අන්තවාදයට එරෙහිව සියලු ජාතීන් පෙළ ගැසිය යුතුයි | දිනමිණ


 

අන්තවාදයට එරෙහිව සියලු ජාතීන් පෙළ ගැසිය යුතුයි

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

අද ඉඩම් තක්සේරු කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා 
- ආචාර්ය සරත් අමුණුගම

වැරදිකරුවන් හරි හැටි හඳුනාගෙන දඬුවම් දිය යුතුයි 
- නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර

අවස්ථාවාදී දේශපාලනය තුළින් බලයට එන්න ඇතැම් අය උත්සාහ කරනවා 
- බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

ජාතිකවාදය වෙනුවට ජාතිවාදය වැපිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවත් ජාතිවාදය, අන්තවාදයට එරෙහිව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජනකොටස් එක්ව පෙළගැසිය යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

නිදහස් නිවහල් දේශය තුළ ඕනෑම පුරවැසියකු හට නිදහසේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමිනි.

චේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (06) පෙරවරු 10.30ට රැස්විය.

ලිපි ලේඛන, වාර්තා හා මහජන පෙත්සම් පිළිගැන්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂයබාර ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනතේ කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේවිවාදය ආරම්භ විය.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා

ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය අද වනවිට වර්ධනය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කියවනවා. සංශෝධන කිහිපයක් මේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 480 සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙනවා. එයින් ඩොලර් මිලියන 350ක් ප්‍රවාහන ක්ෂේත්‍රයට වෙන් කරනවා. මිලියන 67ක් ඉඩම් ව්‍යාපෘති වෙනුවෙන් කරනවා. ඉඩම් සිතියම්ගත කිරීම, ඉඩම් ඉන්වෙන්ට්‍රිය සම්පූර්ණ කරන්න බලනවා. තක්සේරු දෙපාර්තමේන්තුව සවිමත් කිරීම මෙමගින් අපේක්ෂා කරනවා. ලෝකය දියුණු වනවිට රැකියාවත් පරිවර්තනය වෙනවා. ඩිජිටල් ඉඩම් තොරතුරු පද්ධති සම්බන්ධ කරගැනීම, බිම් සවිය ක්‍රියාත්මක කිරීම රජය විසින් කරනවා. ඉතුරු මුදල තාක්ෂණයට සම්බන්ධ කරුණු වලට වෙන් කෙරෙනවා. තක්සේරුකරුවන්ට බිය සැක තිබිය යුතු නැහැ. ඉස්සර සහ දැන් ඉඩම් මනින විදිය වෙනස්.

මේ රට භූමියෙන් අඛණ්ඩව තිබිය යුතුයි. භූමියෙන් පමණක් නොව හදවතින් ද රට එකමුතුව තිබිය යුතුයි. ඇතැම් අය බෙදුම්වාදීව කටයුතු කරනවා. ජතිකවාදය වෙනුවට ජාතිවාදය වපුරනවා. ත්‍රස්තවාදය තිබෙන විට ඒ අය අයිතීන් දිනාගන්න කටයුතු කළා. දැන් අපි දන්නවා සහරාන්ලා කටයුතු කළ ආකාරය. අපි ඒ සිදුවීම ගැන දුක් වෙනවා. රටේ සියලු දෙනා මේ ප්‍රහාරයට විරුද්ධ වුණා. එදා අපි ප්‍රහාර ගැන දැක්කා. දුක්වුණා. දෙමළ නිවාස ගිනිබත් කළා. රජය නිහඬව සිටියා කියා එදා අපිට ආරංචි ලැබුණා.

අපි නිහඬව සිටිය යුතු නැහැ. ආගම් ජාති නොසලකා අහිංසක මිනිසුන් මැරුණා. භේද වපුරන තත්ත්වය රටින් තුරන් කළ යුතුයි. මුස්ලිම් බහුතරය ඉස්ලාම් අන්තවාදයට ඉඩ දුන්නේ නැහැ. පසුගිය දශකය තුළ එදා රජය ඇස් වසාගෙන ඉන්න විට බෞද්ධ බහුතරය සහාය දුන්නෙත් නැහැ. බෞද්ධ, කිතුණු, හින්දු බහුතරය අන්තවාදයට සූදානම් නැහැ. අද අපේ එකමුතු බවට අභියෝගයක් තිබෙනවා.

