මෝදි 9වැනිදා ශ්‍රී ලංකාවට | දිනමිණ


 

මෝදි 9වැනිදා ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා එක් දින නිල සංචාරයක් සඳහා එළඹෙන 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අගමැති මෝදි මහතා එළඹෙන 09 වැනිදා පෙරවරු 11.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත  පැමිණීමට නියමිත අතර ඒ මහතා පිළිගැනීමේ උත්සවය එදින දහවල් 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීම ද නියමිත බව වාර්තා වේ.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය මෙය වේ.

ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා සහ කොළඹ නගරය තුළ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන සීමා කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව 9 වැනි දින පෙරවරු 11.00 සිට 12.00 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, පෑලියගොඩ ගුවන්පාලම, ඔරුගොඩවත්ත හන්දිය, දෙමටගොඩ හන්දිය, බොරැල්ල හන්දිය හරහා කනත්ත වටරවුම දක්වා බේස්ලයින් පාරද වසා තැබේ. එසේම ගාලුමුවදොරේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගයද මෙම වේලාව තුළ වාහන සඳහා විවෘත නොවේ.

එසේම සවස 1.45 සිට 3.00 දක්වා කාලය තුළ තුම්මුල්ල දක්වා වූ මාර්ගයත්, සවස 2.30 සිට 3.30 දක්වා ධර්මපාල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වට රවුම, හෝර්ටන් පෙදෙස, ඩී. එස්. සේනානායක හන්දිය, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දක්වා අධිවේගී මාර්ගය තෙක් බේස්ලයින් පාරද වසා තැබේ.

මෙම කාලසීමාව තුළ ගුවන් තොටුපොළ දක්වා ගමන් කරන මගීන්ට කල්වේලා ඇතුව විකල්ප මාර්ග භාවිත කර පැමිණෙන ලෙසත් පොලිසිය දන්වා සිටී. තවද ගාල්ල සහ මාතර සිට පැමිණෙන වාහන අධිවේගය ඔස්සේ කඩවත දෙසටත්, මැද කොළඹ සහ උතුරු කොළඹ සිට ගුවන්තොටුපොළ හෝ නුවර මාර්ගයට ගමන් කරන වාහන නව වික්ටෝරියා පාලමෙන් හෝ කදිරාන පාලමෙන් පිටතට ගමන් කළ හැකිය.

නව අදහස දක්වන්න