පරිසරය සුරකින නීති-රීති ක්‍රියාවට නැගීම දේශපාලකයන් නිලධාරීන් සතු වගකීමයි | දිනමිණ


 

පරිසරය සුරකින නීති-රීති ක්‍රියාවට නැගීම දේශපාලකයන් නිලධාරීන් සතු වගකීමයි

පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත්, ජනතාවගේත් යහපත ප්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී ඊයේ (6) පෙරවරුවේ පැවැති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

ජූනි 5 දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමඟාමීව, තිරසර වන කළමනාකරණයෙන් වායු දූෂණය අවම කිරීම, යන තේමාව යටතේ සැමරුම් උලෙළ සංවිධාන කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැක ගැනීමට සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි.

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හඳුන්වා දී තිබෙන අතර ඒවා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳ සතුටට පත්විය නොහැකි බව පැවසූ හෙතෙම පොලිතීන් තහනම ඇතුළුව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලුදෙනා ඉටුකරන වගකීමක් බව ද කියා සිටියේය.

මේ අතර ගස් කපන යන්ත්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා මේ වන විට උපදෙස් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා වඩු මඩු අලුතින් ලියපාදිංචිය නතර කිරීමටත්, ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කීරමේ වැඩපිළිවෙළකට එළැඹීමටත් උපදෙස් දී තිබෙන බව ද කියා සිටියේය.

මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නම් එවන් වැඩපිළිවෙළක් අවම වශයෙන් වසර 10ක් ගතවන තුරුවත් රටේ ක්‍රියාවට නැංවිය යුතු

බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන් ම ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී ජනාධිපතිවරයා සියලු පරිසර විද්‍යාඥයන්ට, ආචාර්ය මහාචාර්යවරුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේ පරිසර විෂය කෙරෙහි තම ලබා ඇති දැනුම, අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර සමුළුවල දී ලබා ගන්නා දැනුම ප්‍රායෝගිකව රට වෙනුවෙන් භාවිතා කිරීමේ වගකීම මීට වඩා පුළුල් ලෙස ඉටුකිරීමට එක්වන ලෙසයි.

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. එමෙන්ම වායු තත්ත්ව මැනීමේ ජංගම රථය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

පරිසර ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ජගත් පරිසර දින සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි. වායු හා ජල තත්ත්ව මිනුම් ඒකක පිළිබඳ වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

වාහන වායු විමෝචන අරමුදල ලබා දෙන වායු මැනුම් ඒකකය ජනාධිපතිවරයා අතින් නිල වශයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීම ද සිදු කෙරිණි. තිරසර පැවැත්ම උදෙසා වායු දූෂණය පාලනය හා නියාමනය පිළිබඳ අත්පොත සහ සොබාකෙත සඟරාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

2019 ජගත් පරිසර දිනයට සමඟාමීව ජනාධිපතිවරයාගේ අස්සන තැබූ වායු විමෝචන පාලන ගැසට් පත්‍රය එළිදැක්වීම ද සිදු කෙරුණු අතර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් පත්‍රය ජනාධිපතිවරයා වෙත පිලිගැන්වීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 27ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති සැන්ඩිකාඩු වැලි කදුවැටිය, බලපෑමට ලක්වන ප්‍රදේශයක් ලෙස සංරක්ෂණ කිරීමට අදාළ ගැසට් පත්‍රය එළිදැක්වීම ද සිදු කෙරිණි.

එමෙන් ම වනරෝපා ජාතික උත්සවයට සමඟාමීව රාජ්‍ය ආයතන 14ක පැළ තවාන් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 21.3ක ප්‍රතිපාදන ලබාදීමේ පොරොන්දු පත්‍රය ජනාධිපතිතුමා අතින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිළිගැන්විණි.

පුනරුදය ජාතික පරිසර වැඩසටහන මඟින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂජනරාල්වරයා වත භාරදීම ද සිදු විය.

පරිසර හිතකාමී නිමවුමක් සිදු කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ තරුෂි රාජපක්ෂ ශිෂ්‍යාව ඇගැයීමට ලක් කරමින් ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව කුඩා කල සිට නව නිර්මාණ රැසක් රටට දායාද කළ අතර, ඇය ලන්ච් ෂීට් වෙනුවට යොදාගත හැකි පරිසර හිතකාමී බෑගයක් ද නිර්මාණය කළාය.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන්, විදවතුන්, පරිසරවේදීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න