බංකලොත් දේශපාලනයට මේ අභියෝගය තිබෙනවා. අපිට බියෙන් තොරව ජීවත් වෙන්න ඕනෑ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස)

වෛද්‍ය සාෆිට රජයෙන් පත්වීමක් දී තිබෙනවා. එය නිත්‍යානුකූල නොවන ලෙස දී තිබෙනවා. ඒ පුද්ගලයාගේ වෛද්‍ය පත්වීමත් නීත්‍යානුකූල නැහැ කියනවා. එය පිළිගන්නවාද.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා

ඒ ගැන විෂයබාර ඇමැති උත්තර දෙයි. එම වෛද්‍යවරයා වැරැදි ‍නම් දඬුවම් දියයුතුයි. ජාතිවාදයට ඉඩ දෙන්න බැහැ. රවුෆ් හකීම්, කබීර් හෂීම් යන අයත් රිෂාඩ් සමඟ සිට ගත්තේ අපේ සමාජය බේරා ගන්නයි. අපිට සමාජය පිළිබඳ ඇති අදහස් අනුව මේවා තීරණය කළයුතුයි. අපි පටු අදහස්වලින් බැහැරව කටයුතු කළයුතු වෙනවා. පසුගිය මාසයේ වුණු සිදුවීම්වලින් එළියට බැහැලා අලුත් ශ්‍රී ලංකාවක්, එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනගමු.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා (එ.ජ.නි.ස)

. ඉඩම් හා ගොඩනැගිලි සම්බන්ධයෙන් ගැටලු එනවා. සංවර්ධනයට මෙය ඉතාම වැදගත් ඉඩම් නිදහස් කිරීම සංවර්ධනයට විශාල බාධාවක් වී තිබෙනවා. පසුගිය කාලේ ඇගළුම් කර්මාන්තය සීග්‍ර දියුණුවකට ආවා. එම ඇඟළුම් සඳහා කඩිනමින් ඉඩම් ලබා දුන්නා. නමුත් අද ඉඩම් තක්සේරු කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. අද තක්සේරු කිරීමේදී විශාල ගැටලු තිබෙනවා.

කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර අද ඉතාම අසාර්ථකයි. ඉඩම් අත්පත් කර ගැනී‍ෙම් දී සිදුකරන තක්සේරුවලට ඉඩම් හිමියන් කැමැති නැහැ. ඒ මිනිස්සු විරුද්ධයි. මේවා සාකච්ඡා කර සාධාරණ විසඳුමකට යායුතු වෙනවා. කණු මත මේ අධිවේගී මාර්ග ඉදිකිරීම ඉතාම වැදගත්. ඉඩම් විශාල ලෙස මේ වෙනුවෙන් යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කල්පනාවෙන් මේ ප්‍රශ්න විසඳාගන්න අවශ්‍යයි.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා

ඉඩම් අත්පත් කර ගන්න පුළුවන්. ඉක්මනට ශක්‍යතා වාර්තා ලැබී තිබෙනවා.

ආචාර්ය සරත් අමුණුගම මහතා (එ.ජ.නි.ස)

මේ ආණ්ඩුවට කිසිම තීරණයක් ගන්න බැහැ. එකින් එක ව්‍යාපෘති ගැන මට කියන්න පුළුවන්. ආණ්ඩුව ඇතුලේ හැමදාම කචල්, පොඩි මිනිසුන්ට මේවා බලපානවා. පොඩි මිනිසාගෙන් ඉඩම් අත්පත් කර ගන්නවා. ඒ මිනිසුන්ට සාධාරණ මුදලක් ගෙවන්න ඕනෑ. අද බඳවා ගැනීම් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුවට නිලධාරීන් ප්‍රමාණවත් නැහැ. යථාවාදී වෙන්න. මේ අවුරුදු පහ තමයි අපේ රටේ ආරක්ෂාව, ආර්ථිකය, ආයෝජන අතින් ඉතාම පහළට වැටී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා (ඊ.පී.ඩී.පී)

ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය ගැන අද කතා කරනවා. යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව තමන්ට ඉඩමක් ලබා ගැනීම වෙනුවෙන් සටන් කරනවා. ඒ අය සාධාරණ ඉල්ලීම් කරනවා. මේ ගැන රජයේ කිසිදු අවධානයක් යොමු වී නැහැ. කෝපායි ජනතාවගේ ඉඩම් නිදහස් කරන්න ඕන. නමුත් දෙමළ ජාතික සන්ධානයට මේ ගැන කිසිදු වුවමනාවක් නැහැ. වලිකාමම්, ශිලාවතුර උතුර ප්‍රදේශවල ජනතාවටත් ඉඩම් ගැටලු තිබෙනවා. මේ ඉඩම් ගැටලු කොළඹ තිබුණා නම් රජයේ අවධානය යොමු වෙනවා.

මේ ජනතාව නොසලකා රජය කටයුතු කරනවා. අත්පත් කරගෙන සිටින ඉඩම් ගැන රජයේ අවධානය යොමු වියයුතු වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා (එ.ජ.නි.ස) - මේ සඳහා ඉදිරිපත් කරන සංශෝධනයන් හා එහි ස්වාභාවය පිළිබඳ අපි විමසා සිටියා. තක්සේරුකරුවන්ගේ හිඟතාවය විවිධ අංශවලට බලපානවා. දිගු කලක් ඇතැම් විට තක්සේරු කිරීම් පමා වෙනවා. ඒ සඳහා බඳවා ගන්න යම්කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු වෙනවා. මේ වනවිට රටේ විශාල වෙනස්කම් සිදුව තිබෙනවා. පසුගිය දා මාවනැල්ලේ බුදුපිළිම කැඩීම ගැන හරියට පරීක්ෂණ කළේ නැහැ. ඇතැම් ප්‍රදේශවල විවිධ උපකරණ, ආයුධ සොයා ගත්තා. මේවා ගැන හරියට පරීක්ෂණ කළා නම් රටට විශාල හානි සිදුවන්නේ නැහැ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එ.ජා.ප.) - නව තාක්ෂණය සමඟ අපි ඉදිරියට යායුතුයි. ඉස්සර ඉඩමක් මනින්න කොතරම් කාලයක් යනවාද? ඉඩම් පිළිබඳව සොයා ගන්න හැකියාව දැනුම තාක්ෂණයට තිබෙනවා. රටක් ලෙස අවාසනාවන්ත තත්ත්වයට පත්ව තිබෙනවා.

