හේමසිරිට-පූජිත්ට එරෙහි පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් | දිනමිණ

හේමසිරිට-පූජිත්ට එරෙහි පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්

නෙල්කා මැදගෙදර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙහි කැඳවීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීරණය කර තිබේ.

ඒ අනුව එම පෙත්සම් සියල්ල ජුලි මස 12 වැනිදා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවෙහි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.

මෙම පෙත්සම් පස් දෙනකු හෝ ඊට වැඩි සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවෙහි කැඳවන ලෙස නීතිපතිවරයා සහ පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙය ජාතික වැදගත්කමකින් යුතු කාරණයක් වන බැවින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවෙහි මෙම පෙත්සම් කැඳවීමට තීරණය කර තිබේ.

ඊයේ (06) මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ බුවනෙක අලුවිහාරේ මහතා මේ බව සඳහන් කෙළේය.

මෙම සත් පුද්ගල විනිසුරු මඩුල්ල පසුව නම් කිරීමට නියමිතය.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, එල්.ටී.බී. දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී. පෙත්සම් සම්බන්ධ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියම කරන ලදී.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරුවන් දෙදෙනා අහිමි වූ පියකු වන නන්දන සිරිමාන්න, ව්‍යාපාරිකයකු වන ජනත් එස්. විදානගේ, කතෝලික සාමාජික හා සාමයික කේන්ද්‍රය, අගුළුගල්ලේ ජිනානන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් නවය ගොනු කර තිබුණි.

ඉකුත් අප්‍රේල් මස 21 දින කතෝලික දේවස්ථාන කිහිපයක සහ සංචාරක හෝටල් කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදු විය. එම ප්‍රහාරවලින් විශාල පිරිසක් මරණයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

මෙවැනි ප්‍රහාරයන් සිදු වියහැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට වගඋත්තරකරුවන් කටයුතු නොකිරීම සහ එය වැළැක්වීමට අපොහොසත් වීම නිසා වගඋත්තරකරුවන් විසින් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

එසේම එම ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයන් වෙනුවෙන් මුදල් වන්දි ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

නීතිඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, සාලිය පීරිස්, ෆයිස් මුස්තාපා ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ විරාන් කොරයා මහතා වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන්ද, නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන්ද පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සහ රජයේ නීතිඥ ඉඳුනි පුංචිහේවා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න