක් නෙවෙයි. මට කලින් ඉලංගකෝන් මහතා ඉන්න කාලේ නාලක සිල්වා සිටියා එතැන. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටියා. ඔහුට උස්වීම් ලැබුණා. මම තීරණය කළා ඔහුට විශේෂ පුහුණුවක් ‍දෙන්න. ඔහුගේ හැකියාව නිසා ජැයිකා එක මාර්ගයෙන් ලෑන්ස් කෲසර්, වාහන, බයික්, ඩ්‍රෝන කැමරා අපට ලැබුණා. ඒ නිසා මම ත්‍රස්ත විමර්ශන අංශයට යැව්වා. වරුණමහතා තමයි මෙම දැනුම් දීම කරනකොට හිටියෙ.

සිංහල ලිපියේ එම කරුණු විස්තරාත්මකව තිබුණා. ලිපියේ දෙවැනි පිටුවේ තිබෙන වචන අනුව රාජ්‍ය බුද්ධි සේවය කියනවා සහරාන්ගේ සමාජ ජාලවලින් අනාවරණය නොවුණත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් මේ වන තෙක් නොවුනත්.

සුමන්තිරන් මහතා - සහරාන්ගේ දේශන දෙමළෙන් තිබුණා. එහි තිබුණේ මුස්ලිම් නොවන අය ඉලක්ක වුණා.

රාජිත සේනාරත්න මහතා - කොහොම වුණත් කොමසාරිස් කාර්යාලය ආරක්ෂා වුණා. පල්ලි ටික විනාශ වුණා.

ජයසුන්දර මහතා - අපි විශේෂ ආරක්ෂාවක් මහ කොමසාරිස් කාර්යාලයට දැම්මා.

ෆොන්සේකා මහතා - කොයි ලිපිද මුලින් ආවේ.

ජයසුන්දර මහතා - ලිපි දෙකම එකට ලැබුණා.

රවුෆ් හකීම් මහතා - රාජ්‍ය බුද්ධි සභාවේදී මෙය සාකච්ඡා වුණේ කොහොමද?

ජයසුන්දර මහතා - හේමසිරි ප්‍රනාන්දු මහතා කිව්වා මෙහෙම එකක් තිබුණා කිව්වා. ප්‍රගතිය පසුව කියනවා කිව්වා.

ආශු මාරසිංහ මහතා - 9 වෙනිදා බුද්ධි සභාවට න්‍යාය පත්‍රයක් තිබෙනවාද?

ජයසුන්දර මහතා - එතැන්ට ගියාම තමයි න්‍යායපත්‍රය බලන්නේ.

ආශු මාරසිංහ මහතා - එහි රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ මේ ලිපිය තිබුණාද?

ජයසුන්දර මහතා - එකක් මම කියන්න ඕනා. කරුණු ගණාවක් එයට ඇතුළත් වෙනවා.

දිවා විවේකයෙන් පසුව නැවතත් සාක්ෂි විමසීම ආරම්භ කෙරිණි)

පූජිත ජයසුන්දර මහතා - ලිපි දෙකෙහි වෙනස්වීම ගැන මම කිව්වා. දෙවැනි ලිපියේ තිබුණෙත් බුද්ධි තොරතුරු ගැන විමර්ශනය කියන එකයි. 2019 .04.18 දින ලිපිය ගැන මම කියන්නම්. මෙය බුද්ධි අංශ ප්‍රධානියාටයි ඉදිරිපත් කරන්නේ. 9 කියපු මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන නිශ්චිත නෑ.

ආශු මාරසිංහ මහතා - න්‍යාය පත්‍රයක් තිබෙනවා. එහි ආරක්ෂක ලේකම් කතා කරනවා. එස්.අයි.එස්.අධ්‍යක්ෂ කතා කරනවා. එතුමා එවූ ලිපිය අවශ්‍ය අංශවලට ඔබ යොමුකළා. මේ රැස්වීමේදී බුද්ධි තොරතුර ගැන කතා කළාද?