බුදු දහම තරම් මෛත්‍රීය, කරුණාව කියා දෙන ආගමක් නැති තරම්. නමුත් අපේ රටේ දේශපාලනය නිසා සමාජය කොටස්වලට බෙදන්න උත්සාහ කරනවා. අපි බෙදීම් ඇති නොකර එක්විය යුතු වෙනවා. පසුගිය සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව පරීක්ෂා කර රටට ඇත්ත හෙළි කළයුතු වෙනවා. යම් අයෙක් වැරැදි කළා නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඒ පරීක්ෂණ ඉතා ඉක්මනින් සිදුකර රටට ඇත්ත හෙළි කරනවා නම් අපිට යළි එකට ජීවත් වෙන්න පුළුවන්.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා (දෙ.ජා.ස.) - නැගෙනහිර පළාතේ අසරණ වී සිටින ජනතාවගේ ජීවනෝපාය ගොඩනගන්න පසුගිය කාලයේ විවිධ යෝජනා ඉදිරිපත් කළා. කර්මාන්ත තිබෙනවා. ඒවා සක්‍රිය තත්ත්වයේ නැහැ. ඒවා ක්‍රියාත්මක කළයුතු වෙනවා. එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන්. මේ රජය ලක්ෂ10කට රැකියා දෙනවා කිවුවා. අවුරුදු හතරහමාරක් ගියා. 10000කට හෝ රැකියා දුන්නා ද කියා දන්නේ නැහැ. තරුණයින් රැකියාවක් නොමැතිව විශාල වශයෙන් පීඩාවට ලක්ව සිටිනවා. රැකියාව නැහැ කියන ප්‍රශ්නයට මේ ආණ්ඩුව කිසිදු සාධණීය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 250කට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. මේ ප්‍රහාරයෙන් තුවාල වෙලා මහනුවර රෝහලට ඇතුළත් කළ අයෙක් දින 40ක් පමණ ප්‍රතිකාර ලබලා මියගියා. 500ට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මෙවැනි ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ටයි අපි විරුද්ධ වෙන්නේ. මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාවට අපි චෝදනා කරන්නේ නැහැ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එ.ජ.නි.ස) - පසුගිය ත්‍රස්ත ප්‍රහාරය සිදුව මාස තුනක් ගෙවිලා නැහැ තවම විශාල පිරිසක් තවමත් ප්‍රතිකාර ගන්නවා. මේ මිනිසුන්ගේ හිතේ තිබෙන වේදනාව අපි දන්නවා. ඕස්ට්‍රේලියාවෙන් පැමිණි පවුලකට සිදුවුණු දේ අපි දැක්කා. තමන්ගේ දරුවා සහ බිරිඳ කටුවාපිටිය ප්‍රහාරයෙන් මියගියා. මේ පියා ඕස්ට්‍රේලියාවට ගොස් සියදිවි හානිකර ගත්තා.

(කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය මුලසුනට පැමිණියාය.)

අපි වගකීමෙන් යුතුව එය ගෙනාවා. මේක මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙනා එකක් නොවේ. අපේ ආසනයේ මුස්ලිම් ජනතාවට උදව් කරන්නේ අපි. අපි ඒ විශ්වාසභංගය වගකීමකින් ගෙනාවේ. වනාතවිල්ලුව සිදුවීමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා දේශපාලන මැදිහත්වීමෙන් නිදහස් කළා.

නමුත් පසුගිය දා මුස්ලිම් සියලු ඇමැතිවරු ඔවුන්ගේ ධූරවලින් ඉවත් වුණා.

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා - පැහැදිලි පරීක්ෂණයක් තුළින් මේ වැරැදි නිවැරැදි බව හඳුනාගැනීමට අපට අවශ්‍යයි. ඉන්පසුව අපට ඊළඟ පියවර තැබිය හැකියි. බහුතරයක් චෝදනා කරන අය ඒ චෝදනාවලින් චෝදනා ලැබූ අය දැනටමත් වැරැදිකරුවන් කර හමාරයි. නිවැරැදිව වැරදිකරුවන් හඳුනාගෙන දඬුවම් දිය යුතුයි. මුස්ලිම් ඇමැතිවරුන් ඉවත් වුණේ ඇයිකියලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විමසනවා. ඒ අය ඉවත් වුණේ රිෂාඩ් ඇමැතිවරයා බේරා ගන්න කියලා මතයක් තිබෙනවා. එය නිවැරැදි නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සත්‍යතාව හෙළිකර ගැනීමට තමයි ඔවුන් ඉවත් වුණේ. අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව මුස්ලිම් ඇමැතිවරුන්ට ඇති වන තත්ත්වය කුමක්ද? ගෞරවනීය රතන ස්වාමීන් වහන්සේ මේ ගැටලු මුල් කර ගනිමින් සත්‍යග්‍රහයක් සිදු කළා. මුස්ලිම් ඇමැතිවරු ඉවත් වුණේ මුස්ලිම් ප්‍රජාව අපහසුතාවට පත්වීමෙන් වළක්වා ගැනීමටයි.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා

මේ තක්සේරු කිරීම් සාධාරණව සිදුවන්නේ නැහැ. එක් එක් ප්‍රදේශවල එක් එක් විදියට තමයි තක්සේරු කිරීම් කරන්නේ. රජයේ ව්‍යාපෘතියක් කරනවා යැයි සිතමු. එවැනි අවස්ථාවකදී මහාපරිමාණයේ සමාගම් ව්‍යාපෘතිය සිදු වන අසල ඉඩම් සාමාන්‍ය මිලකට මිලදී ගන්නවා. ව්‍යාපෘතිය කළාට පසුව අර සමාගම් නිවාස සංකීර්ණ ඉඳි කර ලක්ෂ 25ට දෙන්න තිබූ නිවාස ලක්ෂ40කට විතර අලෙවි කරනවා.

