ඉදිරි දිනයක දී මහනායක හිමිවරුන් බැහැදකිනවා | දිනමිණ

ඉදිරි දිනයක දී මහනායක හිමිවරුන් බැහැදකිනවා

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

මහනායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය සහිතව, ත්‍රෛයිනිකායික සංඝ සභාව ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන්ගෙන් කළ ඉල්ලීම අනුව ඉදිරි දිනවල දී මහනායක හිමිවරුන් බැහැ දැකීමට මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) ප්‍රකාශ කළේය.

මැති ඇමති ධූරවලින් ඉවත්වීමට ගත් තීරණයෙන් රටටත් , ජාතියටත්, සාමයටත් , අගතියක් නොවේවායි ඉවත් වූ සියලු මුස්ලිම් මැති ඇමැතිවරුන්ගේ අපේක්ෂාව බවත්, ත්‍රෛයිනිකායික සංඝ සභාව සිදුකර ඇති ප්‍රකාශයෙන් සියලු අන්තවාදීන් හෙළා දකින බව තමන්ට හැඟෙන බවත්, රාවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම මහනායක හිමිවරුන් බැහැදැක සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම සාමුහිකව එකතු වී සාකච්ඡා කර ගත් තීරණයක් අනුව මැති ඇමති ධූරවලින් ඉවත්වීමට තම කණ්ඩායම තීරණයක් ගත් බවත් ඒ අනුව සාමුහික ඉවත්වීමක් ලෙස අදාල ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන් බවත් හෙතෙම පැවසීය.‍

එමෙන්ම සාමුහිකව ඉල්ලා අස්වූ දිනට පසුදිනය රාමසාන් දිනය බැවින් තනි තනිව ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටට‍ නොහැකිවූ බවත් එම ලිපි ලබාදීම කඩිනමින් සිදුකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය‍.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා

රාජ්‍ය අමාත්‍යවරුන් හතරදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගිය සඳුදා ඉල්ලා අස්වීම පිළිබඳ කළ ප්‍රකාශය හේතු කරගෙන නිල වශයෙන් ජනාධිපතිවරයාට දන්වා නොතිබීම ගැන පුවත්පත්වල පළ වී තිබෙනවා. ඒ පිළිබඳවත් ත්‍රෛනිකායික සංඝ සභාවෙන් අප වෙත ඉල්ලීමක ප්‍රකාශනයක් පුවත්පත්වල පළ වෙලා තිබෙනවා. ඒ ගැන පැහැදිලි කරමින් ප්‍රතිචාර දැක්වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. රජයේ නිලතල දරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ගිය සදුදා ඇති වූ භයානක තත්ත්වය මත අපි සාමූහිකව එකතුව සාකච්ඡා කර ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු සමඟ මේ අවස්ථාවේ දී අප ගත යුතු මේ තීරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව සම්බන්ධයෙන් අපේ චේතනාව පැහැදිලි කළා. අමාත්‍ය මණ්ඩල සඟයන් කිහිපදෙනකු හා අග්‍රාමාත්‍යවරයා ඇතුළුව මේ පිළිබඳ ඇති විය හැකි පරිබාහිර කරුණු සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු කළා. ඒ සියල්ලම සලකා බලා විශේෂයෙන්ම එදා සදුදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ගෙන ගිය මාරන්තික උපවාසයත්, ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයකුත් හේතු කර ගෙන විශාල ලෙස වෛරී ස්වාභාවයෙන් යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමේ ප්‍රවනතාවක් පැවැතියහොත් එය රට පුරා සිටින මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳයි තීරණයක් ගැනීමට සිදු වුණේ. එය දීර්ඝ ලෙස සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල සඟයන්ටත්, අග්‍රාමාත්‍යතුමාටත් ඉදිරිපත් කළා. එදා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අපි නවදෙනාම එක්ව එක් ලිපියකින් අපේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යතුමාට බාර දුන්නා. ඉන්පසුව අග්‍රාමාත්‍යතුමා අපිට ඊළග දවසේ දැනුම් දුන්නේ ව්‍යවස්ථා ප්‍රකාරව තනි තනියෙන් එම ලිපි ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියා. ඒ වෙනකොට අපේ රාමසාන් උත්සවය ආරම්භ වීම නිසා මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගම්වලට ගිහින් සිටියා. ඒ නිසා එය නිල වශයෙන් දැනුම් දීමේ ප්‍රමාදයක් ඇති වුණා.‍ නමුත් අපි අපේ නිලතලවලින් පසුගිය සදුදා සිට ඉවත්ව සිටින බව දැනුම් දුන්නා. එහි කිසි සැකයක් නැහැ. තව දෙයක් අපි කිව යුතුයි. එනම් ත්‍රෛනිකායික සංඝ සභාව නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතියත් ඇතිව අපිට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඉල්ලීම පිළිබඳ අපි ගෞරව පූර්වකව උන්වහන්සේලාට මුස්ලිම් ජනතාව පිළිබඳ ඇති වී තිබෙන තත්ත්වය අවබෝධ කර ගෙන අපි සාමූහිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රතිචාරයක් දැක්වීමට අපේ කණ්ඩායමක් නායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට අපේක්ෂා කරනවා.

විශේෂයෙන්ම අපේ අමාත්‍යවරයකුට විරුද්ධවත් ඒ වගේම ඉල්ලා අස් වූ ආණ්ඩුකාරවරුන් දෙදෙනාට විරුද්ධවත් තිබෙන චෝදනා පිළිබඳ අපේ අවධානය යොමුව තිබුණා. ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා යම් චෝදනාවක් තිබේ නම් එළැඹෙන 12වැනි දාට පෙර දැනුම් දෙන්න කියා. අපේ ඉල්ලීම වූයේ මේ පිළිබඳ කඩිනමින් විභාගයක් පවත්වා ඒ ගැන තීරණයක් ලබාදිය යුතුයි යන්නයි.

නව අදහස දක්වන්න