ජයසුන්දර මහතා - අප්‍රේල් 09 දින න්‍යාය පත්‍රය මම පිළිගන්නවා. බුද්ධි තොරතුර ගැන කිසිම දෙයක් මෙහිදී කතා කළේ නෑ.

නලින්ද ජයතිස්ස මහතා - 9 පෙර මෙම තොරතුරු ලැබිලා තිබුණද?

ජයසුන්දර මහතා - 9 වෙනකම් මට ලැබුණේ නෑ.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලිපි දෙක දෙකක් වුවත්, එහි අවිනිශ්චිත භාවයක් තිබෙනවා. බුද්ධි තොරතුරක් දෙනකොට අවිනිශ්චිතවෙන්න බෑ. කොහේද, මොකක්ද, වෙලාව නිශ්චිත විය යුතුයි. නැතිනම් බුද්ධි තොරතුරක් වෙන්න බෑ. නමුත් සංවේදී නිසා, හැමෝටම දෙන්න බෑ.

නලින්ද ජයතිස්ස මහතා - ජනාධිපති ආරක්ෂක අංශයටත් ඔබ යැව් තොරතුරු ලැබෙනවද?

ජයසුන්දර මහතා - ඔව්. අගමැති ජනාධිපති දෙකට අදාළයි.

නලින්ද ජයසුන්දර - තොරතුරු පිළිබඳ කාවද දැනුවත් කරන්නේ.

ජයසුන්දර මහතා - නොයෙක් තොරතුරු එනවා. ඉතාම ස්ථිරතාවයක් තිබුණොත් හැර ජනාධිපති අගමැති හෝ අඩුම තරමේ මැති ඇමැතිවරයකුට කියන්නේ නෑ. බුද්ධි ‍ෙතාරතුරු ගැන පැක්ට්‍රිස් එකක් තිබුණේ නෑ. පොලිස්පති ජනාධිපතිට බුද්ධි තොරතුරු කියන්නේ නෑ. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තමයි ජනාධිපතිට කියන්නේ. මේක මට නිලන්ත කියලා තියෙනවා කියලා අමාත්‍ය සහ ලේකම් මට දැනුම්දීලා තිබෙනවා. ඒ නිසා මට වෙනම කියන්න වුවමනා නෑ. ඒකයි පොදු තත්ත්වය.

18 දින ලිපියේ තොරතුරු ලිපියේ සඳහන් ආකාරයට 9 වෙනිදා ලිපියේ බරපතළ බව එහි නෑ. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ලිපියේ එහි තිබෙනවා. කාත්තන්කුඩි පොලිස් වසමේ යතුරු පැදියක් පුපුරුවා හැරීම එහි ඇතුළත්.

අප්‍රේල් 19 දිනත් ලිපියක් එවලා තිබෙනවා.

නලින්ද ජයතිස්ස මහතා - ඒ මාතෘකාවම කියලා ඔබ කියන්නේ.

ජයසුන්දර මහතා - මරාගෙන මැරෙන තත්ත්වයක් මෙහි නෑ.සහරාන් ගැන තිබෙනවා. 9 වෙනිදා ලිපියේ දිගුවක් මෙහි නෑ.

සුමන්තිරන් මහතා - කාන්තන්කුඩි පොලිසියේ විමර්ශනයක් පුපුරුවා හැරීම පිළිබඳ තිබුණද? ඔබට වාර්තා වෙනවද?

ජයසුන්දර මහතා - මට මතක නෑ.

සුමන්තිරන් මහතා - මේක වැදගත්. මේ බෝම්බ පුපුරවා හැරීමේ පරීක්ෂණයක් වෙන්න පුළුවන්.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ඉතිරි කොටස හෙට (8දා) පත්‍රයේ පළවේ)

රෝෂන් තුෂාර සහ අමෝදා ජයමහ 
ඡායාරූප - රංජිත් අසංක

නව අදහස දක්වන්න