මේ ගැන සොයා බැලිය යුතුයි. ඉන් විශාල මුදල් ලබාගැනීමක් මෙම මහා පරිමාණ සමාගම් සිදු කරනවා. වඩා නිර්මාණාත්මක තක්සේරුකරණයක් කිරීමට වත්මන් තරුණ නිලධාරීන් සිතිය යුතුයි. පසුගිය 21 වැනිදා සිදු වූ ප්‍රහාරයත් සමඟ අපේ රට කළු ජුලිය වගේ වෙනස් වුණාද කියලා මම හිතනවා. 83 සිද්ධියට වඩා කොටි ත්‍රස්තවාදීන් කළ ක්‍රියාවලදී සිංහල බෞද්ධ අන්තවාදයට අනුව කටයුතු කළේ නැහැ. ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නැහැ. කටුවාපිටිය ප්‍රහාරයේදී මුස්ලිම් දරුවන් කීපදෙනෙක්ද නැති වුණා. සහරාන්ගේ සිංහල සහෝදරයන්ට සිංහල අන්තවාදය ඉහළ නැංවීමට සිංහල ව්‍යාපාරිකයන් මුදල් ලබා දෙනවා. සිංහල අයට තමා මෙරට වැඩිපුරම සමාගම් තිබෙන්නේ. ඊ.ටී.එෆ්. නොගෙවා සිටින්නේ සිංහල සමාගම්වලින්, මුදල්වලට සිංහල, මුස්ලිම් භේදයක් නැහැ. ජාතිවාදී දේශපාලනය වගේම ජාතිවාදි මාධ්‍යකරණයක්ද තිබෙනවා. මහානායක ස්වාමීන්වහන්සේලා කියනවා මුස්ලිම් ඇමැතිවරුන්ට පැමිණ වගකීම් බාර ගන්න ඕන කියලා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා (එජනිස) - කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ගැන රජයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැහැ. එවැනි පරීක්ෂණයක් කළයුතුයි. නලීන් බණ්ඩාර මහතා මීට වඩා කුරුණෑගල ජනතාව ගැන සොයා බැලිය යුතුයි.

නලීන් බණ්ඩාර මහතා - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණයෙන් වෛද්‍ය සාෆි වැරැදිකරු වුවහොත් ඔහුට පළමු ගල ගහන්නේ මම. ඒ වගේම සාෆි වෛද්‍යවරයා එල්ලුම්ගහට නියම වුණොත් අලුගෝසුවා මම වෙනවා.

එඩ්වඩ් ගුණසේකර මහතා

මිනුවන්ගොඩ කඩ ගිනි තැබුවේ පොහොට්ටුවේ අය.

සිසිර ජයකොඩි මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් ජනාධිපතිවරයා පෙරේදා හමුවුණා. විශ්‍රාම වැටුප කපා ඇති බව එතුමාට දැන්වූවා. ජාතීන් අතර ගැටීම් ඇති කරන උගුලට ජනතාව හසුවෙන්න එපා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී - අලි සහීර් මවුලානා මහතා (එ.ජා.ප) – 21 දා ඇති වූ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ දුක තුනී කරන්න අවශ්‍යයි. පැවැති තත්ත්වයට රට පත්කිරීම අපිට අවශ්‍ය වෙනවා. ඇතැම් බෙදුම්වාදී කණ්ඩායම්වල තත්ත්වය අපි දන්නවා. බෙදීම් ඇති කිරීමට උත්සාහ කරනවා. අපි මේ තත්ත්වය තේරුම් ගතයුතු වෙනවා. අතීතයේ සිටම ශ්‍රී ලංකාවට මෙරට මුස්ලිම් ජනතාවගේ ඇති ආදරය පෙන්වා තිබෙනවා. මෙරට ආර්ථිකයට මුස්ලිම් ජනතාව දායකත්වය දී තිබෙනවා. මේ රටට සාමය ගෙන එන්න සහයෝගය දී තිබෙනවා.

දිවා රාත්‍රී මේ රටේ ආරක්ෂක අංශ සමඟ කටයුතු කළා. අයි. එස්. ත්‍රස්තවාදය මාසයක වැනි කාලයකින් තුරන් කරන්නට හැකි වීමෙන් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. මුස්ලිම් ජනතාවගේ සහයෝගය නොලැබෙන්නට එවැන්නක් කරා යන්නට වෙන්නේ නැහැ. අපි අපේ රට ආරක්ෂා කරගත යුතු වෙනවා. දේශපාලනඥයන් වශයෙන් අපි අපේ වගකීම් ඉටු කළයුතුයි. මිලියන දෙකක් පමණ මුස්ලිම්වරුන් මේ රටේ ඉන්නවා. වෛරය වපුරන අයට එරෙහිව කටයුතු කරන්න ඕන. රටේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළයුතු වෙනවා.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ) - කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ කමිටුව පිළිගත නොහැකි නම් ජනාධිපතිවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙස ඉල්ලනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා (එජනිස) - තක්සේරුකරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු සමාගමක් ඩොලර් මිලියන 60ක් පමණ වෙන්කර තිබෙනවා. අපේ රටේ ආර්ථික වර්ධනය පහත වැටෙන විට ඇමෙරිකාව විසින් සිදුකරන දේ කුමක්ද කියා පිළිගන්න බැහැ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා (එ.ජා.ප) –

අද රටේ පවතින තත්ත්වයට අන්තවාදී දේශපාලනඥයන් ද වගකියන්න ඕන. එදා ඩී. එස්. සේනානායක මහතා රටේ නිදහස දිනා ගන්න සියලු පාර්ශව එකතු කරගෙන කටයුතු කළා. නමුත් අද අපේ රටේ තත්ත්වය අපි දන්නවා. අපි රටක් ලෙස ඉදිරියට යන විට අන්තවාදීන් විවිධ කටයුතු කරන්න පියවර ගන්නවා. අපි රටේ බලය අල්ලා ගතයුතු බවට ඇතැමුන් කල්පනා කරනවා. සුදු වෑන්වලින් මිනිස්සු පැහැරගත් නායකයන් අපිට අවශ්‍ය නැහැ. රටක් ලෙස අපි ඉදිරියට යන්න ඕන. නමුත් අපේ දේශපාලනඥයන්ගේ ඔළුවේ එවැන්නක් නැහැ.

ජනාධිපතිවරයාටත් යළි බලයට එන්න අවශ්‍යතාවය තිබුණා. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය හොඳින් ක්‍රියාත්මක වුණා. ඒ නිසා යම් යම් පාර්ශව සමඟ එක්ව කරන්න උත්සාහ කළ ක්‍රියාමාර්ග වළක්වන්න පියවර ගත්තා. අද ගොඩනැගිලි, ඉඩම් තක්සේරු කරනවා. සංවර්ධනය සමඟ මේවා කරන විට ඇතැම් වෙලාවට තක්සේරුවේ ප්‍රශ්න තිබෙනවා. ජනතාවට මේ ගැන කතා කරන්න තැන්වලට ගියත් හරි තක්සේරුවක් දෙන්න නොහැකි වී තිබෙනවා.

ජනතාව වෙනුවෙන් සාධාරණව කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ තක්සේරු ඉතාම වැදගත්. සමෘද්ධිය ගැන විවේචන තිබෙනවා. 1994 සිට සමෘද්ධිය ගත්තේ කවුද? රජයේ රැකියා කරන අයටත් එදා සමෘද්ධි ලබා දුන්නා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - අපේ රටේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඉතාම වැදගත් කාර්යයක් ඉටු කරනවා. අපේ රට අද තිබෙන තත්ත්වය කුමක්ද? පසුගිය කාලයේ රටක් ලෙස අපි විවිධ ගැටලු රැසකට මුහුණ දුන්නා. දශක තුනකට ආසන්න කාලයක් පැවැති ත්‍රස්තවාදය නිසා මේ රට නම් කළේ මිනී කන්නන්ගේ දේශය හැටියටයි. විවිධ පුද්ගලයින් දහස් ගණනක් අපේ රට හැර ගියා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය නිසා ජූලි කලබලය ඇති වුණා. රජයේ කිසිඳු වැඩපිළිවෙලක් තිබුණේ නැහැ.

මේ රටේ ඉතිහාසය වෙනස් කළ ජාතික නායකයා මහින්ද රාජපක්ෂයි. ඒ කාලයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ ගියා. ආයෝජන වැඩි වැඩියෙන් පැමිණියා. මුළු රටම වැඩ බිමක් ලෙස ක්‍රියාත්මක වුණා. මේ රටේ ඉතිහාසය ගත්විට ඕනෑම යුගයක මේ රටේ නිෂ්පාදන‍යේ වටිනාකම ඩොලර් බිලියන 20ට අඩුයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව බාරදෙන විට එම වටිනාකම ඩොලර් බිලියන 80ක් වුණා. මේ තත්ත්වය බලන්න. නමුත් අද වනවිට වසර 4ක කාලයක් තුළ ර‍ටේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් බිලියන 9ක් පමණයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ආර්ථිකය නංවන වැඩපිළිවෙළක් සකසන්න බැහැ.

(පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මුලසුනට පැමිණියේය.)

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී අමීර් අලි මහතා (එජාප)

මේ රටේ සිදුවූ කරුණු රැසක් ගැන අද සාකච්ඡා කළා. මේ රටේ පාර්ලිමේන්තුව තුළ රටේ සිදුවන දේ පිළිබඳව කතා කිරීම අවශ්‍යයි. නමුත් මේ රටේ සුළුතර පිරිසක් ත්‍රස්තවාදීන් ලෙස නම් කරනවා. අද වනවිට රිෂාඩ් බදියුදීන්ට විශාල වශයෙන් පහර දෙනවා. ඔහුට එරෙහිව මේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. මෙය පෞද්ගලිකව ගෙනා දෙයක් නොවේ කියා ඇතැමුන් කියනවා. මේ ගැන කතා කරන අය නීති ක්‍ෂේත්‍රයට නොයාම කනගාටුවට කරුණක්. චෝදනා තිබෙනවා නම් පරීක්ෂණ කළයුතු වෙනවා. සියලුම මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න මේ යෝජනාව ගෙනාවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පල්ලිවලට හා කඩවලට ගිනි තිබ්බා. කුරානය විනාශ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හඬක් නොනැගීම පිළිබඳව කනගාටු වෙනවා. මෙවැනි කෙටි කලක් තුළ කිසිදු රජයක් ත්‍රස්තවාදය සියයට 99ක් අවසන් කර නැහැ. මේ රටේ මුස්ලිම් ජනතාව විසින් තොරතුරු ලබාදීමෙන් ඒ කටයුතු ආරක්ෂක අංශවලට පහසු වී තිබෙනවා. මුස්ලිම් ඇමැතිවරු දැරූ තනතුරුවලින් ඉවත් වුණා. බහුතර ප්‍රජාව සමඟ ජීවත්වීමට අවශ්‍ය නිසා අපි අපේ තනතුරු අතහැරියා.

රිෂාඩ් බදියුදීන් සතොස වාහන ලබාදීලා තිබෙනවා, සහරාන්ගේ අවශ්‍යතාවට අනුව කියා විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. එහෙම වාහන පාවිච්චි කර තිබෙනවා නම් ඔප්පු කරන්න කියා අපි අභි‍යෝග කරනවා. මේ රටේ බෞද්ධ ධර්මය උගන්වන අය ත්‍රස්තවාදයට උදව් නොකළ යුතුයි.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී කාදර් මස්තාන් මහතා (එ.ජ.නි.ස)

අද රටේ ඇතිව තිබෙන තත්ත්වය ඉතාම කනගාටුදායකයි. අපි විශාල කාලයක් සමඟියෙන් කටයුතු කළා. එක් එක් කාලවල මුස්ලිම් අයට විරුද්ධව විවිධ සිදුවීම් සිදුව තිබෙනවා. මේ සුළු අන්තවාදී කණ්ඩායම පාලනය කරන්න ආණ්ඩුවට නොහැකි වූ නිසා මේ ගැටුම ඇති වුණා. සුළු කණ්ඩායමක් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ. මීට පෙර සිංහල - මුස්ලිම් ගැටුමක් වසර දෙකක් පමණ පැවතියා. නමුත් මුස්ලිම් ජනතාව විසින් පහරදීමක් කර නැහැ. අලුත්ගම වැනි ප්‍රදේශවල දී මුස්ලිම් ජනතාවට පහර දුන්නා. වැරදි ප්‍රචාර නිසා මේ සිද්ධීන් සිදුව තිබෙනවා.

මේ තත්ත්වය තුළ අපේ රට විනාශයට පත් වෙනවා. මුස්ලිම් ජනතාව මේ රට ආක්‍රමණය කරන බවට මත පැතිර ගියා. මේ ව්‍යාජ ප්‍රචාර පදනම් කරගෙන මුස්ලිම් ජනතාවගේ සිද්ධස්ථාන හා ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල වෙනවා. නමුත් මුස්ලිම් ජනතාව කිසිඳු හිංසනයක් සිදු කරන්නේ නැහැ. කිසිවෙකුට නීතිය අතට ගන්නට ඉඩ දෙන්න හොඳ නැහැ.

(රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මුලසුනට පැමිණියේය)

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එච්.එම්.එම්.හාරිස් මහතා

මහානායක හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. යළිත් අපිට තනතුරු බාරගෙන සේවයට එක්වන්න කියා. උන්වහන්සේලාගේ ඉල්ලීම අපිට විශාල අස්වැසිල්ලක්. මේ රටේ ජනතාව මුස්ලිම් ජනතාව කෙරෙහි ඇතිකරගෙන තිබෙන අනියත බිය උන්වහන්සේලාගේ මේ ඉල්ලීමෙන් සමනය වෙනවා. මේ රටේ ඇතිව තිබෙන තත්ත්වය ගැන දේශපාලනඥයන් ප්‍රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තුළ අපි තනතුරු බාර ගන්නවා නම් වැරදි මතයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ අමාත්‍යාංශ බාර ගන්න හැකියාවක් නැහැ.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තවමත් තහවුරු වී නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් 2000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා කිසිදු වැරැද්දක් නොකළ තරුණ තරුණියන් මෙතන ඉන්නවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප)

මේ විවාදය ආරම්භයේදීම විපක්ෂයේ මන්ත්‍රීවරුන් වත්මන් තත්ත්වය ගැන කතා කිරීමට සිදුවන සේ විවාදය හැරෙව්වා. ශ්‍රී ලංකා තක්සේරු ආයතනය ගැන අද විවාදය සිදුකිරීමට නියමිතව තිබුණත් වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද බොහෝ විවාද සිදු කළා. ඒ නිසා මාතෘකාවෙන් බැහැරව මටත් අදහස් ප්‍රකාශ සිදු කරන්න වෙනවා. පසුගිය 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු වුවත් අවස්ථාවාදී දේශපාලනය තුළින් රටේ බලයට ඒමට ඇතැම් අය උත්සාහ කරනවා.

(පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.)

බණ්ඩාරිගොඩ මහතා - මුස්ලිම් සමහර නායකයන් මේ මුස්ලිම් අන්තවාදය දැනගෙන නොදැන සිටියාද කියලා අපටත් විචිකිච්ඡාවක් තිබෙනවා. මේ මුජිබර් රහුමාන් මහතා වගේ තොරතුරු දෙන්න තිබුණා.

පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (07) උදේ 10.30ට නැවත රැස් වේ.

නව අදහස දක්වන්න